දුරුතු පුන් සඳේ සෝලියස් ලකුණ

Kelaniya Temple

පුන්සඳේ සෞම්‍ය සඳ කිරණින් මේ රම්‍ය වූ සීත පවන් රැලි හාත්පස හමා යද්දී කැදලිවලට වන් සියොතුන්ගේ මිහිරි නාදයන් වා තලයට මුසු විය. අවිදු අඳුර දුරලූ, සම්බුද්ධ ප්‍රඥාලෝකයෙන් තිලොව ම එළිය කළ ශාක්‍යමුනීන්ද්‍රයන් වහන්සේ ඒ සොඳුරු පුන් පොහෝ දින පළමුවරට ලක්දිව් තලයට වැඩම කළ දුරුතු පොහොය උදාවෙද්දී කැලණි විහාරයට ඇදෙන බැතිමතුන් සිත් සනහා ලන්නේය සෝලියස් මෙන්ඩිස් සිත්තරාගේ චිත්‍රයි.

මනහර නා මණෙවියනිඳ ළවැලි පිට
ගෙන මිණි වෙණ තත් නියගින් මැද රුවට
කන හෙවැ කියන බුදු ගුණ ගී මියුරු කොට
සැනහෙව කැලණි ගඟ බඩ මඳ කලක් සිට

රාහුල හිමියන් සැළලිහිණියාට කියන්නේ ගං තෙර හිඳ නාමයන වියන් දැක ගයන බුදු ගුණ ගී අහා සැනහෙන්නටය. රාහුල හිමියන් යළිත් සැළලිහිණි සංදේශය ලියන්නේනම් අනිවාර්යෙන්ම සෝලියස් මෙන්ඩිස්ගේ කැලණි සිතුවම් රස විඳිනවා සැළලිහිණියාට උපදෙස් දෙනවා නිසැකය.

වලිමුනි සෝලියස්‌ මැන්දිස්‌ මහා කලා ඇදුරුතුමා වැඩි කතාබහක් නැති පැවතුම් ඇත්තෙකි.ඉතාම සන්සුන්, නිහතමානී, නිදහස්‌ව සිතීමට ප්‍රිය කළ ඔහු සෑම චිත්‍රයක්‌ම තමන්ට ආවේණික ශෛලියකින් නිර්මාණය කළේය. දෙමාපියන්ට උවමනාව තිබුණේ තම පුතු ආයුර්වේද වෛද්‍යවරයකු කිරිමටයි.

සෝලියස් මැන්දිස් කුඩා කාලයේදී ම මෙමෝනියස් ද සිල්වා නම් වූ සිය මාමා සමඟ බිතු සිතුවම් කලාවේ නිරත වූ බවට සාධක ඇත. මහවැවට නුදුරු මාවිල කුසුමාරාමයේ දක්නට ඇති සිතුවම් ඔහුගේ චිත්‍ර ඇඳීමේ මූලාරම්භය දක්වන සිතුවම් වේ.කලාත්මක වටිනානමටත් වඩා මානව විද්‍යාත්මක වටිනාකමක් ගැබ්වන පරිදි සිය සිතුවම් නිර්මාණ තමාට නිතර දක්නට ලැබෙන භෞතික සාධක ඔස්සේ නිරූපණය කිරීමක් ඇරම්භයේ දී දැකිය හැකිය.

1912 වසර වන විට මාරවිල සුමන කුසුමාරාම විහාරය, 1915 රණස්‌ගල්ල විහාරයත්, 1920 වන විට ගිරිඋල්ලේ මැද්දෙපොල විහාරයේත්, පොළොන්නරුවේ ශ්‍රී ජයබා විහාරයේත්, උඩුබද්දාව ටැම්පිට විහාරයේත්, මල්වාන ලෙනගම්පල විහාරය ඇතුළු විහාර රැසකට සිතුවම් නිර්මාණය කළේ අනෙකුත් විහාරවල සිතුවම්වලට වෙනස්‌ වූ මඟක්‌ ගනිමින්ය.

කැළණි විහාරය ප්‍රතිසංස්කරණය කටයුතුවලට දායක ව සිටි විජේවර්ධන පරම්පරාවට මම ආරක්ෂක චිත්‍ර අවශ්‍ය විය. ඉන්දියාවට ගිහින් චිත්‍ර බලාගෙන ඉන්න විජේවර්ධන ළමාතැනීගේ පැවසීය. අජන්තාව, එල්ලෝරා වැනි ලෝක පූජිත සිතුවම් චිත්‍රයේ විචිත්‍ර බව හා රේඛාවේ සියුම් බව සෝලියස් මැන්දිස් ග්‍රහණය කර ගත්තේය

දේශීය අමුද්‍රව්‍ය
හෙලේනා විජයවර්ධන ළමාතැනියගේ උපදෙස්‌ අනුව 1930 දී කැලණි විහාරයේ සිතුවම් හා මූර්ති නිර්මාණය ආරම්භ කළ මැන්දිස්‌ මහතා 1948 පමණ තෙක්‌ බිතු සිතුවම් නිර්මාණය කළේය. මේ සිතුවම් සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නට මැන්දිස්‌ කලාකරුවා අමතක කළේ නැත. ඇසට ඉතාම සුවය ගෙන දෙන වර්ණ උපයෝගී කර ගත්තේය. මකුළු මැටි, පස්‌ වර්ග, ශාකවල පත්‍ර, පොතු, බිත්තර සුදු මදය, තැඹිලි වතුර ආදිය ප්‍රධාන වශයෙන් බදාමයට සහ වර්ණ සඳහා යොදා ගත්තේය. බිත්තර සුදු මද ලබා ගත්තේ බිඳුණු බිත්තරවලින් පමණක්‌ බවද සඳහන් වේ. කැලණි විහාරයේ බිතු සිතුවම් අතර නව විහාර ගෙයි සියලුම සිතුවම් ඇතුළු මූර්ති විහාර මන්දිරයේ නිර්මාණය ද සෝලියස්‌ මැන්දිස්‌ කලාකරුවා අතින් සිදුවීම විශේෂ සිද්ධියකි. ඔහුගේ සෑම රේඛාවක්‌ම, හැඩතලයක්‌ම වර්ණයක්‌ම සිතුවමට උචිතවම යොදා ගත්තේය. හේමමාලා දන්ත කුමරු දළදාව වැඩමවීම, බුදුන් වහන්සේගේ ලංකා ගමන, කැලණිතිස්‌ස කතා පුවත, ලංකා ඉතිහාසය ඇතුළු සිතුවම් රැසක්‌ කදිමට නිර්මාණය කර ඇත. නෙළුම් මල්, පලාපෙති, ලියවැල් මෝස්‌තර නිර්මාණාත්මක ලෙස උචිත තැන්වල යොදා ඇත. නුවර යුගයේ චිත්‍රත්, නූතන යුගයේ චිත්‍රත් දැකිය හැකි එකම ස්‌ථානය කැලණිය විහාරයයි.

කැලණි විහාරයේ බිතුසිතුවම්
බුදුරජාණන් වහන්සේගේ පාදස්පර්ශ‍ය ලද පූජනීය ස්ථානයක් ලෙස කැලණි විහාරය බෞද්ධයන්ට සුවිශේෂී වේ. කැලණි විහාරයේ පූජනීය වස්තූන් හැරුණු විට විහාරය තුළ දක්නට ලැබෙන සිතුවම් වැඩි වැදගත් කමකින් යුක්තය. මෙම සිතුවම් නිර්මාණය කරන ලද්දේ සෝලියස් මෙන්ඩිස් නම් වූ සිත්තරාණන් විසිනි. ඉතිහාසය පුරාවට ම කැලණි විහාරය විදේශීය බලපෑම්වලට නතු විය. ඉංග්‍රීසි පාලනයට යටත්ව පැවති යුගයක සෝලියස් මෙන්ඩිස් මහතා විසින් මෙම ඓතිහාසික බෞද්ධ සිද්ධි සිතුවමට නැගීම සංස්කෘතික අතින් ද වැදගත් ය. බුදුන්වහන්සේ මෙරට වැඩමකිරීමේ සිට වැදගත් බෞද්ධාගමික ඓතිහාසික සිද්ධීන් රැසක් මෙතුමන් විසින් සිතුවමට නගා ඇත. ඒ අතර චූලෝදර ම‍හෝදර යුද්ධය, සංඝමිත්තා තෙරණින්වහන්සේ විසින් ශ්‍රී මහා බෝධිය මෙරට වැඩමවීම, හේමමාලා කුමරිය හා දන්ත කුමරු විසින් දන්ත ධාතූන් වහන්සේ ‍මෙරට වැඩමවීම, මහින්දාගමනය, කාලිංග මාඝ කැලණි විහාරය විනාශ කිරීම හා විජය කුමරා ලක්දිවට පැමිණීම ආදී සිතුවම් වේ. මෙම සිතුවම් කෙතරම් මිනිස් සිත ඇද බැඳ ගත්තේද යත් මෙම අවස්ථාවන් සම්බන්ධයෙන් අපට චිත්‍රරූප මැවෙන්නේ ද මෙන්ඩිස් මහතා විසින් ඒ සඳහා නිර්මාණය කර ඇති සිතුවම් ඇසුරිනි. කැලණි විහාර සිතුවම්හි කැලණි ඉතිහාසය දැක්වෙන සිතුවම් ද අන්තර්ගත වේ. මෙතුමාගේ සිතුවම් තුළ ඔහුට ම ආවේනික තාක්ෂණයක් වේ. සෝලියස් මෙන්ඩිස් මහතාගේ සිතුවම් වස්තු විෂය, රිද්මය හා ශෛලිය අතින් විශිෂ්ටත්වයෙන් යුතුය. කැලණි විහාරයේ සිතුවම් සඳහා ඔහු තෝරාගත් ශිල්ප ක්‍රමය ස්වභාවික මෙන්ම පුරාණ වන්නකි. ඒ සඳහා ස්වභාවික අමුද්‍රව්‍ය අනුසාරයෙන් සිතුවම් සඳහා වර්ණ පිළියෙල කරගත් බව පැවසේ. ඔහු සායම් නිපදවා ගැනීමට කිකිළි බිත්තර යොදා ගත් බවත් ඒ සඳහා බිඳුණු බිත්තර භාවිත කළ බවත් ප්‍රකට ය. සෝලියස් මෙන්ඩිස් සිය බිතුසිතුවම් සඳහා තෝරාගත් වර්ණ සිත නිවන, ශාන්ත ස්වභාවයක් ඇතිකරයි. නිල්, රතු, කහ යන මූලික වර්ණ එකිනෙක මිශ්‍ර කිරීමෙන් ලැබෙන වර්ණයන්ට සුදු වර්ණය මිශ්‍ර කිරීමෙන් ඔහු තම බො‍හෝමයක් සිතුවම් වර්ණ ගන්වා ඇත. වර්ණ ගැන්වීමේ දී ත්‍රිමාන ලක්ෂණ මතුවන පරිදි පින්සලෙන් ඇඳ තිබීමත්, කලු මිශ්‍ර වර්ණයකින් සිතුවම් චරිත මතුකර පෙන්වීමත් විශේෂ ලක්ෂණයකි.

කැලණි විහාරයේ චිත්‍ර ඇඳීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට චිත්‍ර ශිල්පියෙක් වන නන්දලාල් බෝස් මහතා එක් අවදියක දී මෙරට කැඳවීය. නමුත් සෝලියස් මෙන්ඩිස් අඳිමින් සිටි සිතුවම් දුටු නන්දලාල් බෝස් පවසා ඇත්තේ ඒ සඳහා යෝග්‍යත ම පුද්ගලයා සෝලියස් මෙන්ඩිස් බවයි.

ප්‍රතිභාපූර්ණ කලාකරූවෙකු වශයෙන් කලා කටයුතු සඳහා ම තම දිවිය කැපකළ මෙතුමා අවිවාහක‍යෙකි. සෝලියස් මෙන්ඩිස් මහතා තම අවසාන කාලයේ දී තමා සතු වූ සියලු දේපොළ අඳ, ගොළු, බිහිරි දරුවන්ගේ ප්‍රයෝජනයට පරිත්‍යාග කළ බව කියවේ. එයට සිවිරාජ ලෙස නම් තබා ඇත. මෙය බෞද්ධ සාහිත්‍යයේ එන නමකි. ඒ අනුව ද ඔහු විසින් නිර්මිත කලා නිර්මාණ වලින් පමණක් නොව සිතුම් පැතුම්වලින් පවා උසස් පුද්ගල‍යෙකු බව ක්‍රියාවෙන් ම සනාථ කොට ඇති බව පැහැදිලිය.

කැළණි විහාරයේ ඇදි සිතුවම්
1.බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කිරීම
2.නාගදීපයට වැඩම කිරීම
3.විජය කුමරුගේ ලංකා ගමනය
4.දළදාව වැඩම කිරීම
5.ශ්‍රී මහා බෝධිය වැඩම කරවීම
6.මහින්දාගමනය
7.සංඝරාජ හිමිට පදවි පිරිනැමීම

නිවන්පුරට මඟ පෙන්වන පහන් වැටක් සේ
මැණික් කොතින් අහස උසට
බුදුරැස් විහිදේ
මුනි සිරිපා පහස ලැබූ
හිමි වැඩි ගමනේ
දොහොත් මුදුන් තබා වඳිම්
කැලණි විහාරේ
නා මෙනෙවිය පෙර කළ හිඳ
ළවැලි තලාවේ
තත් පිරිමැද ඇඟිලි තුඩින් මිණි වීණාවේ
අදත් ඇසේ එදා ගැයූ
බුදු ගුණ ගීතේ
දොහොත් මුදුන් තබා වඳිම්
කැලණි විහාරේ
සිහිල් සුළං වැදී සැලී
බෝපත් නැළැවේ
පහන් හැඟුම් හදේ මැවේ
මෙත් කරුණාවේ
වරක් ඇවිත් අප වැන්දොත්
කැලණි විහාරේ
උපන් දා පටන් කළ හැම
පව් දුරු වන්නේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.