
බෙත්ලෙහෙම් පුරේ දිළිඳු ගවලෙනේ
ඔරුව තුළේ සිසිලෙ නිදයි
ජේසු බිලින්දා…
ලෙළෙන කැන් දිදී අමුතු තරුවකි
අඳුර මැදින් එළිය මවයි
ජේසු බිලින්දා…
නිරිඳුන් තිදෙනා තරුවෙන් දිලෙනා
මඟ අහගෙන යති දැකුමට
ජේසු බිලින්දා…
සත වෙත කරුණා පිනි දිය ගලනා
මුදු උල්පත පාදා දුනි
ජේසු බිලින්දා…
ගායනය- අනිල් භාරතී
පද රචනය- කරුණාරත්න අබේසේකර
සංගීතය- ක්ලැරන්ස් විජේවර්ධන
කොළඹ නගරයට ආසන්නව අපේ බාල විය ගෙවිණි. ඒ බාල වියේ දී සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් යහළු යෙහෙළියෝ රැසක් සිටියහ. පාසල් නිවාඩුවට අපි එක්ව සෙල්ලම් කළෙමු. වයස අවුරුදු පහ හයේදී අප සිටියේ එක පවුලක් මෙනි. පෝයට අම්මා, අක්කලා, අයියලා සමඟ මා පන්සල් යන විට යහළු යෙහෙළියෝද අප සමඟ ආහ. ඒ ගමන අපට සොඳුරු අත්දැකීමකි. යහළු යෙහෙළියන්ගේ අම්මලා පන්සල් යන්නට එපා යැයි කියා ඔවුන් වැළකුවේ නැත.
ඇතැම් විටෙක අපි පුංචි පෙරහරක් ද ගියෙමු. මේවාට උදව් කළේ අපේ පවුල් වල වැඩිහිටියෝය. සිංහල අවුරුද්දට නිවෙසින් නිවෙසට කෑම පිඟන් හුවමාරු වෙද්දී අන්‍ය ජාතිකයෝ ඔවුන්ගේ උත්සවවලදී අපේ ගෙවල් වලටද කෑම පිඟන් එවූහ. වීශේෂයෙන්ම නත්තලේ දී අපට තෑගි ද ලැබුණේය. එය බොහෝ සොඳුරු අත්දැකීමකි.
නත්තල ගැන බාල වියේදී බොහෝ දේ දැන නොසිටියෙමු. මගේ යෙහෙළියන් දෙදෙනා නත්තල් දිනට පෙර දින රාත්‍රියේ වැඩිහිටියන් සමඟ පල්ලි යන බව දැන සිටියෙමි. එහෙත් නත්තලට ගීත ගයමින් එන කැරොල් කණ්ඩායම පසු පසින් නිවෙසින් නිවෙසට ගිය අයුරු ද අද මෙන් මතකය.
එක්දහස් නවසිය හැත්තෑ දෙක වසරේදි ලියැවී ඇති මේ ගීතය පිළිබඳ අතීත කතාව දැන ගන්නට අද අපට සිටින්නේ ගායන ශිල්පී අනිල් භාරතී පමණි. යුග යුග ගණනක් රැඳෙන ගී බොහෝ සංඛ්‍යාවක් රචනා කළ විශිෂ්ට ගේය පද රචකයකු වන කරුණාරත්න අබේසේකරයන් මේ ගීතයේ පද රචකයාය. එමෙන්ම විශිෂ්ට සංගීත ශිල්පියකු වූ ක්ලැරන්ස් විජේවර්ධන “බෙත්ලෙහෙම් පුරේ“ ගීතයේ සංගීත නිර්මාණ ශිල්පියාය. අවාසනාව නම් අද මේ නිර්මාණ ශීල්පීන් දෙදෙනාම ජීවතුන් අතර නොසිටීමය. කෙසේ වෙතත් යුග යුග ගණනක් ජනප්‍රියව තිබෙන මේ ගීතය පිළිබඳ ගායන ශිල්පී අනිල් භාරතී කියන්නේ මෙවැනි කතාවකි.
‘‘මම සංගීත ක්ෂේත්රයට පිවිසියේ සංගීත කණ්ඩායමකින්. ඒ කාලේ මම හිටියේ ක්ලැරන්ස් විජේවර්ධනගේ ගෝල්ඩන් චයිම්ස් සංගීත කණ්ඩායමේ. ඒ කාලේ මේ සංගීත කණ්ඩායම බොහෝම ජනප්‍රියයි. ක්ලැරන්ස් ට ඕන වුණා නත්තල ගැන ගීතයක් ලියා ගන්න බෞද්ධ අයකු ලවා. ඔහු ඒ සඳහා තෝරා ගත්තේ කරුණාරත්න අබේසේකරයන්ව. දවසක් ක්ලැරන්ස් කරුණාරත්න අබේසේකර හමුවෙන්න ගිහිල්ලා ඔහුගේ අවශ්‍යතාව කියලා.
ඔහු ඉතාම කෙටි කාලයකින් මේ ගීතය ලියලා ක්ලැරන්ස්ගේ අතට දීලා තියෙනවා. ක්ලැරන්ස් මේ ගීතයට තනුව නිර්මාණය කරලා මට දුන්නා “අනිල් ඔබ මේ ගීතය ගයන්න“ කියලා. මම එය සතුටින් බාරගත්තා. කොහොම හරි ගීතය කියලා පැය විසිහතරක් යන්න කලින් එය බොහෝ ජනප්‍රිය වුණා.
මේ ගීතය නත්තල් පණිවිඩයක් වගෙයි. දැන් මේ ගීයට වයස අවුරුදු හතළිස් හතයි. මම මගේ තරුණ වයසෙදි ගීය ගැයුවේ. නත්තලට මේ ගීතයත් සමඟ මිනිස්සුන්ට මාව මතක් වෙනවා. පසු කාලිනව තවත් ගී ඇතුළත්ව මම බෙත්ලෙහෙම් පුරේ කියලා CD පටයක් නිකුත් කර තිබෙනවා. “