ඇඳිරිනීතිය පවත්වාගෙන යන්නට බිමල්ගෙන් යෝජනාවක්

Bimal Rathnayake

රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ පනවා ඇති ඇඳිරිනීය කෙටි කාලයකට දින කිහිපයකට වරක් ඉවත් කරන අතර එම ඉවත් කරන කාලයේ ජනතාව අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා තමන්ට ආසන්නතම නගරයට ඒකරාශීවන බැවින් එය පාලනය කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා විසින් සිය මුහුණුපොතේ යෝජනා කිහිපයක් පල කර තිබේ.

අද මධ්‍යාන 12.39ට ඔහු මෙම යෝජනා සිය නිල ෆේස්බුක් පිටුවේ පල කර තිබූ අතර “මට හිතෙන දේවල් ටිකක්” යනුවෙන් සටහන් කර තිබූ එම යෝජනා පහතින් පල වේ…

“මට හිතෙන දේවල් ටිකක්

ඇඳිරි නීතිය පැනැවීම corona පාලනයට හොඳ වුවද, ඇඳිරිනීතිය අවසන් කරන පැය කීපයක් ඇති අතර ඇතිවන තදබදය වැළැක්වීම පහසු නැත. එය විනය පිළිබද ප්‍රශ්නයක් පමණක් ම නොවේ. අතිවිශාල ජනතාවක් කෙටි වේලාවක් තුළ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි විට කොපමණ විනය ගරුක වුවත් වෙළද ව්‍යාපාර එවැනි මහා පරිමාණ අලෙවියකට අනුව සකස් කර නැති නිසා මේ තදබදය අනිවාර්ය.

එමනිසා ඇඳිරිනීතිය පැනවීමෙන් බලාපොරොත්තුවන සම්පූර්ණ ප්‍රතිලාභය රටට ලබා ගැනීම දුෂ්කර විය හැකිය.

එම නිසා,

01. ඇඳිරිනීතිය පවත්වාගෙන යන අතරම ෆාමසි සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අලවිකරණ වෙළඳසැල් විවෘතව තැබීම සහ ග්‍රාම නිලධාරී මහතුන් මගින් දිනකට එක් වරක් පමණක් භාවිතා කල හැකි, එනම් ඖෂධ සහ අත්‍යවශ්‍ය ආහාර ව මිලදී ගැනීම සඳහා පමණක් භාවිතා කළ හැකි බලපත්‍ර ලබාදීම. එමඟින් තදබදය වැළැක්වීම මෙන්ම corona ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩද අවම වේ. මෙය බොහෝ රටවල දැනට ද භාවිතා කරනු ලබයි.

02. චුන්පාන් රථවලට යෑමට අවසර දී තිබෙන නිසාත්, එවැනි රථ පහලොස් දහසක් විසි දහසක් පමණ රටේ ඇති නිසාත්, එම රථ සතොස, සුපිරි වෙළෙඳසල් හා ග්‍රාමීය වශයෙන් ඇති අත්‍යවශ්‍ය ද්‍රව්‍ය විකුණන කඩවල් වලට අනුබද්ධ කොට, ඒවා මගින් භාණ්ඩ අලෙවිය වඩා කාර්යක්ෂමව සිදු කළ හැක.

චීනයේ මේ වනවිට මෙය ඉතා සාර්ථකව සිදුකරන අතර චීනයේ බිඳවැටුණු සමහර වෙළෙඳ ව්‍යාපාර මෙම මඟින් නැවත නැගී සිටීමට ද හැකියාව අත්පත් කරගෙන තිබේ.(සත්‍ය වශයෙන්ම චීනයේ මේ සිදුකරන්නේ online trading මගින් ලබාගන්න මේ ආකාරයෙන් බෙදාහැරීමේ ජාලයක් මගිනි. මෙය විශාල වශයෙන් තාවකාලික රැකියා උත්පාදනයක් බවටද පත් වී තිබේ.)

මෙය සංවිධානය කිරීම ඒ ඒ වෙළෙඳ ව්‍යාපාර වලට ම කළ හැකි වන අතරම එසේ නොවන තැන්වලදී ග්‍රාම නිලධාරි මහතුන්ට හෝ විශේෂයෙන්ම සෑම ග්‍රාම සේවක වසම් අංක භාරව සිටින පොලිස් නිලධාරීන්ට සිදු කළ හැක.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.