පටි කන් බස්සා කොට්ටාවේ

owl

සංක්‍රමණික කුරුල්ලන් ශ්‍රී ලංකාවට පැමිණීම ආරම්භ කරන්නේ එරබදු මල් පිපෙන සමයේ දී ය. එසේ පැමිණි අමුත්තෙක් පිළිබඳව පරිසරවේදී මාලක රොඩ්‍රිගෝ තැබූ සටහනක් මේ:

අලුත් අවුරුද්දේ වැදගත් සංස්කෘතිකමය අංගයක් වනුයේ කද මලු බැද ගෙන නෑදෑ හිතවතුන් බැලීමට යාමයි. සති කීපයකට පෙර සැමරූ මෙවර අලුත් අවුරුදු දා කොට්ටාවේ ජයත්‍රි ඩයස් පලිපාන ගේ ගෙවත්තට අවුරුදු නෑගම් ආවේ නම් වෙනස්ම ආකාරයේ හිතවතුන් පිරිසකි.

පහත දැක්වෙනුයේ රාත්‍රී 8 ට පමණ මේ අමුත්තන් දැකීමෙන් පසු ජයත්‍රි විසින් Facebook මේ පිලිබදව අප්‍රේල් 14 වනදා රාත්‍රියේ දැමු සටහන්කි..

“මේ වේලාවේ……. බස්සො 4 , 5ක් අපිට එක සැරේ පෙන්න ඇවිත් ඉන්නවා…. හරිම සතුටුයි එයලා එච්චර ගොඩක් ඉන්න එක ගැන…..” ඔව්.. ඒ අවුරුදු අමුත්තන් වෙන කිසිවෙක් නොව කුඩා බස්සන් පවුලකි.

“අපි පස්සෙ එයාලා දිහා බලන්න ගියෙත් නැ, එයාලට කරදරයක් වුනොත් කියලා… එත් පස්සෙ රෑ 11 විතටත් ඉන්නවා දැකලා , කාට හරි පෙන්නන්න ඔනි වුනොත් කියලා එක්කෙනෙක්ගෙ photo එකක් ගත්තා…” ජයත්‍රි පසුව සටහන් කළේ බස්සෙකුගේ ජායාරුපයක් ද සමගිනි.

මෙම ජයාරුපයෙන් තහවුරු වුයේ, මේ අවුරුදු අමුත්තා කර පටි කන් බස්සා (Collared Scops Owl) බවයි. කර පටි කන් බස්සා අප බොහොමයක ගේ ගෙවතු ආශ්‍රිතව දැකගත හැකි සුලබම නිශාචර පක්ෂියා වේ.

මයිනකුගේ පමණ තරම් වන මේ බස්සා දිගින් සෙන්ටිමීටර 23-25 පමණ වේ. දුඹුරුවන් හෝ අළුවන් පැහැයක් සහිත උඩු කය සුදෙන් වයිරම් ලෙස ඇත්තේ, පරිසරයට හොදින් අනුගත වීමට උපකාරී වෙමිනි. කන් පිල්ගොනු සහ දුඹුරු ඇසිපහති මගින් සමාන තරමේ අනෙක් බස්සන් ගෙන් වෙන් කොට හදුනා ගත හැකිය. දිවා කාලය අදුරු තැනක – ගස් බෙනයක් හෝ ගෙයක පියස්සක් යට හෝ ගත කරයි. කුඩුවක් නොසාදන අතර බිත්තර ලන්නේ කුහරයකය.

අපගේ ගෙවතු සහ නගරබදව වාසය කරන බස්සන් රැයේ විදුලි පහන් අසල හැසිරෙන්නට වැඩි කැමැත්තක් දක්වන්නේ එම ආලෝකය වෙත ආකර්ෂණය වන කෘමින් මෙන්ම එම කෘමින් අල්ලා ගැනීමට ඒ වෙත ඇදෙන හූනන් වැනි කුඩා සතුන් ද දඩයම් කර ගැනීම පිණිසයි. කුඩා මීයන් ද ඔවුන් ආහාරයට ගන්නේ අපට හානිකර සතෙකු ගේ ගහණය පාලනයට උදව් දෙමිනි.

ගොම්මනේදී තම දිවා නවාතැනෙන් එළියට එන මේ බස්සන් – විශේෂයෙන් ම ඔවුන්ගේ සුවැදී සමයේදී (Breeding season) තම සහකරුවන් අතරට වී නාද කිරීම සිරිතකි. සාමාන්‍යයෙන් බස්සන සියල්ලන් ම නාද කරනුයේ ‘හ්ම්…හ්ම්…’ කියා යැයි අප සිතුවත්, මේ කරපටි කන් බස්සා ගේ නාදය වෙනස් වේ. පක්ෂි විද්‍යාඥ G .M. හෙන්රි ගේ කුරුළු පොතෙහි මෙම නාදය දක්වා ඇත්තේ ‘What’ ඉංග්‍රීසි යන වචනය ‘t’ ගබ්ද නොනැගෙන සේ කියූ විට එන හඩ හා සමාන බවය. එය ‘වුක්’… ‘වුක්’… ලෙස තත්පර 2/3 පමණ අතරක් තබා ‘වු’ යන්න බර කර සිදු කරන නාදයක් නාදයක් ලෙස ද සැලකිය හැකිවේ. මෙසේ එක දිගට විනාඩි කිහිපයක් නාද කිරම මේ බස්සන් ගේ සිරිතකි.

කෙසේ වෙතත් මොවුන් පැටවුන් සමග සන්නිවේදනයේදී නාදය වෙනස් වන අතර, එය පිඹින හඩක් ලෙස ඇසෙ. කොට්ටාවේ ජයත්‍රි පැවසුවේ ඇයගේ ගෙවත්තට ආ බස්සන්ද හහ්ම් හහ්ම්ම්ම්ම් සද්දෙ වෙනුවට කලවැද්දෙක්, ඌරුමීයෙක් පිබින සද්දයක් මෙන් පිබින සද්දයක් කළ බවයි. ඇයගේ මේ ප්‍රකාශය, මගේ මතකය 2003 අවුරුදු දා රාත්‍රිය වෙත රැගෙන ගියේය. 2003 වසරේ අප්‍රේල් 14 වනදා අවුරුදු නිමාවෙන් පසු දෙහිවල පිහිටි නිවසේ රාත්‍රී 7.30ට පමණ ජයත්‍රි කියූ පරිදිම අමුතුම පිඹින ශබ්දයක් ගෙවත්තෙන් ඇසුණු නිසා එය නිරීක්ෂණය කිරීමට මා එළියට බැස්සේ විදුලි පන්දමත් අතැතිවය. වැඩි වෙලාවක් ගත නොකරම ඒ ශබ්දය නැගු අවුරුදු අමුත්තන් සොයා ගැනීමට මට හැකි විය.

එම අවුරුදු දා අපේ දෙහිවල ගෙවත්තේ සිටියේ හරියටම බස්සන් පස් දෙනෙකි. ඒ දෙමාපිය බස්සන් සමග සිටි පැටවුන් තිදෙනෙකි. සමහර විටෙක එදා මුල්වරට දොරට වැඩි පැටවුන් අවට පරිසරය පිළිබද මහත් විමසිල්ලෙන් පසු විය. විටෙක තම හිස අමුතු ලෙසේ කරකැවූ ඔවුන් තවත් විටෙක ශරීරය පද්දීමකට ලක් කළේය. වහා පහතට පියඹා ආ වැදුණු බස්සකු, හූනකු අල්ලා ගෙන නැවත තම කුඩා පැටවුන් වෙත පියඹා ගියේය.

මෙම නිරීක්ෂණය මට වෙනස්, තරමක පිස්සු අදහසක් ගෙන ආවේ අලුත් අවුරුද්දේ ගෙවත්තට ආ අවුරුදු අමුත්තන්ට සංග්‍රහයක් නොකර යැවීම හොද නැති යැයි හැගුනු හෙයිනි. කුස්සිය අසල ගොඩ ගසා තිබු හට්ටි කිහිපයක් එහා මෙහා කරද්දී දිවගිය කැරපොත්තන් කිහිප දෙනෙකු මදක් අඩපන කර ගෙවත්තේ බස්සන් වසා සිටි අඹ ගස යටින් හෙමිහිට දමා අවේ මේ බස්සන් මගේ අවුරුදු සංග්‍රහය වූ කැරපොත්තන් අල්ලාගෙන කාවිදෝ යි සැකයෙනි.

එහෙත්, හිමිහිට නැවතත දොර දෙසට අඩි කිහිපයක් පිය තබද්දී ම වහා පහතට පියඹා ආ වැදුණු බස්සෙකු, අර කරපොත්තකු අල්ලා ගෙන එක්ෂණයෙන් නැවත පැටවුන් වෙත පියඹා ගියේ ඔවුන්ට කැවිමටය. අවුරුද්දේ ගෙදරට එන අමුත්තන් වෙනුවෙන් වෙන් කල කැවුම් කොකිස් වෙනුවට, මගේ අවුරුදු අමුත්තන්ට මේ කැරපොත්තන් පිළි ගැන්වීමට ලැබීම නම් මට මහත් සතුටක් විය. එම ක්‍රියාව එක්තරා ආකාරයක පවක් වුවත්, මේ බස්සන් ගේ ප්‍රතික්‍රියාව නිරීක්ෂණය කිරීමේ ආශාව ඊට වැඩි වූ නිසා, කීප වරක්ම මේ බස්සන්ට ඒ ‘කැරපොතු අවුරුදු සංග්‍රහය’ කළෙමි.

කරපටි කන් බස්සන් ගේ සුවැදි සමය (breeding season) පෙබරවාරි සිට මැයි දක්වා වේ. බිත්තර 2ක් හෝ 3ක් ගසක් බෙනයක, අතහැර දැමු ගොඩනැගිල්ලක කුහරයක හෝ වෙනත් බාධාවල් අඩු තැනක් බිත්තර දැමීම සදහා තෝරා ගනී. දෙමාපියන් තම පැටවුන් ආරක්ෂා කිරීමට ඉදිරිපත් වන්නේ, කැදැල්ල අසලට ළඟාවීමට නොදෙමිනි.

මේ අපි ගෙවන්නේ කර පටි කන් බස්සාගේ සුවැදී සමයේ අවසන් කොටස නිසා, ගෙවතු ආශ්‍රිත ව ජිවත් වන බොහෝ බස්සන් පවුල් වලට අලුත් සාමාජිකයන් එකතු වී සිටීමට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඒ නිසා ඔබත් මේ දිනවල රාත්‍රියේ ගෙවත්ත නිරීක්ෂණය කිරීමට යොමු වන්න. මේ බස්සන් ගේ නාදය අසේනවාදැයි අවධානයෙන් සිටීම, කරපටි කන් බැස්සා සොයා ගැනීමට ඇති ලේසිම ක්‍රමයයි. සමහර ගෙවතු වල මෙම බස්සන් දහවල සැගවී ගත කරනවා වන්නටත් පුළුවන්. ඉතින් ඔබගේ ගෙවත්තෙනුත් මෙවැනි නිශාචර කුරුල්ලන් – බස්සන් නිරීක්ෂණය කර තිබේ නම්, ඔබගේ අත්දැකීම් නුත් ‘ගෙවත්තේ ජෛව විවිධත්තවය’ වෙත යොමු කරන්න.

මේ බොහෝ කුරුළු පැටවුන් දොරට වඩින කාලයයි

පසු ගිය සතියේ ලියැවුනු පිළිහුඩු කැදැල්ල මෙන්ම, මෙම සතියේ මෙම බස්සන් පවුල ගැන ලිපියෙන් ද තහවුරු වනුයේ, මේ කාලය බොහෝ කුරුලු පැටවුන් දොරට වඩින සමයක් බවයි. පසුගිය සති කිහිපයේ දීම බොහෝ දෙනෙකු තමන් දුටු කුරුළු කැදලි මෙන්ම කුරුළු පැටවුන් ගේ ජයාරූප ද අප වෙත ඒවා තිබුනු අතර කැදලි වලින් වැටුණු කුරුළු පැටවුන් ට උදව් කරන්නේ කෙසේද කියා අසා යොමු කළ විමසුම් ද තිබු හෙයින්, ලබන සතියේ දී එවැනි කුරුළු පැටවෙකු ට උපකාර කරන්නේ කෙසේද යන්න පිලිබදව ත් සොයා බලමු.

ඔබ ගේ ගෙවත්තේ ත් මෙවැනි කුරුළු කැදැල්ලක් හෝ ලගදී දොරට වැඩි කුරුළු පැටවුන් නිරීක්ෂණය කර ඇත්නම් එවැනි අත්දැකීම් ද ‘ගෙවත්තේ ජෛව විවිධත්වය’ වෙත එවන්න. ගෙවත්තේ ඔබගේ නිරීක්ෂණයන් විදුසර පුවත් පත හරහා හෝ කෙළින්ම විද්‍යුත් තැපෑල මගින් [email protected] ලිපිනයට හෝ 0789330076 යන ජංගම දුරකතනයට කෙටි පණිවිඩයක් මගින් හෝ දන්න්වන්න.

ඔබගේ වැදගත් නිරීක්ෂණයන් මේ ලිපි පෙළ හරහා ඉදිරිපත් කිරීමට ද අවකාශ ලබා දීමට බලාපොත්තු වන්නෙමු.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.