කටු පොල් තෙල් කෑමට ගන්නේ ප්‍රවේශමෙන්

එළවළු වල රූප සහිතව වෙළෙඳපොළ රාක්ක වල ගබඩ කොට ඇත්තේ එළවළු තෙල් නොවේ. සරල කටුපොල් තෙල්මය.

”පොල්තෙල් උනත්, පාම් තෙල් උනත් ඔය දෙකේම වැඩිපුර තියෙන මේද අම්ල, සංතෘප්ත මේද අම්ල කියලයි වර්ග කරලා තියෙන්නේ. පාම් තෙල්වල නම් පොල් තෙල්වලට වඩා තරමක් අඩුවෙන් තමයි තියෙන්නේ. ඒත් පොල්තෙල් වල නම් 92% ක්ම සංතෘප්ත මේද අම්ල. පාම් තෙල් වලට එළවළු තෙල් කියනවා නම් පොල්තෙල්වලටත් එහෙමම කියන්න වෙනවා. සත්ව තෙල්වල තියෙන්නේත් වැඩිපුරම ඒ වර්ගයේ මේද අම්ල. රුධිරයේ ‘නරක කොලෙස්ටරෝල්’ (LDL) කියන වර්ගය වැඩි කරවන්නේ මේවා විසින්. ඒ හරහා හෘදයාබාධ අවදානම ද ඉහළ යනවා. නමුත් නියම එළවළු තෙල් ගණයට වැටෙන තෙල් වර්ගවල තියෙන්නේ ‘අසංතෘප්ත මේද අම්ල’ කියන ඒවා.”

පාම් තෙල් වෘකයෙක්

බැටළු වෙස්ගත් වෘකයෙක් බඳු වූ පාම් තෙල් නමැති ඊනියා වෙජිටබල් ඔයිල් ගැන මූලික හැඳින්වීමක් ලබා දුන්නේ කෘෂි විද්‍යාඥ සෙනරත් ඒකනායක මහතායි. හෙතෙම කලකට ඉහතදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ආහාර පර්යේෂණ ඒකකයේ ප‍්‍රධානියා ද විය.

අප අනාදිමත් කාලයක සිට පොල්තෙල් අනුභව කරන්නෙමු. .

පිරිසිදු පොල්තෙල්

”පොල්තෙල් හොඳයි කියන විදෙස් පර්යේෂණ වාර්තා අරගෙන පරිස්සමෙන් බැලූවොත් පේනවා ඒ පර්යේෂණ සේරෝම විද්‍යාගාර ඇතුලේ කරලා තියෙන්නේ අපි වෙළෙඳපොළෙන් ගන්න විධියේ පොල්තෙල් අරගෙන නෙවෙයි. ඔවුන් තමාගේ පර්යේෂණ සඳහාම ඉතා ක‍්‍රමවත්ව, පිරිසිදු පොල්තෙල් හදලා, ඒවායින් තමයි පර්යේෂණ කරලා තියෙන්නේ. මේවා අදූෂිත නොහොත් පිරිසිදු පොල්තෙල් (virgin coconut oil)’. එතකොට හොඳ ප‍්‍රතිපල එන්න පුළුවන්. ඒත් අද සිල්ලර කඬේ තියෙන පොල්තෙල්වල තත්ත්වයට මේ පර්යේෂණ වාර්තා ගලපන්න බෑ. වෙළෙඳපොලේ තියෙන බාල පොල්තෙල් ඉතා රළු ක‍්‍රමයට හදපුවා. නිෂ්පාදන ක‍්‍රමවේදය තුළදී ඒ තෙල්වලට ගොඩක් වෙනස්කම් සිදුවෙනවා. ජනතාව අනුභව කරන්නේ ඒවායි. හානිය වෙන්නේ ඒවායිනුයි. එතැන නිවැරදි නොකර පොල්තෙල් හොඳයි කියන්න බෑ.”

අප තෙල් පරිභෝජනය කරන්නේ ගැඹුරු තෙලේ දමා බැදගත් ආහාර හෝ තෙම්පරාදුවක් ලෙස පිළියෙල කළ කෑම සමගය. තෙල් තාච්චිය පෙන දමන්නට උතුරවන විට බාහිර ඔක්සිජන් තෙල් තුළට රිංගන්නට බලයි. තෙල් අසංතෘප්ත නම් වැඬේ පහසුය. එනම් අසංතෘප්ත මේද අම්ල බහුල සූරියකාන්ත, බඩඉරිඟු හා සෝයාවල මෙම ඔක්සිකරණය පහසුවෙන් සිදුවේ. එනම් ඒවා උතුරන තෙල් තාච්චිය තුළදී පොල්තෙල් තරමට ශක්තිමත්ව, ස්ථායීව හැසිරෙන්නේ නැත.

අසංතෘප්ත තෙල්

”අසන්තෘප්ත තෙල් වලින් ‘මුක්ත ඛණ්ඩක’ කියල අංශු විශේෂයක් මුදා හරිනවා. කල් ගතවෙනකොට මේ වැඬේ ඉබේටම සිදුවෙන දෙයක්. ආලෝක කිරණ, තෙතමනය, උෂ්ණත්වය, ඔක්සිජන් සැපයුම වගේ තත්ත්වයන් මත මෙය පහසුයි. පිටරටින් ගෙනෙන ඔලිව් තෙල් එහෙම කළුපාට බෝතල්වල දාල සීල් කරලා තියෙන්නේ මේ ඔක්සිකරණය නවත්තන්න. අපි තෙල් උණු කරනකොටත් මේ වැඬේම වෙනවා. එතකොට බැදපු ආහාරයත් සමග මුක්ත ඛණ්ඩක ශරීර ගතවෙනවා විතරක් නෙවෙයි, දම්වැල් ප‍්‍රතික‍්‍රියාවක් වගේ ආහාරයේ තිබෙන අනෙක් තෙල් සමගත් ප‍්‍රතික‍්‍රියා කරමින් මුක්ත ඛණ්ඩක ‘පැටවු ගහනවා’. මෙම අස්ථායී ඛණ්ඩක දේහයෙන් බැහැර කරගත නොහැකි වූ විට, දේහ ෙසෙලවලට යම් ආතතියක් ඇතිකරමින් දේහයේ ක‍්‍රියාකාරිත්වය අවුල් කරන නිසා ශරීරය ලෙඩ වෙනවා. හදවත් රෝග, පිළිකා, ආඝාතය, ආතරයිටීස් වැනි තත්ත්වයන් මේවාට උදාහරණ. වෛද්‍යවරුන් පවසන්නේ පිටතින් ගන්නා ‘ප‍්‍රතිඔක්සිකාරක’ Antioxidants නම් ද්‍රව්‍ය හරහා ඉහත කී මුක්ත ඛණ්ඩක ඇති කරන ප‍්‍රචණ්ඩත්වය සමනය කරන්න පුළුවන් බවයි. හැබැයි ඒ වගේම සාධාරණ නැත්ද අපේ ආහාර පිළියෙල කිරීමේ රටාව එහා මෙහා කරලා මුක්ත ඛණ්ඩක හැකිතරම් අඩුවෙන විධියට කෑම ටික හදා ගත්තොත්?”

ආහාර විද්‍යාඥ සෙනරත් ගේ විමසීම හෝ යෝජනාව පැහැදිලිය. පිටරටවල ධනවත් ඇත්තෝ ගැඹුරු තෙලේ යමක් බැද්දත් ඒ තෙල් ටික නැවත භාවිතා කරන්නේ නැත. ඔය කියන විධියට බැදීමෙන් පසු එම තෙලේ මුක්ත ඛණ්ඩක පිරිලාය. නැවත රත් කළහොත් ඔක්සිකරණය තව ටිකක් සිදුවී තවත් මුක්ත ඛණ්ඩක ටිකක් තෙල් ගොඩට මෙන්ම එයින් බදිනා ආහාරයට ද එකතු වන්නේය.

ගැඹුරු තෙලේ බැදුමට එළවළු තෙල්වලට වඩා පාම් තෙල් හොඳය. පොල්තෙල් ඊටත් වඩා සුදුසුය. මන්දයත් එහි 92% ක් ම සංතෘප්ත මේද අම්ල ඇති බැවිනි. එසේ නම් අප කොබෙයියා බැදගත යුත්තේ පොල්තෙලෙන් මිස එළවළු තෙලෙන් හෝ පාම් තෙලෙන් නොවේ! ගැඹුරු තෙලේ වැඩි වේලාවක් ගිල්ලවාගෙන බදිනා, කැවුම්, කොකිස්, ආස්මි, උඳුවැල් ආදී අපගේ සාම්ප‍්‍රදායික ආහාර පිසීමේදී අතීතයේ භාවිතා කරනු ලැබුවේ පිරිසිදු පොල්තෙල්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.