කැටපත් පවුරේ දිලීර සටන ඇරඹේ

ketapath pawura - sigiriyaසීගිරිය කැටපත් පවුරේ කොටසක සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින හඳුනාගත් දිලීරය මර්දනය කිරීම සඳහා නිර්දේශිත රසායනික ද්‍රව්‍ය යොදා ප්‍රතිකර්ම යෙදීම රසායනික හා සංරක්‍ෂක විශේෂඥයන් කණ්‌ඩායමක්‌ විසින් ආරම්භ කරන ලදී.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂක ජනරාල් මහාචාර්ය පී. බී, මණ්‌ඩාවල හා මධ්‍යම සංස්‌කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් කැටපත් පවුරේ පැතිර යන දිලීරය සඳහා ප්‍රතිකර්ම යෙදීම සිදුකරනු ලබති.

මේ පිළිබඳව මාධ්‍යයට අදහස්‌ පළ කළ ආචාර්ය අර්ජුන රන්තිලගේ මහතා කියා සිටියේ සීගිරිය කැටපත් පවුරට ලවන මගින් වන හානිය පිළිබඳව දිගින් දිගටම රසායනාගාර පරීක්‍ෂණ සිදුකරමින් පවතින අතරතුර එම ලවන හානියත් සමග ඒ මත සීඝ්‍රයෙන් පැතිර යමින් පවතින දිලීර හානිය පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයේ සංස්‌කෘතික ද්‍රව්‍ය විශ්ලේෂණ රසායනාගාරයේ සිදු කළ අධ්‍යයනයකදී මෙම පැතිර යන දිලීරය Scedosporium වර්ගයේ දිලීර බවට හඳුනාගෙන මහාචාර්ය ඩී. එල්. ජයරත්න මහතා විසින් සුදුසු ප්‍රතිකර්ම නිර්දේශ කරනු ලැබුවා.

ඒ අනුව Dithiocarbomate නම් වූ රසායනික ද්‍රව්‍ය අලේප කිරීම අද දිනයේ ආරම්භ කළා. එම දිලීරය සුළඟ මගින් වේගයෙන් ව්‍යාප්ත වී යැමේ අවදානමක්‌ තිබුණා. ඒ සඳහා ප්‍රමාද නොකොට කඩිනම් පියවර ගැනීමට හැකිවීම තුළ එම අවදානම පහව ගොස්‌ තිබෙනවා. නොඑසේ නම් කැටපත් පවුරට ස්‌ථිර හානියක්‌ වීමේ අවදානම තිබුණා.

දිලීරය මර්දනය සඳහා යොදාගනු ලබන රසායනික ද්‍රව්‍ය කැටපත් පවුරට හානියක්‌ නොවන බවට තහවුරු කර ගැනීමෙන් පසු සුදුසු නිර්දේශයන් පරිදි යොදාගෙන ඇති බවද අර්ජුන මහතා පැවසීය.

සීගිරිය ව්‍යාපෘතියේ කළමනාකරු ඒ. ඒ. ඒ. නිශාන්ත මහතා මෙහිදී කියා සිටියේ ඉහළ කළමනාකාරිත්වයේ අධීක්‍ෂණය යටතේ දැනට ආරම්භ කර ඇති ප්‍රතිකර්ම වලින් පසු සතියකින් පමණ වඩාත් සාර්ථක ප්‍රතිඵල අපේක්‍ෂා කරන බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.