බ්‍රිගේඩියර් ප්‍රියංකට ලන්ඩන් අධිකරණයෙන් පවුම් 2400ක දඩ

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරදකරු බවට තීන්දු කර තිබේ. 2018 වසරේ පෙබරවාරි මස හතරවෙනි දින එක්සත් රාජධානියේ ලන්ඩන් අගනුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්වුන විරෝධතා ව්‍යාපාරයක් අතරවාරයේ එම විරෝධතාවාදීන්ට තර්ජනය කළ බවට චෝදනා ලත් බ්‍රිගේඩියර්වරයා ඊට වරදකරු බව මහේස්ත්‍රාත් එමා අර්බත්නෝට් තීන්දු කළා ය.

මහජන සාමය පනත උල්ලංඝනය කිරීමේ වරද වෙනුවෙන් පවුම් 2400 ක දඩ මුදලක් ගෙවන ලෙස ඔහුට අධිකරණය නියෝග කර ඇත. බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත (Public Order Act 1986 )අනුව වැරදි ක්‍රියාවක්ය යන්න අධිකරණ තීන්දුව වෙයි.

චූදිත බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට චෝදනාවලට වරදකරු වෙන අතර ඔහුට රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් නොලැබෙන බව තීන්දු කළ මහේස්ත්‍රාත්වරයා කියා සිටියේ අදාළ දිනයේ මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට දමිළ හිතවාදීන් කණ්ඩායමක් ධජ පතාක රැගෙන සටන්පාඨ කියමින් සාමකාමී විරෝධතා ව්‍යාපාරයක නිරත වෙමින් සිටියදී නිල ඇඳුමින් සැරසුන බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එම විරෝධතාවාදීන්ගේ ගෙල කපා දමන බව දැක්වෙන ඉඟියක් තුන් වරක්ම සිය අතේ ඇඟිලිවලින් විදහා දක්වා ඇති බවයි

රාජ්‍යතාන්ත්‍රික මුක්තියක්

නිලධාරියාගේ එම හැසිරීම එම අවස්ථාවේ ගනු ලැබ ඇති “නිශ්චල ඡායාරූප සහ වීඩියෝ පට මගින් තහවුරු කෙරෙන” බවත් තීන්දුවේ දැක්වෙයි. චූදිත බ්‍රිගේඩියර්වරයා රාජ්‍යතාන්ත්‍රික මුක්තියක් භුක්ති නොවිඳින බව වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පළමු තීන්දුව මගින් ප්‍රකාශයට පත් කෙරුණ අතර නව තීන්දුව මගින් ද එම පළමු තීන්දුව තහවුරු කරනු ලැබ ඇත.

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වෙස්ට්මිනිස්ටර් නඩු විභාගය ඉදිරියේ පෙනී නොසිටි අතර ශ්‍රී ලංකා රජය විසින් පත් කරන ලද නියෝජිතයෙක් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.

2018 පෙබරවාරි 04 වන දින මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට සිද්ධිය බ්‍රිතාන්‍ය සමාජයේ දැඩි අවධානයට යොමු වූ මාතෘකාවක් බවට පත්වීමත් සමඟ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීන්දු කළේය.

ඉන් අනතුරුව ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගන්නා ලද අතර, එවක යුද හමුදාපති ජනරාල් මහේෂ් සේනානයක කියා සිටියේ එම නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය.

“යුද හමුදාපති හැටියට මම නිලධාරීන් වෙනුවෙන් පෙනී සිටිනවා. හරිද වැරදිද කියල තීරණය කළ යුත්තේ වෙන කෙනෙක්,” ජනරාල් මහේෂ් සේනානයක පැවසිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.