
භික්ෂූන් වහන්සේලාට මීළඟ මහ මැතිවරණයේදී නාමයෝජනා ලබා නොදිය යුතු බවට ප්රමුඛ පෙළේ නායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා ඇතුළු පක්ෂ නායකයින්ට දන්වා ඇති අතර සංඝ පෙරමුණ විකල්ප වැඩපිළිවෙළක් සම්පාදනය කරමින් සිටියි.
දැනට සෘජුවම දේශපාලනයට පිවිසී සිටින හිමිවරුන් ‘සඟ පෙරමුණ’ නමින් නව සංවිධානයකින් මැතිවරණයට ඉදිරිපත් වීම කෙරෙහි සාකච්ඡා ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සති අන්තයේ රාජගිරිය ප්‍රද්ශයේ පිහිටි විහාරස්ථානයක ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡාවට දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන, නියෝජනය කළ හා විවිධ සංවිධානවල ක්‍රියාකාරී ස්වාමීන් වහන්සේලා සහභාගි වී සිටියහ.
මේ දිනවල නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමට ලබාදී ඇති අවස්ථාව අනුව නව දේශපාලන පක්ෂයක් හෝ ඒ සඳහා ලියාපදිංචි කිරීම කෙරෙහිද අවධානය යොමුව ඇත.
මේ සම්බන්ධයෙන් බද්දේගම සමිත හිමියන්ගෙන් කළ විමසුමකදී උන්වහන්සේ සඳහන් කළේ එවැනි සාකච්ඡාවක් පැවතියත් ප්රමුඛව ඒ සම්බන්ධයෙන් සාකච්ඡා නොකළ බවයි.
‘‘දේශපාලනය කරන ස්වාමීන් වහන්සේලා සුළු පිරිසයි ඉන්නේ. මේ ආණ්ඩුව බලයට පත්වුණේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන්. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වෙනවා මූලික අයිතිවාසිකම් තහවුරු කිරීම සම්බන්ධයෙන්. මම ප්‍රාදේශීය සභාව, පළාත් සභාව, පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ලංකා සම සමාජ පක්ෂයට ලැබෙන අපේක්ෂක කෝටාවෙන් තමයි මම ඉල්ලන්නේ. තාම අපේක්ෂත්වය නොදෙනවා කියලා තීරණයක් නැහැනේ. එහෙම වුණොත් වෙනත් ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා කියලා පමණක් සාකච්ඡා කළා’’ යැයි සමිත හිමියන් සඳහන් කලහ.
උන්වහන්සේ මීට පෙර පවසා තිබුණේ කවුරු මොනවා කීවත් තමන් මැතිවරණයට ඉදිරිපත් වෙන බවයි.