කාන්තාවකට රේගු අධ්‍යක්ෂ ජනරාල් විය හැකිද ?

sarojinideviරේගුව යනු උණුසුම් තැනකි. ආණ්ඩුවට බිලියන ගණනක් අහිමි කෙරෙන ජාවාරම් තිප්පොලකි. දැක්කොත් බුවා නොදක්කොත් එබුවා තැනකි. අමාරුකරයින්ගේ රජ දහනේ පරිපාලනය ගැහැනියකටඔරොත්තු දේද? ඇමති මංගල නිර්භය තීරණයක් ගත්තේය. යුධ ගිනිදැල් මැදින් ඇවිද ආ කාන්තාවක් මුල් පුටුවට පත් කෙරින. නමින් ඇය සරෝජිනීදේවී මම්මත්රාජා චාර්ල්ස් ය.

ක්‍රියාවෙන් ඇය අභියෝග වලට අභියෝග කිරීමට සමත් කාන්තාවකි. රෝ වෙබ් අඩවියට ඇගේ දිගු ගමනේ මතක සටහන් කීපයක් හෙළිදරව් කලාය. ශ්‍රී ලංකාවේ පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක වන චාර්ල්ස් මහත්මිය මඩකළපුව සහ වව්නියා යන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් ධුර දරමින් රාජ්‍ය සේවයේ වසර 26 ක පළපුරුද්දක් ලබා ඇත.

2008 මම වවුනියාව දිසාපතිනිය විදිහට වැඩ කළා. එය යුද්ධය දරුණුවට පැවති අවස්ථාවක්. ඒ වෙලාවේ මට දිසාපතිගේ රාජකාරිය විතරක් නෙවෙයි කරන්න සිද්ධ වුණේ.රෝමානුෂීය සබඳතා පිළිබඳව තනතුරත් දීලා තිබුණේ මටයි. යුද්ධය කාලයේ දී වව්නියාවේ ජනතාවට අවශ්‍ය දේවල් සියල්ලම සම්පාදනය කරන්න වුනේ මට යි. ඒ කාලේ A 9 පාර වහලා තිබුණු නිසා කෑම ඇතුළු අත්‍යවශ්‍ය දේවල් ගෙනියන්න සිද්ධ වුණේ වෙනත් පාරවල් වලින්. ඒ කාලයේ දී හුඟාක් මහන්සි වෙලා වැඩ කරන්න සිද්ධ වුණා.

යුද්ධය ඉවර වෙනකොට අනාථ වුණු ජනතාව සේරම අවේ වව්නියාව දිස්ත්‍රික්කයට. ලක්ෂ 03 ක පමණ ජනතාවක් වව්නියාවට එද්දි මාසයක් ඇතුළත ඒ අයට අවශ්‍ය සියලු දේවල් සූදානම් කරලා දුන්නා. මෙවැනි අභියෝගාත්මක තත්වයක තමයි මට වැඩ කරන්න සිද්ධ වුණේ. ඉතින් මාධ්‍යවලින් වගේම ජාත්‍යන්තර ප්‍රජාවගෙනුත් මට විවේචන කරදර එල්ල වුණා.

ඊට පස්සේ මට මඩකලපුවේ දිසාපතිනිය විදිහට යන්න වුනා. දේශපාලනමය වශයෙන් ආණ්ඩුව කරුණා පිල්ලෙයාන් වගේ කණ්ඩායම් ඉන්න පරිසරයක තමයි මට වැඩ කරන්න වුණේ. 2011 එහෙ ඉඳල 2014 වෙනකම් මම වැඩ කළේ මඩකලපුවේ යි. මඩකලපුවේ මම වැඩ කරන්න වුනෙත් හුගක් අමාරුවෙන්.

මඩකළපුවේ වැඩ කරන එක ඒ තරම්ම අසීරු වුණේ ඇයි ?

ඒ ප්‍රදේශයේ අය හුඟක් ප්‍රදේශවාදය බලනවා. උතුරේ ඉන්න අය නැගෙනහිර වැඩ කරනවට කැමති නැහැ. අනිත් එක තමයි එහෙත් බහුතරය ඉන්න හින්දු අය. මම කතෝලික වුණ එකත් සෑහෙන්න බලපෑවා. ඒ වගේම නැගෙනහිර අය ගැහැණු ළමයින්ට ගරු කරන්නේ නැහැ. එවැනි වාතාවරණයක් තුළ තමයි මම වැඩ කළේ.

ඒත් හැකි උපරිමයෙන් මම වැඩ කළා. මම මඩකළපුවට යද්දි දරිද්‍රතා දර්ශකයේ ඒ අය හිටියේ 20.4 වෙනි තැන. නමුත් ගිය අවුරුද්ද වෙද්දී නිකුත් වෙලා තිබුණු මහ බැංකු වාර්තාවලට අනුව මඩකළපුව දිස්ත්‍රික්කයේ දරිද්‍රතාවය 7.4% දක්වා අඩු වෙලා තියෙනවා. මට එවැනි අභියෝග රාශියක් තිබුණා.

වැඩිපුරම පීඩනයක් එල්ල වුණේ කොහෙන් ද?

මට හුගක් ම පීඩනයක් කළේ දේශපාලන පැත්තෙන්. හැබැයි ඒක මම ගණන් ගන්නෙ නැහැ. රාජ්‍ය සේවයේ නිලධාරියෙක් හැටියට මට කරන්න තිබුණ වගකීම මම ඉටු කළා. මම මඩකළපුවේ වැඩ කරන්න කැමති නැති වුණත් ජනාධිපතිතුමා නියෝග කරපු නිසා මම වැඩ කළා. යන්න කිවුවහම මම යනවා. දේශපාලන වශයෙන් මට සම්බන්ධකම් නෑ. දැන් මට රේගු දෙපාර්තමේන්තුව බාර දුන්නා. ආණ්ඩුවට වැඩිපුරම ආදායම් ලබා දෙන දෙපාර්තමේන්තුව තමයි රේගු දෙපාර්තමේන්තුව.

යුද්ධය කාලේදී තර්ජන තිබුණ ද?

යුද්ධෙ කාලේ මට තර්ජන හුඟාක් තිබුණා.

බය වුණේ නැද් ද?

ඒවාට මම බය වුනේ නැහැ. මම වැරදි වැඩ කරන්නේ නැහැනේ.

ඔබේ කුඩා කාලය ගැන කතා කළොත්… රාජ්‍ය සේවයට සම්බන්ධ වෙන්න ඕනේ කියලා කුඩා කාලයේ ඉඳන්ම හීනයක් තිබුණ ද?

මගේ තාත්තා තමයි මුලින්ම රාජ්‍ය සේවයේ විභාගයට ලියන්න කියලා කිව්වේ. මම කැමති වුණේ නැහැ. එතකොට තාත්තා කිව්වා අත්සන් කරලා දෙන්න මම පොස්ට් කරන්නම් කියලා. තමයි එහෙම තමයි මම රාජ්‍ය සේවයට ආවේ.

මම රාජ්‍ය සේවයේ පලවෙනි විභාගේ කරන්න ඉන්නකොට මගේ තාත්තා නැති වුනා. මගේ wedding එක ඉවර වෙලා දවස් 45කින් තමයි තාත්තා නැති වුනේ. ඒ ගැන මට හරිම දුකයි. ඒ නිසා විභාගේ කළේ නැහැ. ඒ විභාගෙට දෙවෙනි දිනය එනකොට මගේ දෙවෙනි දුවව හම්බවෙන්න දවස් දුන්නා. මහත්තයා කිව්වා දෙවෙනි දරුවා නිසා වෙලාව කියන්න බැහැ. දින දීලා තියෙන්නේ 21 වෙනිදා. කොහොමහරි ඔයා විභාගේ කරන්න කියලා කිව්වා. ආරෝග්‍යශාලාවකට කිට්ටු තැනක් අරගෙන ඉමු ඔයා විභාගේ ලියන්න කියලා මහත්තය මට ගොඩාක් උදව් කළා.

19 වෙනිදා මම පළවෙනි විභාග ප්‍රශ්න පත්තරේට ලිව්වා. 20 වෙනිදා දෙවෙනි ප්‍රශ්න පත්තරෙත් කළා. 21 වෙනිදා තුන් වෙනි ප්‍රශ්න පත්තරේට මම උදේම ගියා. ගෙදර ආවට පස්සේ මට ටිකක් කැක්කුම දැනුණා. මගේ මහත්තයා nursing home එකට එක්කගෙන ගියා. විභාගේ ඉවර වෙලා මම ආවේ දවල් 12ට. 2.30 වෙද්දී බබා හම්බුනා. 22, 23, 24 විභාගේ තිබුනා. දොස්තරට මහත්තයා කතා කලහම දොස්තර මහත්තයා කිව්වා අවසර දෙන්න බැහැ කියලා. එහෙමනම් වෛද්‍ය උපදෙස්වලට පිටින් මම මගේ බිරිඳව එක්ක යනවා කියලා ලියන්න කියලා මගේ මහත්තයට කිව්වා. මහත්තයා ටිකට් එක කපන්න එහෙම ලිව්වා. මම විභාගේ ලියන්න ගියා. පැය එකහමාරේ ප්‍රශ්න පත්තර දෙකටම මම ලිව්වා. ඒ දෙකටම මට ලකුණු 68, 70 ගානේ තිබුණා.

ඔබේ ගම් ?

අපේ ගම තමයි යාපනයේ ඉලවාලි.

පාසල් අධ්‍යාපනය ?

මුලදී මම ගියේ ඉලවාලි ඉස්කෝලෙට පස්සේ යාපනයේ සියලු සාන්තුවරියන්ගේ කන්‍යාරාමයට ගියා. පළවෙනි උපාධිය ලබාගත්තේ යාපනය විශ්වවිද්‍යාලයෙන්. රජරට විශ්ව විද්‍යාලයේ MA කළා. MSC කළෙ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන්.

සාම්ප්‍රදායික සමාජය තුළ උගත් ගැහැණු අය ගෙදරටම කොටුවෙලා ඉන්න බවක් තමයි බොහෝවිට දකින්නට ලැබෙන්නේ. අද වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම රැකියා වල කාන්තාවන් වැඩි ප්‍රමාණයක් සිටිනු දක්නට ලැබුනත් බොහෝ විට විවාහයේ තිබෙන වගකීම් එක්ක ඉදිරියට යන ගතිය අඩුවෙලා තියෙනවා. මේ වාතාවරණය කාන්තාවන්ගේ පැත්තෙන් ඔබ දකින්නේ කොහොමද?

මගේ අම්මා ප්‍රින්සිපල් කෙනෙක්. අම්මට පළවෙනි පත්වීම ලැබුණේ කොළඹ රාගම පාසලකට. පසුව යාපනයේ, වවුනියාවේ හිටියා. ඒ නිසා අපේ පවුල තුළ ගැහැණු අය විදිහට එවැනි ප්‍රශ්න අපිට තිබුණෙ නැහැ. හැම දේකදිම මට පවුලේ සහයෝගය ලැබුණා. විවාහ වුණාට පස්සේ මගේ මහත්තයා ගොඩක් උදව් කළා. මගේ තාත්තා වැඩ කළේ පොලිස් දෙපාර්තමේන්තුවේ. 1992 දී තාත්තා නැති වුණා. අම්මා තමයි දැන් මට ඉන්නේ.

ඔබේ සැමියා ගැන කතා කළොත්, ඔහුත් රාජ්‍ය සේවයේ නිරත අයෙක් ද?

මගේ මහත්තයා වව්නියාවේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂක විදිහට වැඩ කරනවා.

කාන්තාවෝ රැකියාවල් කරද්දී ගෙදර වැඩ අවුල් වෙනවා කියලා සමහර සැමියන් කාන්තාවන් රැකියා කරනවට කැමති නැහැ. එවැනි ප්‍රශ්න ඔබටත් තිබුණ ද?

මට එහෙම ප්‍රශ්න තිබුණේ නැහැ. දෙන්නම රජයේ සේවයේ වැඩ කරන නිසා ළමයි පොඩි කාලේ දී අපිට කරදර ආවා. ඒ කාලේ මගේ අම්මා තමයි දරුවන්ව බලා ගත්තේ. ගෙදර වැඩ හැම එකක්ම කළේ මහත්තයයි මමයි එකතු වෙලා. උයන එක බඩු ගේන්න යන එක හැමදේම කළේ අපි දෙන්නා එකතු වෙලා තමයි. ළමයි දැන් ලොකු නිසා ප්‍රශ්නයක් නැහැ.

දරුවෝ ගැන කතා කළොත්…

මගේ දරුවෝ දෙන්නෙක් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබනවා. එක්කෙනෙක් යාපනයේ විශ්ව විද්‍යාලයේත් තව එක්කෙනෙක් චීනයේ විශ්ව විද්‍යාලයකත් අධ්‍යාපනය ලබනවා. මට එක පුතෙකුයි දුවලා හය දෙනෙකුයි ඉන්නවා.

දුවලා හය දෙනෙක් ඉන්න එක ඔලුවට බරක් වගේ දැනෙන්නේ නැද්ද?

මගේ මහත්තයා ළමයි ඉන්නවට ආසයි. මමත් ආසයි මොකද මගේ පව්ලේ එකම ගෑනු ලමයා මමයි. ඉතින් අපි දරුවන්ට ආසයි. ගැහැණු දරුවෝද පිරිමි දරුවෝද කියන එක ප්‍රශ්නයක් නැහැ.

ඔබ හොඳින් සිංහල භාෂාව කතා කරන්න පුරුදු වුනේ කොහොම ද ?

මම ඉගෙන ගන්නකොට සිංහලෙන් කතා කරන්න බැහැ. මගේ තාත්තට මහත්තයට හොඳට සිංහල කතා කරන්න පුළුවන්. මම වැඩ කරනකොට හැමදාම මගේ ඩ්‍රයිවර් පොලිස් නිලධාරින් සේවකයින් හිටියේ සිංහල ය. ඒගොල්ලොත් එක්ක කතා කරලම සිංහල කතා කරන්න පුළුවන් වුණා.

අනාගත බලාපොරොත්තු මොනව ද?

ළමයි සේරගේම වගකීම්වලින් මිදුණට පස්සේ ස්වේච්ඡාවෙන් සමාජ සේවය කරන්න මම කැමැත්තෙන් ඉන්නවා.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.