මාධ්‍ය වහල්ලු

mediaදැනට සයිබර් තහංචියකට ලක්වී තිබෙන ලංකා e නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍ය වහල්කම ගැන ලිපියක් පලවී ඇත. ඔවුන් දක්වන්නේ රාජපක්ෂ ආණ්ඩුවේ අවනීතික ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් රකින මුනිවතයි.

වර්තමානයේ දී ඇතැම් මාධ්‍ය නාලිකා මහින්ද හා ඔහුගේ කණ්ඩායමට දෙන ප්‍රමුඛත්වය දෙස බලනවිට එම මාධ්‍ය ආයතනවල පළ වන ප්‍රවෘත්ති සත්‍ය ප්‍රවෘත්තිදැයි විමසා බැලිය යුතුය. අඩුම ඒකාබද්ධ විපක්ෂය විසින් දිනපතා මාධ්‍ය සාකච්ඡා 05ක් වත් පවත්වයි.

1 උදය ගම්මන්පිල පවත්වන මාධ්‍ය සාකච්ඡාව

2 බන්ධුල ගුණවර්ධනගේ ආර්ථික විමර්ශන ඒකකය පවත්වන පුවත් පත් සාකච්ඡාව

3 විමල් වීරවංශගේ පුවත්පත් සාකච්ඡාව

4 ඩලස් අලහප්පෙරුම ගේ පුවත්පත් සාකච්ඡාව

5 දිනේශ් ගුණවර්ධන මහතා විසින් පවත්වන පුවත්පත් සාකච්ඡාව

6 මහින්ද රාජපක්ෂ, බැසිල් හෝ ගෝඨා හෝ නාමල් විසින් පන්සලක හෝ වෙනත් තැනක සිට සිදු කරන ප්‍රකාශ.

මේ නයින් බලන කළ අඩුම තරමින් රජයට එරෙහිව දිනපතා ඔවුන් විසින් විවිධ අදහස් පවසනු ලබයි.

අනෙක් කාරණය නම් මාධ්‍ය ආයතන තුල සිදුවන ක්‍රියාවලියයි. මේ සෑම ආයතනයකම මහින්දගෙන් පඩිගත් අදටත් වැටුප් ලබන මාධ්‍ය කාරයන් සිටිති. ( මේ රජය බලයට පත් වු පසු එම ලැයිස්තුව ප්‍රකාශ කරන බව ප්‍රකාශ වූවද මෙතෙක් එම ලැයිස්තුව ප්‍රකාශ වී නැත) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හෝ අගමැති රනිල් වික්‍රමසිංහ සිදු කරන ප්‍රකාශයක් කොනක් අල්ලාගෙන ඒ විගසම ඉහත නම් සඳහන් අයට එම ප්‍රකාශය ගැන අදහස් පවසන්නැයි මහින්ද පාර්ශ්වයට දැනුම් දෙයි.

සර්.. අහවලා මෙහෙම කිව්වා.. සර්ට පුලුවන් නේද අපිට හොඳ කමෙන්ට් එකක් දෙන්න..

ඔව්… ඔව්.. මං අහවල් පන්සලට අද හවසට යනවා. එතෙන්ට ඔයාලාගේ කට්ටිය එවන්ඩ .. මං කියන්නං..

මෙම මාධ්‍ය මෙහෙයුම සිදුවන්නේ එපරිදිය. එපමණක් නොවේ.. දිනපතා පවත්වන සෙසු ප්‍රවෘත්ති සාකච්ඡා වලදීද අදාළ කාරණය ගැන ඉස්මතු කරන්නේ ගොබෙල්ස් න්‍යාය වන පුන පුනා කීමේ රීතිය අනුවය.

සැබවින්ම මහින්ද පාර්ශ්වය තුළ සිටින සියලු දෙනා දූෂණ චෝදනා වලට ලක් නොවුවන්ද? සැබවින්ම චෝදනා පමණක් නොවේ. නඩුද පවතී.

විමල් චෝදනා ගණනක් සම්බන්ධයෙන් අධිකරණයේ නඩු ඇත. උදය ගම්මන්පිලටද එසේය. මහින්දානන්ද අළුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, වෙල්ගම, බැසිල්, ගෝඨා, නාමල්, යෝෂිත සියළු දෙනාම දුෂණ චෝදනා සහිත නඩු විභාග වන්නෝ වෙති. වත්මන් ආණ්ඩුව හොරු ඇල්ලුවේ නැතැයි කියා ජවිපෙ කිය කියා ගියද ඉහත කී සියලු දෙනාටම නඩු පවරා ඇති අතර හිටපු ජනාධිපති ලේකම්ට නඩු අසා දඬුවම් ද දී තිබේ.

එමෙන්ම බන්දුල ගුණවර්ධන යනු තමන් දැරු සෑම අමාත්‍යාංශයක්ම අසාර්ථක වූ අයෙකි. අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් විභාග සම්බන්ධයෙන් ඔහු තරම් අසාර්ථක වු ඇමැතිවරයෙක් තවත් නැත. එමෙන්ම වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන්ද ඔහු අසාර්ථක විය. කුප්‍රකට දෙදහස් පන්සීයකින් පවුලකට ජීවත් විය හැකිය කතාව පමණක් සෑහේ ය.

වරක් මහින්දානන්ද අළුත්ගමගේ ඇමැතිවරයා අලුත් සපත්තු කුට්ටමක් පැළඳ හිටපු ජනාධිපතිවරයා හමුවිය.

මහින්දානන්ද.. අලුත් සපත්තු දෙකක්.. හරි ලස්සනයි…

ඔව් සර්. වැඩිය නෑ.. රුපියල් ලක්ෂ දෙකයි…

හ්ම්… හ්ම්… හොඳයි .. හොඳයි..

මේකනේ සර්. අපි කොල්ලෝ වාගේ ඉන්ඩ එපැයි…කියමින් අලුත්ගමගේ ඉන් ඉවත්විය.

අසළ සිටි ඇමැතිවරයෙක් ඇමතු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ‘ඔය සපත්තු දෙකේ බිල මං ගාව තිබෙනවා‘ යැයි කීය.

පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන් වැනි ප්‍රවීන මාධ්‍යෙව්දීන් රැසකට පහර දුන් සියතට හා සිරසට මෙන්ම ලංකාඊනිව්ස් කාර්යාලයට ද ගිනි තබා විනාශ කළ මහින්ද යලිත් වරක් බලයට ඔසවා තැබීමට කටයුතු කිරීමට මේ මාධ්‍ය ආයතනවලට හැකිද.? ඊට සදාචාරාත්මක අයිතියක් තිබේද? යන්න විමසිය යුතුය.

කෙසේ වුවද වර්තමානයේ ශ්‍රී ලංකාවේ ජනතාව මුළා වී සිටින්නේ මෙවැනි වහල් මාධ්‍ය සම්ප්‍රදායකටය. එසේනම් මේ රටේ ජනතාව මාධ්‍ය තුළින් දකින්නේ සත්‍ය ද? යන්න සිතිය යුතුය. මා දන්නා ආකාරයට මධ්‍යම පන්තියේ බොහෝ දෙනෙක් දැන් රූපවාහිනි නාළිකා තුළින් ප්‍රවෘත්ති බැලීම හා ඉරිදා පුවත්පත් වලින් ප්‍රවෘත්ති කියවීම අත්හැර තිබේ. එයට හේතුව නම් මේ සියලුම ප්‍රවෘත්ති ශ්‍රැතිශූචනාර්ථයේ හෙවත් ඇසු දෙයක් කීමේ පදනම මත ලියන ලද ඒවා නිසා ය. සියල්ල ගොසිප් නැතහොත් ආරංචිය.නමුත් දැන් දැන් ජනතාව සමාජ මාධ්‍ය තුළට යොමුව පවතින්නේ එහි කිසියම් සමබරතාවයක් පවතින නිසා වියයුතුය.

ඉරිදා දවස තුළ පළවන පුවත් පත් කන්දරාව තුළ ඇති ප්‍රවෘත්ති වලින් සියයට සියයක්ම අතේ රෝල් වෙති. නිදසුන් වශයෙන් පසුගිය කාලය තුළ පලාත් පාලන මැතිවරණයෙන් පසු උද්ගත වු දේශපාලන තත්ත්වය ගැන පළ වු ප්‍රවෘත්ති ගත් විට මහින්ද අද හෙට ම අගමැති හෝ ජනාධිපතිවිය හැකි බවට තොරතුරු පළ විය. රටින් පැන ගොස් සිටි ගෝඨා ද මීලග ජනාධිපති මම් ම වෙමියි සිතා යළිත් හදිසියේ රටට සම්ප්‍රාප්ත විය. පොහොට්ටු අද හෙට ම ආණ්ඩුව බලයට ඒයයි මිනිස්සු කතා කළහ.

දැන් සියල්ල අවසන් වී ඇත. ගෝඨා යලිත් වරක් තමන් අත්අඩංගුවට නොගන්නා ලෙස ඉල්ලමින් වාරණ නියෝග ගැනීමට උසාවි යයි. පොහොට්ටුව දිනු එක් පළාත් පාලන ආයතනයකටවත් තවමත් සභාපතිවරයෙක් හෝ උපසභාපතිවරයෙක්වත් පත් කර නැත. එහෙත් මාධ්‍ය ආයතන කිහිපයක් තවමත් ඔබ ඔබා මඩේ දාන්නාක් මෙන් තවමත් මහින්ද වෙනුවෙන් පෙනි සිටිමන් ඔහුගේ ගුණ වයති.

මේ තරම් වහල්භාවයක් තවත් ඇත්දැයි සිතීම පාඨක ජනතාවගේ වගකීම බව සිතමි.

විශේෂ ලියුම්කරුවෙකු විසිනි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.