පාකිස්තානයේ හිටපු ජනපති මුෂාරෆ්මට මරණ දඬුවම

Pervez Musharraf

පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ් මහතාට ලාහෝර් නුවර, විශේෂ මහාධිකරණය මරණ දඬුවම නියම කර ඇතැයි වාර්තා වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම හා හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් හිටපු ජනපතිවරයාට මරණ දණ්ඩනය නියම වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

පකිස්තාන ත්‍රස්ත විරෝධී අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. හිටපු අගමැති නවාස් ෂරීෆ් විසින් මුෂාරෆ් මහතාට එරෙහිව 2013 වසරේදී මෙම නඩුව පවරන ලදී. 1999 වසරේදී හමුදා කුමන්ත්‍රණයකින් බලයට පත්වූ හිටපු ජනාධිපතිවරයා පාකිස්තානයේ 10 වන ජනපතිවරයා ද විය.

දැනට 76 වන වියේ පසුවන මුෂාරෆ් මහතා, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව ඩුබායිහි වාසය කරන අතර, වෛද්‍ය ප්‍රතිකාර සඳහා එහි රැඳී සිටි බව පැවසේ.

ජෙනරාල් මුෂාරෆ් පවසන්නේ තමන්ට එරෙහිව නඩුව දේශපාලන අරමුණු මත ගොනු කරන ලද්දක් බවය. 2007 වසරේදී තමන් විසින් ගන්නා ලද තීන්දුවට එවක ආණ්ඩුවේ සහ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව හිටපු හමුදා නායකයා කියා සිටී. ඔහුගේ එම තර්කය අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර නීතියට පිටුපා කටයුතු කර ඇතැයි ඔහු චෝදනාවට ලක් විය.

පාකිස්තානයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව රාජද්‍රෝහී චෝදනාවලට වරදකරු වන ඕනෑම අයෙකුට මරණ දඬුවම ලබා දිය හැකිය. 2016 වසරේ සිට ඩුබායිහි වෙසෙන ජෙනරාල් මුෂාරෆ්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නියෝග ගණනාවක් නිකුත් කර තිබුණු නමුත් අධිකරණයේ පෙනී සිටීම ඔහු දැඩිව ප්‍රතික්ෂේප කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.