ජවිපෙ ඡන්ද අඩුවන්නේ ඔවුන්ගේ වරදකට නොවේ – නිර්මාල් රංජිත්

nirmal-ranjithබලා‍පොරොත්තු වන ඡන්ද පදනම ළඟා කරගන්නට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි වන්නේ සරල කාරණා කිහිපයක් හේතුවෙනි. ඉන් පළමුවැන්න ඡන්දයක දී ජනතාව කල්පනා කරන ආකාරයයි. එනම්, අපේ රටේ බහුතරයක් දෙනා ඡන්දයක් භාවිත කරන්නට පෙර සැළකිල්ලට ගන්නා ප්‍රධානතම සාධකය වන්නේ, තමන් ඡන්දය දෙන පක්ෂය ආණ්ඩු බලයක් පිහිටුවන්නට හැකියාවක් ඇත්දැයි යන කාරණාවයි. එබැවින් තම ඡන්දයෙන් ආණ්ඩුවක් බලයට පත්කොට තමන්ට ගත හැකි ලාභ ප්‍රයෝජනය කුමක්ද යන්න පිළිබඳව ඔවුහු කල්පනා කරති. ඒ අනුව, මැතිවරණයකදී ජනතාව ඡන්දය භාවිත කරන්නේ, යම් දේශපාලන පක්ෂයකට දිනීමට ඇති හැකියාව සළකා බලමිනි.

එමෙන්ම තවමත් ජවිපෙට ඡන්දය දෙන්නට කැමති ඉතා සුළු පිරිසක් පමණි.

ඇතැමුන් මෙම තත්ත්වය විග්‍රහ කරන්නේ, අසූ අට, අසූ නවය වසරවලදී මිනිසුන්ට අත්විඳින්නට ලැබුණු භීෂණකාරී තත්ත්වය මීට හේතුවක් වී ඇති බව පෙන්වා දෙමිනි. එහෙත් එහි සත්‍යතාවක් නොමැත. තවමත් එවන් මානසිකත්වයක් තුළ සිටින පිරිස ඉතා කුඩාය. බහුතරයක් දෙනා දැන් ඒ ගැන විශාල අවධානයක් යොමු කරන්නේ නැත. ඊට හොඳම උදාහරණය ඉකුත් දෙදහස් හතරේ පැවැති මැතිවරණයයි. එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගත වී එම මැතිවරණයට ඉදිරිපත් වූ ජනතා විමුක්ති පෙරමුණ එකල ලැබූ ඡන්ද ප්‍රතිඵලය ඉතා විශාලය. එවර ඔවුන්ට ලැබුණු මනාප සංඛ්‍යාව ද ඉහළය. ජවිපෙ ගැන භීෂණකාරී මානසිකත්වයකින් ජනතාව කටයුතු කළේ නම්, එම මැතිවරණයේ දී ඔවුන්ට එවැනි විශාල ජයග්‍රහණයක් හිමි කරගන්නට අවස්ථාවක් ලැබෙන්නේ නැත.

අනෙක් අතට, ජන්ද නොලැබිම ජවිපෙ දුර්වලතාවක් ලෙස ම දැකිය නොහැකි ය. මිනිසුන් ඡන්දය දෙන්නේ හිතුමනාපයටම නොවේ. ලංකා සමසමාජ පක්ෂය යනු, ජවිපෙටත් වඩා, ඉතා විශිෂ්ට දේශපාලඥයන් සිටි පක්ෂයකි. බහුතරය ආචාර්ය උපාධි සහිත වූවන් වන අතර, ලංකාවේ මතෛක් බිහි වූ හොඳම මුදල් ඇමැතිවරයා බිහිකරන ලද්දේ ද ඔවුන් ය. එහෙත් එවැනි පක්ෂයකට වුව ද ජනතාව හැමදාමත් එකම ආකාරයෙන් ඡන්දය භාවිත කළේ නැත.

ඡන්දයක් භාවිත කිරීමේ දී යම් යම් පක්ෂවලට ජනතාව තුළ පවතින සාම්ප්‍රදායික ඇල්ම ද බහුලව බලපායි. පසුගිය කාලය පුරාම අපේ රටේ හැමදාමත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගත්තේ, ප්‍රධාන ධාරාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (පසුකාලීනව එක්සත් ජනතා නිදහස් සන්ධානය) සහ එක්සත් ජාතික පක්ෂයයි. අද වන විට ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණ ද එකතු වී ඇති අතර ප්‍රධාන පක්ෂ තුනට ඒ සාම්ප්‍රදායික ඇල්ම මත ජනතාව සිය ඡන්දය භාවිත කරති. මේ අතර කුමන පක්ෂයක් දිනුවත් කමක් නැත යන මානසිකත්වයෙන් සිටින පිරිසක් ද වෙති. විශේෂයෙන් මධ්‍යම පාන්තික පිරිස් බොහෝ විට කටයුතු කරන්නේ, බලයට පත් වීම වැනි සාධක නොතකා ඒ ඒ කාලවලදී විවිධ පක්ෂවලට ඡන්දය භාවිත කරමිනි. ඔවුන්ගේ ඡන්දය හැරවීම ලෙහෙසි කටයුත්තක් නිසාම ජනතා විමුක්ති පෙරමුණ ද තම මැතිවරණ ව්‍යාපාරය තුළ වැඩිවශයෙන් ආමන්ත්‍රණය කරන්නේ මෙම පිරිස්වලටය.

එහෙත් ඔවුන්ගෙන් බහුතරය තුළ පවතින්නේ සිංහල බෞද්ධ පදනම, රටට එරෙහි විදේශ කුමන්ත්‍රණ පරාජය කිරීම, රට බෙදීමට එරෙහි වීම, වැනි ජාතිකවාදී අදහස් ය. එබැවින් මෙවර එම පිරිසෙන් බහුතරයේ ආකර්ෂණය පැවතියේ ඉහත කී කාරණා වැඩිවශයෙන් පදනම් කරගනිමින් මැතිවරණ ව්‍යාපාරය මෙහෙය වූ ‍පොදුජන පෙරමුණ කෙරෙහිය. මෙම තත්ත්වය ද, ජවිපෙ ඡන්ද පදනම අඩුවන්නට බලපෑවේ යැයි සිතිය හැකිය.

එමෙන්ම තම ප්‍රදේශයේ සිටින යම් යම් දේශපාලනික බලයන් සහිත පුද්ගලයන් සමඟ එක්ව තම තමන්ගේ කටයුතු පහසුවෙන් කර ගැනීමට පුරුදු වූ පිරිස් ද මේ අතර වෙති. එවිට ඔවුන් සිය ඡන්දය ලබා දෙන්නේ, අදාළ පුද්ගලයා නියෝජනය කරන පක්ෂයට පමණි. ඒ තුළින් ජනතාව කල්පනා කරන්නේ, තමන්ට උපකාර කරන පුද්ගලයාට ඡන්දය දිය යුතු බවයි. ඇතැම් විට යටි සිතින් ජවිපෙ දේශපාලන දර්ශනය අගය කරන පුද්ගලයා පවා, වෙනත් පක්ෂයකට ඡන්දය භාවිත කරන්නේ, එලෙස තම කටයුතු පහසුවෙන් කර ගැනීමට ඇති හැකියාව ගැන සිතමිනි.

එමෙන් ම ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් ප්‍රතිපත්තිමය කාරණාවල ද ගැටලු නැතැයි ම කිව නොහැකිය. විශේෂයෙන් ම ආර්ථික ප්‍රතිපත්තිය වැනි කාරණාවලදී ඒවා කොයිතරම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකිද යන ගැටලු, ඔවුන්ට සහාය පළ කරන විද්වතුන් තුළ පවා පවතී. එබැවින් ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් ද නැවත කල්පනා කළ යුතුව ඇත.

කෙසේ වතුදු, පවතින දේශපාලන ගමන් මග දෙස බැලීමේ දී, ඉදිරියේ මෙම තත්ත්වය යම් වෙනසකට ලක් වේයැයි සිතිය හැකිය. උදාහරණයක් ලෙස ඉදිරියේ දී එක්සත් ජාතික

පක්ෂයේත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේත්, ගමන් මඟ අර්බුදයට ලක් නොවේ යැයි සිතිය නොහැකිය. රනිල් වික්‍රමසිංහගෙන් පසු එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය විශාල අර්බුදයකට ලක් වීම වැළැක්විය නොහැකි කාරණාවකි. එමෙන් ම මහින්ද රාජපක්ෂ නැති කලෙක, දැන් පවතින ආකර්ෂණය ලබා ගැනීමට අනෙක් රාජපක්ෂලාට පහසු කාරණයක් නොවේ.

අනෙක් අතට විශේෂයෙන්ම ශ්‍රී ලංකා ‍පොදුජන පෙරමුණට ශක්තිමත් පක්ෂ යාන්ත්‍රණයක් නැති බව ඉතාම පැහැදිලිය. ඔවුන්ට පවතින්නේ පක්ෂපාතීත්වය මත පදනම් වූ ඡන්ද පදනමක් පමණි. එහෙත් එය ඕනෑම මොහොතක ලිහිල් විය හැකි ඡන්ද පදනමක් වන අතර, එය සම්පූර්ණයෙන්ම රැඳී පවතින්නේ මහින්ද රාජපක්ෂ කෙරෙහි පවතින ප්‍රතිරූපය මත බව පැහැදිලිය.

එවැනි තත්ත්වයක් තුළ පවතින පක්ෂ දේශපාලන ක්‍රමය අර්බුදයකට යෑම වැළැක්විය නොහැකිය. එවැනි අර්බුද ලොව පුරා ඇති වී තිබේ. එලෙස ඉදිරියේ දී පක්ෂ දේශපාලනයේ වෙනසක් සිදු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩි අතර, එවැනි තත්ත්වයකදී ජවිපෙ වැනි විකල්ප දේශපාලන ක්‍රමයකට ඉදිරියට ඒමට ඇති ඉඩකඩ විශාලය. මේ තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණ ද ප්‍රවේශමෙන් කල්පනා කළ යුතුව ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.