මරණීය දණ්ඩනයට පක්ෂපාතී නම්…

මේ රටේ බොහෝ දෙනා මෙන් ඔබත් මරණීය දණ්ඩනයට තවත් අයෙක් විය හැකිය. අතිගරු ජනාධිපති තුමාගේ නියෝගයෙන් කාගේ හෝ බොටුව බිඳී යන තෙක් බලා සිටිනවා විය හැකිය.

එසේනම් ඔබ මෙය කියවිය යුතුමය.හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයකු වන එච්.ජී. ධර්මදාස මහතා විසින් සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියූ ලිපියකින් උපුටා ගත් කොටස්හි පරිවර්ථනයකි. මෙකී වාර්තාව මරණීය දණ්ඩනයේ අමානුශිකත්වය අපූරුවට පෙන්වයි. අටුවා ටීකා ඊට අවශ්‍ය නැත. ඔබේ මතය දැරීමට ඔබට ඇති අයිතියට අපි ගරු කරමු.

“ ඒ 1968 ගණන් හි මුල් වසරවල ය. මා ඒ වන විට බන්ධනාගාර සේවයේ යෙදී සිට තිබුණේ මාසයක් හෝ දෙකක් පමණි. පසුදා උදෑසන 8.00ට සිරකරුවකු එල්ලා මරණ බැවින් එම ක්‍රියාවළිය දැක ගැනීම පිණිස උදෑසන 7.00 ට වැළිකඩ බන්ධනාගාරයට පැමිණෙන ලෙස මට පණිවිඩයක් ලැබුණි. මා උදෑසන ගොස්, ඒ් වන විටත් කාර්යාලයට පැමිණ සිටි, එවකට වැළිකඩ බන්ධනාගාරයේ අධිකාරී වූ ඥණසුන්දරම් මහතාට වාර්තා කළෙමි. එල්ලා මැරීමට නියමිත පුද්ගලයා සමඟ කතා කිරීමට කැමැති බව ඔහුට කීමි. නීතිය අකුරට පිළිපදින්නකු වූ ඔහු මඳක් පැකිළී මට අවසරය දුන්නේ ය. නියාමකවරයකු ‘මරණයේ පේලිය’ යැයි හිරගෙදර ව්‍යවහාරයෙන් කියන කියන සිරකුටි කරා මා කැඳවා ගියේ ය. මරණයට නියමිත පුද්ගලයා ඒ වන විටත් ඒල්ලුම් ගහට යාබද කුටිය වෙත මාරු කර තිබුණි. එය සාමාන්‍ය පිළිවෙත ය.

හදවත දෝර ගලා යැවීම

මැදි හතලිස් ගණන් වියේ වූ ඒ් මිනිසාට කදිම දේහ විලාසයක් ද සෞම්‍ය පෙනුමක් ද විය. මේ වනාහී මරණයට නියම වූ සිරකරුවකු මා දුටු පළමු වතාව ය. ඔහුගෙන් කුමක් අසන්න දැ යි මම නොදැන සිටියෙමි. සිරකරුවකු සමඟ කතාබහක් ඇරඹීම පිනිස පළමුවෙන් ම කළ යුත්තේ ඔහුගේ නඩුව ගැන විමසීම යැයි මම දැන සිටියෙමි. ඉදින් මම එසේ ඇසීමි. ඔහු සිය ජීවිතයේ අවසාන මොහොතෙහිදී හෝ සිය තකාව කවරකුට හෝ කීමට බලා සිටියාක් මෙන් සිය හදවත දෝර ගලා යැවීමට පටන් ගත්තේ ය.

අප දෙදෙනා අතර සැණින් හිතවත්කමක් ගොඩ නැගුණි.

ඔහු මෙසේ කීය: ‘සර්, මා මීට කලින් කවරදාකවක් අපරාධයක් කරළ නැහැ. මං මගේ ම වඩු මඩුවක් තිබුණු මොරටුවේ වඩු කාර්මිකයෙක්. මට හොඳ ජීවිතයක් තිබුණ. හතර දෙනෙක් මං ළඟ වැඩ කරා. එතකොට ඔන්න ඔය පුද්ගලයා අපේ පවුලට හිරිහැර කරන්න පටන් ගත්තා. ඔහු කප්පම් වලින් ජීවත් වුණ ගණන්කාරයෙක්. ඒ මිනිහා අපේ ගමටත් අල්ලපු ගමටත් මහ වදයක් වෙලා තිබුණේ. කප්පම් ගැන ආරවුලකට ගිහින් ඔහු දක්ෂ වඩුවෙක් වුණ මගේ සහෝදරයෙක් මැරුවා. මාත් එක්කත් ඔහු කීප වතාවක් පැටලුනා. මේ කියන දවසේ මං වැඩට ගිහිං එන ගමන් බස් ඒකෙන් බැස්සා. ඒ මිනිහා මාත් එක්ක ආරවුල පැටලිලා මට ගහන්න ගත්තා. මාත් පොර බැදුවා. ඒ අස්සේ මං ළඟ තිබුණු නියනකින් කිහිපවතාවක්ම ඔහුට ඇන්නා. මිනිහ එතැනම මැරුණා”.

“ දැන් ඔබ පසුතැවෙනවාද?” මම ඇසුවෙමි. “ මං බෞද්ධයෙක්. මිනිහෙක් මරපු ඒක ගැන මං කණගාටු වෙනවා. ඒත් මං දැන් හිත හදාගෙන ඉන්නේ. දැන් මගේ පවුලත් ගමේ මිනිස්සුත් සාමයෙන් ජීවත් වෙනවා.

‘අපි සාමාන්‍ය මිනිස්සු’
අපේ ගමේ හැමෝමයි, හාමුදුරුවරුයි, ක්‍රිස්තියානි පූජකතුමන්ලයි අත්සන් කරළ ආණ්ඩුකාරයට පෙත්සමක් යැවුව මගේ ජීවිතය බේරල දෙන්න කියළ. ඒත් ඒකෙන් වැඩක් වුණේ නැහැ.අපි බලවත් හයිකාර මිනිස්සු නෙවෙයිනෙ. සාමන්‍ය ගමේ මිනිස්සු. සර්, මට තරුණ බිරිඳකුයි අව්රුදු අටේ පුතෙකුයි ඉන්නවා. ඒ් දෙන්න ඊයෙ මං බලන්න ආව. මං මගේ බිරිඳට කිව්ව ‘ඔයා තාම තරුණයි. මං මත්තේ ජීවිතේ නාස්ති කර ගන්න එපා. හොඳ මිනිහෙක් හමුවුණොත් කසාද බැදල අපේ දරුව බලා ගන්න කියළ.’

‘මං යන්න හිත හදාගෙන ඉන්නේ. මට වෙන තෝරගන්න දෙයක් නැහැ. මං කැමැති නැහැ බියගුල්ලෙක් වගේ මැරෙන්න’ යැයි ඔහු කීවේ ය.

ඔහුටත් අපේ කතා බහටත් කාලය ඉක්මයමින් තිබුණි.

විනාඩි ගණනාවක දී බන්ධනාගාර අධිකාරී, නියෝජ්‍ය පිස්කල් නිලධාරියා, වෛද්‍ය නිලධාරියා, බෞද්ධ භික්ෂුවක්, බන්ධනාගාර නියාමකයින් සහ රැකවල්ලු පැමිණයෝ ය. බන්ධනාගාර නියාමකයකු මිනිසාගේ නම සහ අනෙක් විස්තර පිස්කල් නිලධාරියා හමුවෙහි විමසීය. මෙම නියාමකයා මෙම සිරකරු මුලින්ම බන්ධනාගාරයට ගෙන ආ දිනයේ බාරගත් අයතුරෙන් කෙනෙකු බවත් ඔහු විසින් කරන ලද්දේ එල්ලා මරනු ලබන්නේ හරියටම නියමිත පුද්ගලයා බව සහතික කිරීම බවත් මම පසුව දැන ගතිමි. අනතුරුව භික්ෂුව ආගමික වතාවත් ඉටු කළේ ය.

ඉන් පසු සිරකුටියේ දොර හැර රැකවලුන් ද අලුගෝසුවා ද එයට ඇතුළු වී සිරකරුට බර වැඩ කම්කරුවන් හදින ආකාරයේ ගොරෝසු සුදු රෙද්දකින් මසන ලද ‘ඔවර්රොල්’ ඇදුමක් ( දෙපා සහ දෑත් එකම ඇදුමක කොටස් වන ඇදුමකි) ඇන්දුවේ ය. ඔහුගේ දෑත් ද බැදී යන සේ පළල් බඳ පටියක් ඔහුගේ පපුව හරහා බදින ලදී. බෑගයක් වැනි, ඉහත කී ගොරෝසු රෙදදෙන්ම මැසූ හිස් ආවරණයක් ඔහුගේ හිසට දමන ලදී. අනතුරුව ඔහු පෝරකය වෙත ගෙන යන ලදී.

ඒ් මුහුණෙහි වූ හැගීම
ඔහුගේ මුහුණෙහි තිබූ හැඟීම විස්තර කිරීමට මා සතුව චවන නැත. දුක්බර වුවත් නිර්භීත බව පෙන්වීමට දරන වීර ප්‍රයත්නයක් එහි විය. ඉන් පසු අලුගෝසුවා වළලුකර පටිය යැයි කියන උපකරණයකින් දෙපා වළලුකර හිර කරන ලදී. මිනිසා මෙලොවෙහි සිය ජීවිතය අවසන් බව දැන ගත්තේ ය. අප දෙස බලා ‘ මං යන්නම් සර්’ යැයි කීවේ ය. එ වනාහී හද කකියවන දැක්මකි.

බෑගයක් වැනි හිස් ආවරණය මිනිසාගේ මුහුණ ද ගෙල ද වැසෙන සේ පහත් කෙරුණි. තොණ්ඩුව ගෙළ වටා දමන ලදී. මට අපේක්ෂා භංගත්වයක හැගීමක් ඇති විය. මගේ උදරයෙහි ගින්නක් වැනි උද්වේගයක් ද හිසෙහි අළසකාරී හැගීමක් ද ඇති විය. මේ වනාහී මොහාතකට පෙර මා හා දෙඩමළු වූ මිනිසකු මා දෑස් අභිමුව දරණූ ලෙස මරා දැමීමකි. එහෙත් මට කළ හැකි කිසිවක් තිබුණේ නැත. මා රෝගාතුර හා භයානක හැගීමකින් වෙළුනි. මේ වනාහී යුක්ති ධර්මයේ නාමයෙන් කැරෙන මනුෂ්‍ය ඝාතනයකැ යි මට හැගුණි. මැරීම දුෂ්ඨ නම් ආණ්ඩුවක් විසින් මැරීම ද දුෂ්ඨ ය. ඒ වනාහී මගේ මනසෙහි විදිලි කෙටූ අදහස් ය.

නියෝජ්‍ය පිස්කල්වරයා හිස වැනුවේ ය. අලුගෝසුවා ලීවරය ඇද්දේ ය. සැණෙන් පෝරකය විවිර වී මිනිසා පහළට වැටුණේ ය. මම අසළට ගොස් එබී බැලීමි. සිරුර එල්ලෙමින් තිබුණේ තවමත් ගැහෙමිනි. කම්පනයට පත්ව ඇස් නිලංකාරව තිබුණ ද මම නිලධාරීන් අනුගමනය කළෙමි. ඔව්හු ‘මරණයේ පේළිය’ වටා ගොස් පෝරකයේ වළ වෙත පැමිණියෝ ය. වෛද්‍යවරයා සිය වෙද නළාව මිනිසාගේ පපුව මත තැබුවේ ඔහුගේ හදවත ක්‍රියා විරහිත බව සහතික කරනු පිනිස ය. ඔහු විනාඩි කිහිපයක් ගත කර යළි වෙද නළාව තබා බලා සිරුර බාන සේ නියෝග කළේ ය… අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ ඔහු ‘අධිකරණමය එල්ලා මැරීම මගින් සුෂුම්නාව බිදී යාමෙන් මරණය සිදුවී ඇත’ යැයි වාර්තා කළේ ය.

කෙටියෙන් කියන්නේ නම් ඒ වනාහී භයංකර අත්දැකීමකි. දින ගණනාවක් යන තුරු හරියට කෑම බීම ගැනීමට දුෂ්කර වූ මා භයංකර සිහින දුටුවෙමි. බණ්ධනාගාර සේවය තුළ දී මට යළි මෙම බිය ජනක දර්ශණය දක්නට නොලැබේවායැයි මම අපෙක්ෂා කළෙමි. යඥා කළෙමි.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.