
මැදපෙරදිග වර්ධනය වන යුදමය තත්ත්වය වෙත කඩිනමින් අවධානය යොමු කරමින් රටට අහිතකර ඇක්සා (ACSA) හා සෝෆා (SOFA) ගිවිසුම් අහෝසි කරන ලෙස ඉල්ලමින් පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
ශ්‍රී ලංකාව ඇක්සා (ACSA) හා සෝෆා (SOFA) නමින් වන ආරක්ෂක ගිවිසුම් දෙකක් ඇමරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කර තිබීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආරක්ෂාව විශාල ගැටලුවකට මුහුණ දී ඇති බවයි. එබැවින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ ස්වෛරීත්වයට සැබෑ ලෙසම තර්ජනයක්ව පවතින 1995දී අත්සන් කරන ලද සෝෆා ගිවිසුමත්, වත්මන් ජනාධිපති ආරක්ෂක ලේකම්වරයා ලෙස සිටියෙදී 2007දී අත්සන් කළ සහ 2017 දී එ.ජා.ප. ආණ්ඩුව විසින් දීර්ඝ කළ ඇක්සා ගිවිසුමත් වහාම අහෝසි කරන ලෙසත් ඒ වෙනුවෙන් පාර්ලිමේන්තුවට යෝජනාවක් ගෙනෙන ලෙසත් ඒ මහතා සිය ලිපිය මගින් ඉල්ලා ඉල්ලා ඇත.
“ඇමරිකානු හමුදාවන්ට අවශ්‍ය කරන සේවාවන් ලබාදීමට, එනම් ශ්‍රී ලංකාවේ වරායන් ගුවන්තොටුපළවල්, ඉන්ධන, සන්නිවේදන පහසුකම් ලබාදීමට බැඳී සිටියි. යුද ගුවන්යානා හා අනෙකුත් උපකරණ ශ්‍රී ලංකාවට රැගෙන ඒමටත් එසේම ලංකාවේ පාලනයට යටත් නොවන ඔවුන්ටම ආවේණික සන්නිවේදන පද්ධතියක් පවත්වා ගැනීමටත් ආදී වශයෙන් යුද්ධයකට අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කිරීමට ඉඩ ලැබේ.” යයි බිමල් රත්නායක කියා සිටී.
ඇමරිකානු සබඳතා පළුදු නොකර මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ගෙන ඒම ජනාධිපතිවරයාට දේශපාලන වශයෙන් පහසු නොවනු ඇත.