මැණික් වලින් දිදුලන්නට දිරි දරන රත්නපුරය

පතල් කර්මාන්තයට නව තාක්‍ෂණය හඳුන්වා දෙමින්, බලපත‍්‍ර ලබාගැනීමට ඇති නීති රීති ලිහිල් කරමින් පතල්කරුවන්ට උපරිම සහන ලබාදෙන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ගාමිණී ජයනන්ද වලේබොඩ පවසයි.

‘‘ඒ වගේම අපේ රටේ බහුලව මැණික් ලැබෙන්නේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙන්. එම දිස්ත‍්‍රික්කය තමයි මෙරට වැඩිපුරම ඉඩම් ආරවුල් තියෙන දිස්ත‍්‍රික්කය බවට හඳුනාගෙන තියෙන්නේ. ඒ වගේම නිරවුල් නොවූ ඉඩම් බහුලව තියෙන්නෙත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ. විහාර දේවාල පනත යටතේ ඉඩම් තියෙනවා. පන්සල්වලට, දේවාලවලට අයිති ඉඩම් වගේම ඉඩම් ප‍්‍රතිසංස්කරණ කොමිසමට අයිති ඉඩම් තියෙනවා. මහවැලි අධිකාරියට අයිති ඉඩම් තියෙනවා. වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවට අයත් ඉඩම් තියෙනවා. මේ ආයතනවලට අයිති ඉඩම්වල මිනිස්සු පදිංචි වෙලා ඉන්නවා. ඒත් ඒ මිනිස්සු පදිංචි ඉඩම්වලට තවම අයිතියක් නෑ. මැණික් සංස්ථාවේ පනතට අනුව පතල් කැණිම් කිරීමට අදාළ ඉඩමේ තුනෙන් දෙකක අයිතියක් තියෙන්න ඕනෑ. රත්නපුරේ තියෙන බොහෝ ඉඩම්වලට තුනෙන් දෙකක අයිතියක් නෑ. ඒ ඉඩම් ගැටලූ නිරාකරණය වන ආකාරයට අපේ පනත සංශෝධනය කරන්න කටයුතු කරනවා.”

‘‘මේ නීති රීති ලිහිල් කරන්නේ නැතිව මැණික් කර්මාන්තය දියුණු කරන්න බෑ’. ඒත් අදාළ පනතේ නීති ලිහිල් කරනු ලබන්නේ පරිසර සංරක්‍ෂණ, ආරක්‍ෂණ නීති රීති දැඩි කරමින් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි

ඉදිරියේදී පතල් කැණීම් සිදු කරගෙන යන්න ඕනෑ පරිසර සංරක්‍ෂණයක් සහිතව පොදු දේපළ ආරක්‍ෂා කරමින් උපරිම ආරක්‍ෂිත ක‍්‍රමවේදයන් අනුගමනය කරමින්. පතල්වලට බිලි වෙලා මිනිස් ජීවිත නැති වෙන්න බෑ. කැණීම් සිදු කරන ස්ථානයට සතෙකුටවත් කිට්ටු වෙන්න බැරි විදිහට ආරක්‍ෂිතව ආවරණය කිරීමට අපි නීති හඳුන්වා දෙනවා. දැනටත් පනතේ නීතිවලට අනුව මැණික් පතලක් වටේට අඩි පහක් උසට ආරක්‍ෂිත වැටක් ඉඳිකරන්න ඕනෑ. ඒත් බොහෝ මැණික් කැණීම්වලදී ඒ නීතිය ක‍්‍රියාත්මක වෙන්නේ නෑ. ඒ වගේම කැණීම් සිදු කර අවසාන වූ පසු කණිනු ලැබූ පතල පස් පුරවලා වහන්න ඕනෑ.

‘‘මේ පොළොවේ තියෙන මැණික් කැටවලින් 25% ත් තවම මතුකරගෙන නෑ. අපි තවම කෑණිම් කරමින් ඉන්නේ ද්විතීයික නිධිය විතරයි. ප‍්‍රාථමික නිධියට කිට්ටු කරලවත් නෑ. ඒ වගේම දැනටමත් ගෙවුඩ මැණික් විපරීත වෙමින් තිබෙනවා. පොල් කටුවක හැඩයට නිර්මාණය වෙලා තියෙන රත්නපුර ප‍්‍රදේශයට තවමත් කඳු මුදුන්වලින් මිණිකැට පහළට බහිනවා. තව පරම්පරා ගණනාවකට අපේ රටේ මැණික් තියෙනවා යැයි පෙන්වා දෙන අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියාසිටින්නේ ‘‘ඒ වගේම ලෝකයේ වටිනාම මැණික් ලැබෙන්නේ අපේ රටේ. ඒත් ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළ ජයගෙන තියෙන්නේ තායිලන්තය. ආසියාතික රටවල වගේම යුරෝපීය රටවල ව්‍යාපාරිකයනුත් මැණික් මිලදී ගන්න යන්නේ තායිලන්තයට. ඒත් තයිලන්ත මැණික් වෙළෙඳපොළේ තියෙන්නේ පිටරටවල මැණික්. විශේෂයෙන්ම එම මැණික් වෙළෙඳපොළේ අලෙවි වෙන්නේ අප‍්‍රිකානු රටවලින් වගේම මෙරටින් ගෙන යන මැණික්. තායිලන්තයේ මැණික් තියෙන්නේ 5% ත් අඩු ප‍්‍රමාණයක්. ඒ මැණික් කැටත් තුන්වැනි ශ්‍රේණියේ මැණික්. තායිලන්තයේ මේ මැණික් වෙළෙඳපොළ අපේ රටට ගෙනඒම තමයි මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප‍්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ. මේ වෙනකොටත් අපි ඒ අභියෝගය භාරගෙන තියෙනවා. ජාත්‍යන්තර මැණික් වෙළෙඳපොළක් මෙරට නිර්මාණය කිරීමේ, මූලික අදියරේ වැඩ මේ මාස කිහිපයේදී අවසාන කරලා තියෙනවා..’’

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.