ප්‍රචණ්ඩ ගිනිදැල් නිවීමෙදී පොලීසිය ෆේල්

theldeniyaආගම සහ ජාතිය මුල් කර ගෙන එල්ල වන ප්‍රහාර මැඩලීමේ දී පොලීසිය ෆේල් වී ඇති බව පොලිස්පති පුජිත ජයසුන්දර මීට පෙර පැවසීය. යළිත් වතාවක් පොලීසියේ ක්‍රියා කලාපය පිළිබඳව ප්‍රශ්න මතු වී තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ තෙල්දෙණිය අවට මුස්ලිම් දේවස්ථාන සහ කඩසාප්පු කලහකාරීන් විසින් විනාශ කිරීම වලක්වා ලීමට එහි යොදවා සිටි විශාල පොලිස් බලමුළුව පියවර නොගැනීම දැඩි දෝෂ දර්ශනයට ලක්කරන සිවිල් ක්‍රියාධාරීන් මෙන්ම ආණ්ඩුවේම මැති ඇමැතිවරුන් ද සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩතාව පැතිර යාම ගැන බිය පල කර සිටිති.

ප්‍රකෝප කිරීම් ආරම්භ වන විට ආරක්ෂක අංශ ඒ සදහා මැදිහත් නොවී පැය හතරකට ආසන්න කාලයක් ගත කළ බව නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වන ව්‍යාපාරය (කැෆේ) පවසයි.

කැෆේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් එය හෙලා දැක තිබුනේ “දිගන අවාසනාවන්ත සිදුවීම් ව්‍යාප්තවීමට හේතුවූ පොලීසියේ ඇදහිය නොහැකි අකාර්යක්ෂමතාව,” ලෙසයි.

මැද මහනුවර තෙල්දෙණියේ ලොරි රියදුරකු පෙබරවාරි 22 දා පෞද්ගලික ගැටුමකදී පහර කෑමට ලක්වී රෝහල් ගත කොට මියයාමෙන් අනතුරුව කෝපයට පත් ප්‍රචණ්ඩ සිංහල පිරිස් පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවා සිටියදී 4 ඉරිදා රාත්‍රියේ හා 5 සඳුදා මෙම පහර දීම් සිදු කොට තිබේ.

මියගිය තෙල්දෙණියේ, මොරගහමුල, අම්බාල ගම්වාසී හීපිටියේ ගෙදර කුමාරසිංහට පහර දීම පිලිබඳ සැකපිට අත් අඩංගුවට ගන්නා ලද සිව් දෙනකු මේ මස හත් වැනිදා වනතුරු රිමාන්ඩ් ගතකොට ඇති බව පොලිසිය පවසයි.

රියදුරාගේ මරණය සම්බන්ධයෙන් කෝපයට පත් සිංහල පිරිස් විසින් මොරගහමුල සහ දිගන සිදුකළ ප්‍රහාර වලින් දේවස්ථාන දෙකක් ඇතුළු මුස්ලිම් දේපලට බරපතල හානි සිදුවී තිබේ. සතියක් තුලදී අන්තවාදීන් විසින් මුස්ලිම් විරෝධී ප්‍රහාර දියත් කළ දෙවැනි වතාව මෙයයි.

පොලිසියේ අක්‍රිය බව නිසා සිදුවූ බවට චෝදනා නැගෙන මැද මහනුවර ප්‍රහාරයෙන් අනතුරුව ප්‍රචණ්ඩතාව පැතිරීම වැළක්විය යුතු බව රජය විසින් ද පිළිගෙන තිබුනි.

රජයේ හෙලා දැකීම

පූජනීය ස්ථාන, නිවාස හා ව්‍යාපාර ස්ථාන සමහරකට හානි සිදු කළ අම්පාර හා දිගන ප්‍රදේශ වල “මෑතදී සිදු වූ සාමය කඩකළ කලහකාරී සිද්ධීන්” හෙලා දකින බව පවසන රජයේ නිල නිවේදනයකින් කියා තිබුනේ “ප්‍රජාවට අහිතකරව බලපාන කලහකාරි සිද්ධීන්ට එරෙහිව වහාම ක්‍රියාකරන ලෙස” ජාතික ආරක්ෂක මණ්ඩලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කළ බවයි.

“ප්‍රජා ආගමික අසමඟිය ඇතිකරන ඕනෑම ප්‍රහාරයකට එරෙහිව ප්‍රජාවගේ ආරක්ෂාව සඳහා නීතිය නිර්පාක්ෂිකව මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට” රජයේ ආරක්ෂක හා පරිපාලන බලධාරීන් “දැනටමත් ක්‍රියා කරමින්” සිටින බව 5 සඳුදා පස්වරුවේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්, නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසින් නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වේ.

කෙසේවෙතත්, සිදුවී තිබෙන හානිය සහ අපරාධ සම්බන්ධයෙන් ගෙන ඇති කිසිදු පියවරක් ගැන එම නිවේදනයේ සඳහන් නොවේ. ලොරි රියදුරා රෝහලේදී මියයාමෙන් පසු 4 ඉරිදා රාත්‍රියේ වසා තිබු මුස්ලිම් ආයතන වලට පහර දී, ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සැකපිට තවත් 24 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි.

කඩ සාප්පු වසා තිබුනේ ඇතිවිය හැකි නොසන්සුන්තාවක් පිළිබඳව පොලිස්පතිවරයාටත් මධ්‍යම පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාටත් අනතුරු ඇඟවීමෙන් පසු ලැබුනු උපදෙස් අනුව යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

“මුස්ලිම් අයට කඩ වහලා ගෙදරට වෙලා ඉන්න කියලා ඒ අය අපට කිව්වා. ඒ පාර කල්ලි පිටින් ඇවිත් කට්ටිය කඩ සාප්පු ගිනි තිබ්බා,” යි අමාත්‍යවරයා මාධ්‍යවේදීන්ට කියා සිටියේය.

අම්පිටියේ සුමනsumana

ඉන් අනතුරුව අත් අඩංගුවට ගන්නා ලද අය නිදහස් කරන ලෙස ඉල්ලා බලකරන බෞද්ධ භික්ෂුන් වහන්සේ පෙරටු කරගත් විශාල ජනකායක් 5 සඳුදා පෙරවරුවේ තෙල්දෙණිය පොලීසිය වැටලූ අතර ඔවුන්ගේ ඉල්ලීම් ඉටුකරන ලෙස මධ්‍යම පළාතේ නියෝජ්‍ය පොලිස්පති වරයා ඇතුළු නිලධාරීන්ට මඩකලපුවේ සිට පැමිණ සිටි මංගලාරාමයේ විහාරාධිපති අම්පිටියේ සුමන දැඩි කෝපයෙන් බලකර සිටියේ තත්වය පාලනය කිරීමට මැදිහත් වන ලෙස ප්‍රදේශවාසී හිමිවරුන් ඉල්ලා සිටියදීය.

නියෝජ්‍ය පොලිස්පති මහින්ද ඒකනායකට අම්පිටියේ සුමන හිමි කියා සිටියේ “විහිලුකාරයෙක් නොවී” සැකකරුවන් පිරිස නිදහස් කරන ලෙසයි. එසේ නොවෙතොත්, බීමත් පිරිස් පහර දෙනු ඇති බවටද ඔහු අනතුරු අඟවා සිටියේය.

මාතර, ගාල්ල, කුරුණෑගල සහ වව්නියාවේ සිංහල ගම් ආදී පිට පළාත්වලින් ද බස්වලින් දිගනට පිරිස් පැමිණ සිටින බව පොලිසිය සමග පැවති සාකච්ඡාවට සහභාගි වූ හඳුනා නොගත් පුද්ගලයකු කියා සිටියේය. අම්පිටියේ සුමන හිමි කළ අනතුරු ඇඟවීම තහවුරු කරමින් පස්වරු 1 පමණ වනවිට රැස්ව සිටි ජනකාය විසින් පොලිසිය බලා සිටියදී මුස්ලිම් ජනතාව සතු දේපල වලට පහර දී ගිනිබත් කරන ආකාරය දැක ගන්නට ලැබුණි.

කුප්‍රකට ජාතිවාදීන්

 

“පෙරවරුවේ සිට සංවිධානාත්මක පිරිස් තෙල්දෙණිය සැරිසැරූ අතර ඒ අතර මඩකලපුව, ගල්කිස්ස, බේරුවල වැනි ස්ථානයන් හි ජාතිකවාදී ගැටුම් සම්බන්ධයෙන් මෙයට පෙර නම් කියැවී ඇති පිරිසක් ද විය,” යි ඔහු වැඩිදුරටත් කියා සිටී.

ප්‍රචණ්ඩ පිරිස් විසුරුවා හැරීමට කඳුළු ගෑස් ගැසීම ප්‍රහාර ඇරඹි පැය කීපයකින් පසු සිදුකළ පොලිසිය මහනුවර පරිපාලන දිස්ත්‍රික්කය පුරා ඇඳිරි නීතිය පනවා තිබේ.

පළාතේ තත්වය බලා ගැනීමට ගොස් සිටි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් ප්‍රකාශ කරන්නේ ජාතිවාදී ප්‍රහාර වැලක්වීමට පොලිසිය දිගින් දිගටම අසමත්ව සිටින බවයි.

දිගන ප්‍රචණ්ඩතා

ව “පුද්ගලයකු මියගිය නිසා හටගත් අවාසනාවන්ත තත්වයක්” ලෙස හැඳින්වූ මුස්ලිම් ආගමික කටයුතු හා තැපැල් අමාත්‍ය මොහොමඩ් හසීම් අබ්දුල් හලීම් මාධ්‍යවේදීන්ට කියා සිටියේ පිටස්තරින් පැමිණි කලහකාරීන් වලකා ලන්නට පොලිසිය කටයුතු කළේ නම් තත්වය උග්‍ර අතට හැරෙන්නට ඉඩ නොතිබුණු බවයි.

මුස්ලිම්වරුන් ඉලක්ක කොට මෙයින් සතියකට ඉහතදී අම්පාරේ දියත් කළ ප්‍රහාරය වළක්වාලීමට අසමත් වීම ගැනත් පොලිසිය රජයේ මැති ඇමතිවරුන්ගේ දෝෂ දර්ශනයට ලක්විය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.