දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙඳුන් ඉවත් කළේ ඇයි?

දංකොටුව සතිපොළෙන් මුස්ලිම් වෙළෙන්දන් තාවකාලිකව ඉවත් කරන ලෙසට දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටීම ප්‍රබල සංවාදයකට තුඩු දී තිබේ.

ඒ සම්බන්ධයෙන් මේ මස 28 වෙනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට මාරවිල අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට නියෝග කරනු ඇති බව දංකොටුව පොලිසිය පවසයි.

දංකොටුව සතිපොළෙහි වෙළෙඳාමේ නිරත මුස්ලිම් ප්‍රජාව ඉන් ඉවත් කරන ලෙස ඉල්ලා වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ.වී සුසන්ත පෙරේරා දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇත්තේ ජුනි 24 වෙනිදාය.කේ වී සුසන්ත පෙරේරා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයෙකි.

මේ සමග දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පතා තිබුණ අතර එහිදී ඒ සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පැතීමට තීරණය වූ බව ද පොලිසිය පවසයි. කරුණු විමසීම සඳහා අධිකරණය විසින් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අධිකරණයට කැඳවනු ලැබ ඇත්තේ ඒ අනුවය.

ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක්

පාස්කු ප්‍රහාරයෙන් පසු දංකොටුව සතිපොළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතුව තිබු බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති කේ වී සුසන්ත පෙරේරා පවසයි. එබැවින් මුස්ලිම් ප්‍රජාව වෙළෙඳාම් සඳහා එහි පැමිණීම ගැන ප්‍රදේශයේ ආගමික නායකයන්ගේ, ජනතාවගේ සහවෙළෙඳුන්ගේ දැඩි විරෝධයක් තිබූ බව මේ පිළිබඳව කළ විමසීමේදී ඔහු ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් වෙළෙඳ ප්‍රජාව දංකොටුව සතිපොළට නොපැමිණි අතර ඔවුන් නැවත ගෙන්වා ගනු ලැබුවේ පොලිසිය මැදිහත්වීමෙනි. පාස්කු දින ප්‍රහාරයත් සමග දංකොටුව සතිපොළේ වෙළෙඳාම් කිරීම සඳහා මුස්ලිම් වෙළද ප්‍රජාවට ගැටලු ඇති බවට පොලිස් සහන මැදිරියට ලැබුණු පැමිණිලි මත ඔවුනට දංකොටුව සතිපොළේ වෙලදාම් කිරීමට අවශ්‍ය ආරක්ෂාව සැලසූ බව දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා පැවසීය.

BBC Sinhala

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.