ඖෂධ නීතිගත සංස්ථාව කල් ඉකුත් වූ බෙහෙත් ගෙන්වයි

ජීව කාලය අඩු ඖෂධ වර්ග තුනක් ඉකුත් වසරේ මෙරටට ගෙන්වා ඇතැයි ආනයන අපනයන පාලක ජනරාල් දෙපාර්තමේන්තුවේ සිදුකරන ලද 2018 වසරේ විගණන වාර්තාවේ සඳහන් වේ.

එන්නත් වර්ගයක් අධික වමනය පාලනය සඳහා දෙන ඖෂධ පෙත්තක් හා ශරීරයේ එක් ස්ථානයක් පමණක් නිර්වින්දනය කිරීම සඳහා භාවිතා වන ඖෂධයක් මේ අතර ඇත. එම නිර්වින්දන ඖෂධය බොහෝ විට භාවිතා වන්නේ අක්ෂි සැත්කම්වල දීය.

මෙරටට ඖෂධයක් ගෙන්වීමේ දී එහි ආයු කාලය 75% ක් තිබිය යුතු නමුත් මෙකී ඖෂධ වර්ග තුන ඉතා කෙටි ජීව කාලයක් තිබියදී මෙරටට ගෙන්වා ඇති බව ද එම විගණන වාර්තාවේ සඳහන් වේ.

එම ඖෂධවල ජීව කාලය අඩු බැවින් බොහෝ විට කල් ඉකුත් වූ පසුවත් වෙළඳපොලේ තිබෙන්නට ඇතැයි සෞඛ්‍ය අංශ සැක කරයි. මෙකී ඖෂධ ගෙන්වා තිබුණේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් දෙකක් විසිනි.

මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වන්නේ කවර වුවමනාවක් මත දැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසීමක දී ඔහු සඳහන් කර සිටියේ හදිසි අවශ්‍යතා සඳහා ගෙන්වීමේ දී මෙවැනි සිද්ධීන් සිදුවන බවයි.

එමෙන්ම ඖෂධ නියාමන අධිකාරියේ අවසරය මෙවැනි ඖෂධ වලට ලැබෙන බැවින් මෙසේ ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීම එම අධිකාරිය දැනුවත්ව සිදුවන බව ද හෙතෙම සඳහන් කළේය.

ජීව කාලය අඩු ඖෂධ ගෙන්වීමෙන් සිදුවන්නේ බොහෝ විට රෝගීයා අතට ඖෂධය යන අවස්ථාව වනවිට එය කල් ඉකුත් වී තිබීම යැයි ද රෝගියා ළඟ තබාගන්නා ඖෂධයක් වුවහොත් එය කල් ඉකුත් වී අතුරු ආබාධ පවා ඇති වීමට එය හේතුවනු ඇතැයි ද හෙතෙම පෙන්වා දුන්නේය.

මේ තත්ත්වය යටතේ ජීව කාලය 75% කට අඩු ඖෂධ ගෙන්වීමට කිසිදු ඉඩක් ඖෂධ නියාමන අධිකාරියෙන් නොදිය යුතු යැයි ද එය අධිකාරිය විසින් අවධාරණය කළ යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

කල් ඉකුත් වූ බෙහෙත් ගෙන්වීම සම්බන්ධයෙන් මීට පෙර රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍යඇමතිවරයා වැරදිකරු වූ අතර මේ බෙහෙත් ගැන්වීමට වගකිව යුත්තේ කවුරුන්ද යන ප්‍රශ්නය දැන් මතුවී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.