ජවිපෙ දිනු එකම අසුන – වෑකඩ උතුර

jvp2018 පළාත් පාලන මැතිවරණයේ ඡන්ද විමසීම පැවති කොට්ඨාස 4917 අතරින්, ජනතා විමුක්ති පෙරමුණට ජයගත හැකි වුනේ එක් ඡන්ද කොට්ඨාසයක් පමණි. ජනතා විමුක්ති පෙරමුණට මුළු දිවයිනෙන් ම කොට්ඨාසයක් දිනා දීමට සමත්වූ පියසේන ප්‍රනාන්දු, 1956 සිට ශ්‍රී ලංකා සමසමාජ පක්ෂය හා සම්බන්ධව දේශපාලනයේ නිරත වූවෙකි.

වයස අවුරුදු 74 ක් වන පියසේන ප්‍රනාන්දු 2003 වසරේදී ජවිපෙට සම්බන්ධ වූ අතර පුර්ණ කාලීනව දේශපාලනයේ යෙදෙයි. පළාත් පාලන ආයතන කීපයක හෝ බලය ලබාගැනීම ජනතා විමුක්ති පෙරමුණේ අරමුණ වූ නමුත්, එක් ආයතනයක් හෝ ජයගැනීමට ඔවුන්ට නොහැකි විය.

ජනතා විමුක්ති පෙරමුණට ජයගැනීමට හැකිවූ එකම කොට්ඨාසය වුයේ පානදුර නගර සභාවේ ‘වෑකඩ උතුර’ විය. එම කොට්ඨාසයට තරග කළ ජනතා විමුක්ති පෙරමුණේ පියසේන ප්‍රනාන්දු ජන්ද 566 ක් ලබාගත් අතර, හිටපු නගරාධිපතිවරයකුද වූ එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේක්ෂකයාට ලබාගත හැකිවුයේ ජන්ද 472 ක් පමණි.

මෙවර පානදුර නගර සභාවට ඉදිරිපත් කළ පොදුජන පෙරමුණේ නාමයෝජනා ලැයිස්තුව ප්‍රතික්ෂේප වීම හේතුවෙන් තරගය එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පමණක් පැවතින.

“1956 දී ලංකා සමසමාජ පක්ෂයෙන් පානදුර ආසනයට තරග කරපු ලෙස්ලි ගුණවර්ධන මහත්තයා පිළිගෙන තමයි මම දේශපාලනයට ආවේ” බීබීසි සිංහල සේවය සමග සංවාදයකට එක්වෙමින් පියසේන ප්‍රනාන්දු සිය දේශපාලන දිවියේ ආරම්භය ගැන අදහස් දැක්වීය.

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධවීමෙන් අනතුරුව 2006 දී පානදුර නගර සභාවට මන්ත්‍රීවරයෙක් ලෙස තේරී පත්වන පියසේන ප්‍රනාන්දු, 2011 මැතිවරණයෙන් පරාජයට පත්වන අතර, ජනතා විමුක්ති පෙරමුණට එවර කිසිදු මන්ත්‍රී නියෝජනයක් නොලැබුණි.

කෙසේ වෙතත්, මෙවර මැතිවරණ සිය කොට්ඨාසය ජය ගත් ඔහු පානදුර නගර සභාවට තේරීපත්වන්නේ සමස්ත ශ්‍රී ලංකාවෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ කොට්ඨාසයක් ජයග්‍රහණය කළ එකම මන්ත්‍රීවරයා ලෙසය.

“ගොඩක් සතුටුයි ජයග්‍රහණය ගැන. මම 1956 ඉඳල මේ ප්‍රදේශයේ දේශපාලනය කරලා තියෙනවා. සමාජ සේවා කටයුතු කරලා තියෙනවා. ජනතාවත් එක්ක ඉඳලා තියෙනවා. ඒක නිසා ඔවුන් විශ්වාස කරලා තියෙනවා – මාව තෝරා ගත්තොත් ඉදිරි අවුරදු හතර තුළ මම ලොකු වැඩක් කරාවි කියලා”

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.