ආර්ථිකය දුෂ්කර තත්වයක – මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති

Central Bank

ලැබෙන මුදල වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් නොවීම හේතුවෙන් ආර්ථිකය අවදානම් සහගත තත්ත්වයකට පත්ව ඇති බවයි මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව් විජේවර්ධන මහතා පවසන්නේ. අරමුදල නිතරම ඇත්තේ හිස්වය. මෙහි අරුත වන්නේ, රජය යම් යම් ආකාරයෙන් කළ වියදම් පොතේ සටහන්ව තිබුණද, ගිණුමේ ප්‍රමාණවත් මුදල් නොතිබූ නිසා පමණට වඩා මුදල් පරිහරණය කිරීම හේතුවෙන් රජය ජාතියට ණය ගැතිවී ඇති බවයි.

උදාහරණයක් දක්වතොත් 2016 වසර අගදී, පමණට වඩා ඇදගත් මුදල රුපියල් බිලියන 187කි. මෙම ප්‍රමාණය 2017 අගදී රුපියල් බිලියන 286 දක්වා වැඩිවිය. තවදුරටත් එය 2018 අගදී රුපියල් බිලියන 304 දක්වා වැඩි වූයේය.

අද රජය මුහුණ පා සිටින අසතුටුදායක තත්ත්වයන් මොනවාද?

අවම වශයෙන් එවැනි මූලික තත්ත්වයන් තුනකි.

1 – අධික ලෙස බදු කපා හැරීම:

# පළමු අයහපත් වාතාවරණය ගොඩනඟා ගනු ලැබුවේ රජය විසින්මය. එසේ කළේ ජනාධිපතිවරණයේ ජනතාවට දුන් පොරොන්දුවක් ඉටු කිරීමටය.

# ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ පිහිටුවූ රජය අවුරුද්ද මුලදීම අලුත් නිර්ලෝභී බදු සහන පැකේජයක් ගෙන ආවේය. රජයේ ආදායම් ඉලක්ක දරාගත නොහැකි තරම් අසීරු ඒවා බවට පත්වූයේ ඒ හේතුකොට ගෙනය.

# එම පැකේජය හඳුන්වා දෙන්නට පෙර ඒ මගින් තියුණු ලෙස ආදායම් කපා හැරීමත් සිදුවෙන නිසා එම හානිය පාලනය කර නොගතහොත් ආපසු කැරකී රජයටම ඉන් පහර වදිනු ඇති බවට මම අනතුරු හැඟවූයෙමි. 2020 දී එසේ ආදායම් අහිමිවීම මගින් සිදුවන පාඩුව රුපියල් බිලියන 650කි. එහි ප්‍රතිඵලයක් ලෙස ඒකාබද්ධ අරමුදලට ගලා ආ මුදල් ප්‍රමාණය බෙහෙවින් පහත වැටී අරමුදලේ විශාල රික්තයක් නිර්මාණය වූයේය.

2 – රෝග මර්දනීය පියවර නිසා තවදුරටත් ආදායම අඩුවිය.

# දෙවැන්න කොවිඩ් 19 පැතිරයාමේ ප්‍රතිඵලයක් ලෙස සිදුවුයේය. රෝගය පැතිරීම මර්දනය කිරීමේ පියවරක් ලෙස එක දිගට ඇඳිරි නීතිය පනවන්නට රජයට සිදුවිය. කොවිඩ් 19 පිටු දැකීම අතින් බැලූවිට මෙය සාධනීය පියවරක් වුවත් ඒ නිසා මුළු ආර්ථිකයම අඩපණවී ගියේය.

# ජනතාවට නිසි වෙලාවට බදු ගෙවාගත නොහැකි වූ නිසා අරමුදලට ගලා එතැයි බලාපොරොත්තු වුණු මුදල් ප්‍රවාහය තවත් අඩු වූයේය.

# ඒ අතර වාරයේම වියදම් පැත්තෙන් ගත්විට පීඩාවට පත් ජනයාට සහාය වනු පිණිස රුපියල් 5000ක සහන දීමනාවක් දෙන්නට රජයට සිදුවිය. අරමුදලෙන් වියදම් පැත්ත මේ නිසා වැඩිවී පමණ ඉක්මවා කළ වියදම් නිසා ඇතිවූ ශේෂය විශාල විය.

3 – අහිතකර ලෙස ගෝලීය තත්ත්වය වර්ධනය වීම:

# තුන්වැන්න ගෝලීය වාතාවරණය තුළ හටගත් අහිතකර වාතාවරණයයි. රජයට විදේශ වෙතින් මුදල් ණයට ගැනීමට ඇති හැකියාවට එම තත්ත්වය හරස් වෙයි. කොවිඩ් 19 ගෝලීය වසංගතය විසින් ගෝලීය මුල්‍ය වෙළඳපොළ ක්‍රියාත්මක නොවන අකර්මණ්‍ය තත්ත්වයට පත් කරනු ලැබුවේය.

මේ සියල්ලටම වඩා ශ්‍රී ලංකාව මෙම වෙළඳපොළට විශ්වාසයෙන් යුතුව ප්‍රවේශවීම වළක්වනු ලැබුවේ අයහපත් තත්ත්වයන් දෙකක් වර්ධනයවීම හේතුවෙනි.

1- ඉන් එකක් වන්නේ රටට අන්තර් ජාතික වශයෙන් මුදල් ණයට ගැනීමට ඇති හැකියාව, ප්‍රධාන ශ්‍රේණිගත කිරීමේ ඒජන්ත ආයතන විසින් B ශ්‍රේණියේ සිට B- ශ්‍රේණිය දක්වා පහත හෙළීමයි. එයින් ආර්ථිකයේ සෘණාත්මක පැත්ත තවත් හොඳින් පැහැදිලි විය.

2 – අනෙක් කාරණය වන්නේ දැනට ඉන්නා අන්තර්ජාතික ස්වාධීන බැඳුම්කර හිමියන් තුළ අප රට ණය පැහැර හරින්නට ඉඩ ඇති බවට භීතියක් හට ගැනීමයි. ද්විතීය බැඳුම්කර වෙළඳපොළේ ශ්‍රී ලංකාවේ බැඳුම්කරවල ආදායම් අනුපාතය තියුණු ලෙස ඉහළ යාමෙන් මෙය හොඳින් පිළිබිඹු වූයේය. එහිදී එම බැඳුම්කරවල වෙළඳපොළ මිල බලාපොරොත්තු අගයටත් වඩා පහළ වැටුණේය.

උදාහරණයකට, මහ බැංකු දත්තවලට අනුව 2020 ඔක්තෝබර් 4 වැනිදාට කල් පිරෙන බැඳුම්කර වල ආදායම් අනුපාතිකය 44.42% වූයේ ඒවායේ කූපන් අගය 6.25%ව තිබියදීය.

එහි ප්‍රතිඵලයක් ලෙස ඩොලර් 100ක් වටිනා බැඳුම්කරය ඩොලර් 84.35ක් දක්වා පහත වැටුණේය.

2019 දී දැරූ 4.1%ක ආදායම් අනුපාතිකය හා වැඩිවු මිල වූ ඩොලර් 102.9 සමග සසඳා බැලීමේදී මේ කාරණය හොඳින් පෙනේ.

ශ්‍රී ලංකා ආණ්ඩුව සතු සියලුම ස්වාධීන බැඳුම්කර අද වනවිට ද්විතීය වෙළඳපොළේ විකිණෙන්නේ බොහෝ අඩු මිලටය.

”ශ්‍රී ලංකා ආණ්ඩුව සතු සියලුම ස්වාධීන බැඳුම්කර අද වනවිට ද්විතීය වෙළඳපොළේ විකිණෙන්නේ බොහෝ අඩු මිලටය.”

මේ ආකාරයට ශ්‍රී ලංකාව අන්තර් ජාතික මූල්‍ය වෙළඳපොළෙන් ණය ගන්නේ නම් ඉහළ පොලී අනුපාත ගෙවන්නට සිදුවේ. ඉතිහාසය පුරා කෙදිනකවත් නොගෙවූ 6-8% දක්වා ඉහළ පොලියක් එවිට ලාබ ලබන ආයෝජකයන්ට ගෙවන්නට සිදුවී තිබේ. මේනිසාද ඒකාබද්ධ අරමුදලට එහි හිඟ පියවා ගැනීම උදෙසා ලැබෙන මුදල් ප්‍රවාහ නතරවී තිබේ.

දේශීය වෙළඳපොළ බිඳ වැටීම:

මේ වාතාවරණය මැද රජයට ණය මුදල් සපයාගත හැක්කේ දේශීය වෙළඳපොළ වෙතින් පමණකි. එයද අයහපත් තත්ත්වයන් දෙකක් වර්ධනය වීම නිසා අඩපණවී ඇත.

# ඉන් එකක් වන්නේ ඵලදායී ලෙස රජයට ණය මුදල් ගැනීමේ සීමාව පාර්ලිමේන්තුව විසින් තීරණය කිරීමයි.

2020 පළමු මාස 4 සඳහා අතුරු සම්මත ගිණුම අනුමත වෙද්දී ණය ගැනීමේ සීමාව ලෙස තීන්දු වූයේ රුපියල් බිලියන 721කි.

2020 අප්‍රේල් මාසය නිමාවීමෙන් පසුව එළඹෙන කාලපරිච්ඡේදයට අතුරු සම්මත ගිණුමක් නැති නිසා ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවෙන් පැනවූ ණය සීමාවක් නොමැත. එසේ වුවද රජය මැතිවරණයෙන් පසුව එන නව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සීමාව ඉක්මවා රුපියල් බිලියන 120 ක් ලබාගෙන ඇති බව දත්ත වලින් පෙනී යයි.

රජය මැතිවරණයෙන් පසුව එන නව පාර්ලිමේන්තුවේ අනුමැතිය ගැනීමේ බලාපොරොත්තුවෙන් මෙම සීමාව ඉක්මවා රුපියල් බිලියන 120 ක් ලබාගෙන ඇති බව දත්ත වලින් පෙනී යයි.

# දෙවැන්න මහ බැංකුව කිහිප වාරයක්ම පොලී අනුපාත පහත හෙළීමයි. එසේ කරනු ලැබුවේ කොවිඩ් 19 යෙන් පීඩාවට පත් ආර්ථික ක්‍රියාකාරකම් උත්තේජනය කරනු සඳහාය. මෙම පොලී අනුපාතික කපා හැරීම සිදුවූයේ ද්විතිය වෙළඳපොළේ පොලිය ඉහළ යාමේ ප්‍රවණතාව තුළ වෙළඳපොළ අපේක්ෂාවලට ප්‍රතිවිරුද්ධව යමින් බව පෙනී යයි.

අනෙක් අතට මහ බැංකුවට එය ඉදිරිපත් කරන සියලුම භාණ්ඩාගාර බිල්පත් හරහා ණය ලබාගැනීමටද නොහැකිවී තිබේ. මීට දායක වෙමින් ඒවා මහ බැංකුව මිලදී ගත යුතුය. පසුගිය සති දෙකේ පමණක් රුපියල් බිලියන 18ක මිලදී ගැනීම් ඒ ආකාරයෙන් සිදු කර තිබේ.

මහ බැංකුව මුද්‍රණය කළ මුදලින් ඒකාබද්ධ අරමුදල පිරවීම:

ඇත්ත වශයෙන්ම රජයට ඇති වෙළඳපොළ වැසී ඇති නිසා ඒකාබද්ධ අරමුදලේ හිඟය පියවා ගන්නට රජයට ඇත්තේ තවත් එකම මගකි. එය නම් මහ බැංකුවෙන් මුදල් ණය ගැනීමයි. ඇතැමුන් වැරැදි ආකාරයෙන් මහ බැංකුවෙන් මුදල් අච්චු ගැසීම යන වචනවලින් හඳුන්වන්නේ එම ක්‍රියාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.