මාධ්‍යවේදියා පිළිබඳව ජනතා විශ්වාසයක් නෑ – මංගල

mangalaවිශ්වසනීයත්වයෙන් තොර වාර්තාකරණය සහ කිසිදු පදනමකින් තොරව ප්‍රවෘත්ති නිෂ්පාදනය කිරීම හේතුවෙන් අද වන විට සාම්ප්‍රදායික මාධ්‍යවේදියා පිළිබඳව ජනතා විශ්වාසය නැති වෙමින් පවතින බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය මංගල සමරවීර මේ බව පවසා ඇත්තේ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය මගින් මාතර දිස්ත්‍රික්කයේ පාසල් ගුරුවරුන් වෙනුවෙන් සංවිධානය කළ වැඩමුළුව අමතමිනි.

එම වැඩමුළුව 19 සිකුරාදා මාතර පර්ල් ක්ලිෆ් හෝටලයේ දී පැවැති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

“ඉස්සර පුවත්පත්වල කුමන වාර්තා පළ කළත් ඒකට පදනමක් තිබුණා. දැන් එහෙම නෙවෙයි, මාධ්‍යවේදියාගේ, විවිධ පුද්ගලයන්ගේ සහ දේශපාලනඥයන්ගේ වුවමනාවට පුවත් නිෂ්පාදනය කරනවා. නමුත් මේ නවීන සමාජය තුළ මේ බොරු පුවත්වලට ඉස්සරහට යන්න බෑ. ඒව ඔප්පු වෙනවා. ඒ එක්කම ජනමාධ්‍ය පිළිබද තියෙන විශ්වාසය නැති වෙලා යනවා. අද හැමෝම අතේ ස්මාර්ට් ෆෝන් තියෙනවා. ඒ හැම කෙනෙක් ම වාර්තාකරුවෙක් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා වාරණය කියන දේ අදට වලංගු නෑ,” යනුවෙන් අමාත්‍යවරයා එහිදී පවසා තිබේ.

එකම බෝට්ටුවේ

“2017 අවුරුද්දේ අමෙරිකාවේ සමීක්ෂණයක් කළා වෘත්තීන්වල විශ්වසනීයභාවය ගැන. ඒ ලැයිස්තුවේ අවසන් ම ස්ථාන හිමි වෙලා තිබුණෙ මාධ්‍යවේදීන්ට සහ දේශපාලනඥයන්ටයි. ඒ කියන්නෙ අපි දෙගොල්ලොම එකම බෝට්ටුවෙ. දේශපාලනඥයාට එහෙම වුණේ ඇයි කියන කාරණාව මම කියන්න යන්නෙ නෑ”.

“ප්‍රංශයේ නව ආණ්ඩුව කතාබහක් ඇති කරගෙන යනවා මේ බොරු පුවත් සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ග ගැන. ඒ කියන්නෙ එහෙම කතාබහක් ලෝකය තුළ ඇති වෙමින් තියෙනවා. මේ තත්ත්වයෙන් මිදෙන්න වාරණය සහ නීතිවලින් පමණක් බැහැ. අපි කළ යුත්තේ ගෝත්‍රික අදහස් බැහැර කළ නව පරපුරක් නිර්මාණය කිරීමයි”.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.