පරාජිතයා පිදුරුතලාගල රක්ෂිතයෙන් අක්කර 300ක් වනසයි

piduruthalagala

පිදුරුතලාගල යනු ශ්‍රී ලංකාවේ ඇති උසම ස්ථානය පමණක් නොව මෙය මේ දිනවල අලුත්ම වන විනාශය සිදුවන ස්ථානයයි. මෙය පිළිබඳව Lanka Newsline වෙත කතා කළ ජයන්ත විජේසිංහ පැවසූයේ මැතිවරණයෙන් පරාජය වී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසී සිටින ඇමතිවරයෙක් මේ වැඩ කටයුත්ත පෙරමුණ ගෙන සිටින බවයි.

මේ බොහොම බාගයක් කර ගැනීම සඳහා කැබිනට් පත්‍රිකාවක්ද සූදානම් වී ඇතැයි ජයන්ත විජේසිංහ පවසයි. මෙම ව්‍යසනය පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කොට ඇති බවත් ඔහු පැවසීය.

ඒකදේශික සහ ස්ථානීය ආවේණික ජෛව ප්‍රජාවන්
පිදුරුතලාගල කඳුකර වනාන්තර පරිසර පද්ධතිය මෙරට වසන ඒකදේශික සහ ස්ථානීය ආවේණික ජෛව ප්‍රජාවන් සිය ගණනක්, ඉතා කුඩා භූමි කලාපයක් තුළ උවද පවා දැකගත හැකි මට්ටක ඇති සුවිශේෂී සහ සංවේදී පරිසර ලක්ෂණ පිහිටි භූමියක් වේ.

කුරුඳු ඔය
වර්ෂාව ජනිත කරවීමට දායකවන වර්ෂා නිර්මාපකයකු ලෙසත් ජලය ගබඩා කරගන්නා කඳුවැටියක් ලෙසත්, පසුව එම ජලය පහතට ක්‍රමයෙන් ගලායාමට සලස්වා ඇල දොල ගංගා විශාල ප්‍රමාණයක් පෝෂණය කරන ජල පෝෂකයක් ලෙසත් මෙම කලාපය වැදගත්කමක් උසුලයි. කුරුඳු ඔය මින් පෝෂණය වන එක් ප්‍රධාන ගංගාවකි.

දේශපාලනඥයින් විසින් මධ්‍ය කඳුකරයේ සහ තෙත් කලාපයේ වටිනා රක්ෂිත ප්‍රදේශ විවිධ ආකාරයේ නොසුදුසු ඉඩම් භාවිත කාර්යන්ට යොදා ගන්නා ලදී. ඒ අනුව පිදුරුතලාගල අක්කර කිහිපයක් දශක හතරකට පමණ පෙර පර්යේෂණ මට්ටමින් ඇපල් වගා කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාව අතර බෙදා දෙන ලදී.

ඇපල් වගා කිරීම
එසේ ප්‍රදේශයේ ජනතාව අතර ඇපල් වගා කිරීම සඳහා බෙදා දුන් වනාන්තර කට්ටිය පසුව ඇපල් ෆාම් ලෙස ප්‍රචලිත විය. කෙසේ නමුත් පසුකාලීනව එම පර්යේෂණ ඇපල් වගාව අතහැර දැමූ අතර අද වන විට කිසිදු ආකාරයක ඇපල් වගාවක් එහි සිදු නොවේ. එසේම එලෙස ඇපල් වගාව නැවතුනු වනසංරක්ෂණ ඉඩම් නැවත වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා අවශ්‍ය නෛතිකමය කාර්යයන් සිදු කෙරෙමින් පවතී.

මහා පරිමාණයෙන් එළවළු වගා කිරීම
ඉහත සඳහන් ඇපල් වැවීම සඳහා ලබාදුන් කැලෑ කුට්ටිය මෙන් කිප ගුණයක ප්‍රදේශයක් පසුකාලීනව ප්‍රදේශවාසීන්ගේන් ඉඩම් මිලදීගත් ව්‍යාපාරිකයින් විසින් හෙළිකර මහා පරිමාණයෙන් එළවළු වගා කිරීම සඳහා යොදා ගන්නා ලද අතර ඊට එරෙහිව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නඩුකරයන් පවරා ඇත. ජලයේ බැර ලෝහ ඇතුළු රසායනික අපද්‍රව්‍ය සංඝටක බහුලව ඇති බවට සමීක්ෂණ වලින් පවා තහවුරු වී ඇත.

මෙම ව්‍යාපාරිකයින් ප්‍රදේශයේ දේශපාලනඥයෙකු හා සම්බන්ධව අක්කර සිය ගණනක් තමන්ගේ පවුලේ ඥාති මිත්‍රාදීන්ගේ සහ යහළුවන්ගේ නම් වලට ලියාගෙන අනවසරෙන් භුක්ති විඳිමින් සිටී. මෙම ව්‍යාපාරිකයින් කාර් සේල්, හෝටල් සහ නොයෙක් ආකාරයේ විශාල ව්‍යාපාර කරන අයවලුන් වේ. එවකට ඇපල් වගා කිරීම සඳහා ලබාදී තිබුණේ බලපත්‍රයක් පමණක් වුවත් පසුකාලීනව එම බලපත්‍ර ලබා දුන් ප්‍රදේශවාසීන්ගෙන් ඉඩම් ලබා ගත් මෙම කූට ව්‍යාපාරිකයින් එලෙස සොච්චමකට ලබාගත් ඉඩම් අද වන විට සින්නක්කරව අයිති කරගැනීමට උපක්‍රම යොදමින් සිටී.

අනුගාමිකයින් අතර බෙදා දීම
මෙහි අවාසනාවන්තම තත්වය නම් වර්තමාන පරිසර අමාත්‍යවරයා හරහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම මගින් ඉහත කී පිදුරුතලාගල කන්දේ ඉඩම් අක්කර සිය ගණන තම අනුගාමිකයින් අතර බෙදා දීම සඳහා එකී දේශපාලනඥයා කටයුතු කරමින් සිටීමයි.

මත්ස්‍යයින්, මැඩියන්, උරගයින්
එපමනක් නොව දැනටමත් මෙම අනවසර වගාකරුවන් විසින් සිදු කරනු ලබන එලවළු වගා කිරීම් තුළින් සහ ඒවාට යොදන අධික කෘෂි රසායන ප්‍රමාණය නිසා ප්‍රදේශයෙන් ආරම්භ වන ජලය මූලාශ්‍ර සහ ඇලදොල දැඩි ලෙස රසායන මගින් අපවිත්‍ර වී ඇත. එකී ඇළ දොළවල සිටින ආවේණික මත්ස්‍යයින්, මැඩියන්, උරගයින්, ඔබය ජීවීන් සහ නොයෙක් පාංශු ජීවීන් දැඩිසේ විනාශ වීමේ තර්ජනයක් ඇතිවී ඇත.

බලලෝභී දේශපාලනඥයෙකුගේ හෙන්චයියන්ට ඉඩම් බෙදීමට ඇති අවශ්‍යතාවය හේතුවෙන් කුට්ටිකඩා, කැබලිකර, කැලයකපා, විකිණීම යනු සහගහන අපරාධයකි. එය පරිසර නියාමන ආයතන වන මධ්‍යම පරිසර අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව වැනි ආයතන වල සාධනීය කාර්යභාරයන් හෑල්ලුවට ලක් කිරීමකි. පරාජිත දේශපාලනඥයෙකු, ලබන මහ මැතිවරණයේදී දිනවීම සඳහා පිදුරුතලාගල කඳු පන්තිය උකස් කිරීම සිහිබුද්ධිය ඇති කිසිවෙකු අනුමත නොකරන දැඩි පාපයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.