කමිටුවට පෙර නම් වැට පනියි

තවත් රජයේ ආයතන තුනකට සභාපතිවරු නම් කර තිබේ. ඒ අනුව මධ්‍යම පරිසර අධිකාරිය,ස්වාධීන රූපවාහිනී සේවය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව යන ආයතන වෙත ප්‍රධානීන් නම් කර ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ලෙස සිරිපාල අමරසිංහ මහතාත්,ලලිත් පියුම් පෙරේරා මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති වශයෙනුත් මේ වන විට නිර්දේශ කර ඇති බවයි වාර්තා වුණේ.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස ජයන්ත කැටගොඩ මහතා නම් කර ඇති බවද සඳහන්. ඔහු පසුගිය ජනාධිපතිවරණයේ ජනාධිපති අපේක්ෂකයෙක් ලෙසද ඉදිරිපත්ව සිටියේය.

මේ අතර ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලෙස රේණුක පෙරේරා මහතා යෝජනා කර තිබෙන නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර ඇති බවයි කියවුණේ. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කිමාලී ප්‍රනාන්දු මහත්මිය නම්කර තිබෙන බවයි වාර්තා වන්නේ. බැංකු හා මූල්‍ය ක්ෂේත්‍රයේ ඉදිරි පෙළ කාන්තාවක් වන අතර ඇය ප්‍රකට ඩිල්මා (Dilmah Tea) සමාගමේ හිමිකරු වන මෙරිල් ජේ ප්‍රනාන්දු මහතාගේ ලේලියි.

මේ අතර ඇය පෑන් ඒෂියා බැංකුවේ හිටපු ප්‍රධාන විධායක නිලධාරිනිය ද වෙයි. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනිය ලෙස තෝරාගැනීමට පෙර ඇය මහජන බැංකුවේ සභාපතිනිය ලෙස තෝරාගෙන ඇති නමුත් පෑන් ඒෂියා බැංකුවේ කටයුතු කළ සමයේ මතු වූ විවාදාත්මක තත්ත්වය නිසා ඇයව මහජන බැංකුවෙන් ඉවත් කර සංචාරක කර්මාන්තය එක් කරගෙන ඇත.

කීල්ස් සමගමේ හිටපු සභාපති සුසන්ත රත්නායක මහතා ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස තෝරාගෙන තිබේ. සුසන්ත රත්නායක මහතා ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර තිබෙන අතර ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපතිවරයෙක්ද වෙයි. ශ්‍රී ලංකා ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙක් ලෙසද කටයුතු කර ඇති ඔහු ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හසල අත්දැකීම් සහිත තැනැත්තෙකි.

මේ අතර ශ්‍රී ලංකා ගුවන් සමාගම සඳහා ව්‍යාපාර ලෝකයේ සිය ආධිපත්‍ය පතුරවමින් සිටින සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාපකයා වන අශෝක් පතිරගේ මහතා නම් කර ඇති බව සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.