
තම නිවසේ සේවයට ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගැනීම ඇතුළු චෝදනා 06ක් යටතේ වරදකරු වීමෙන් වසර 03ක සිර දඩුවම් නියම වූ හිටපු නියෝජ්‍ය පොලිස්පති හෙක්ටර් ධර්මසිරි මහතාට එම දඬුවම නියම කර පැය කිහිපයක් ඇතුළත ඇප ලබාදී තිබේ.
රුපියල් ලක්ෂ 03ක ශරීර ඇප මත හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කර ඇත.
එම චෝදනා 06ට වෙන් වෙන් වශයෙන් වසර 06ක සිරදඬුවම් නියම වූ අතර එය වසර 03කින් ගෙවී යන පරිදි ලබාදීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙන අතර එම දඬුවම ලබා දෙමින් මහේස්ත්‍රාත්වරිය පවසා ඇත්තේ, මෙවැනි දඬුවමක් ප්‍රකාශයට පත්කළේ සෙසු රජයේ නිළධාරීන්ටද ආදර්ශයක් ලෙස බවය.
කෙසේ නමුත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් අද (02) ලබාදුන් තීන්දුවට එරෙහිව මහාධිකරණය හමුවේ අභියාචනා ගොනු කරන බව පෙන්වාදෙමින් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදුකළ කරුණු දැක්වීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය ඔහු ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ.
2007 වසරේදී මාතලේ කොට්ඨාශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ලෙස කටයුතු කරමින් සිටියදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ පිහිටි ඔහුගේ පෞද්ගලික නිවසේ සේවය සදහා ග්‍රාම ආරක්ෂක නිලධාරීන් යොදවා ගත් බවට හෙක්ටර් ධර්මසිරි මහතාට විරුද්ධව චෝදනා එල්ල වී තිබුණි.