රන්ජන් රාමනායක වෙනුවෙන් අසඩක් තියරිය

Ranjan Ramanayake

බර්ටෝල් බ්‍රෙෂ්ට් රංගවේදියා නිර්මාණය නිර්මාණයකොට හුණුවටයේ කතාව නමින් සිංහලට නැඟුණු නාට්‍යයෙන් අසඩක් අපූරු විනිසුරුවරයෙකි. බැලූ බැල්මට ඔහු කරන දේ පිළිගත නොහැකි වුවත් ඔහු සදාචාරාත්මක බව අපූරු ලෙස සුරකි. අසඩක් නඩුකාරයා පැමිණිලිකරුගෙන් අල්ලස් ලබා ගනියි. එහෙත් අල්ලසට යට නොවේ. සාධාරණ තීන්දු ලබා දෙයි. සාධාරණ තී න්දු නොමිලේ ලබාගත නොහැකි බව පීඩිතයන්ට මතක් කර දෙයි.

මෝඩයාගේ ඓතිහාසික භූමිකාව

අසඩක්ගේ තියරිය අනුව රන්ජන් රාමනායකගේ මැදිහත්වීම සාධනීය බව දකින කීපදෙනෙකි එක් අයෙක් ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ය ඔහුට අනුව රන්ජන් හිරේ ගියත් ඉටුකොට ඇති කාර්යභාරය සුළුපටු නැත.

“සමහර විට රංජන්ව හිරේ දාන්නත් පුළුවන් වෙයි සෑහෙන කාලෙකට. නමුත් ඔහු ලංකාවේ දේශපාලනයට කරපු මේ දායකත්වය කිසිම කෙනෙකුට කරන්න පුළුවන් වෙන එකක් නැහැ. මොකද සාමාන්‍යයෙන් දේශපාලනය කරන ප්‍රකාශිත විප්ලවවාදීන් පවා බොහොම හිතල මතල තමයි වැඩ කරන්නෙ. රංජන් වගේ නොසිතා ඒ මොහොත තුළ කටයුතු කරන අය ලේසියෙන් පහළ වෙන්නෙ නැහැ. රංජනුත් සමහර විට පසුතැවිලි වෙයිද දන්නෙ නැහැ තමන් කරපු මෝඩ වැඩ ගැන. නමුත් ඒවගේ මෝඩයෝ වැදගත් ඓතිහාසික භූමිකා ඉෂ්ට කරල තියෙනව.

අනුජ ප්‍රේමරත්න( නීතිඥයෙක් දැයි නොදනිමු) සටහනක් තබමින් කියා සිටින්නේ රන්ජන්ගෙන් අධිකරණයට අහිතකර බලපෑමක් සිදුවී නැති බවයි.

ඔහු මෙසේ කියයි:

රන්ජන් රාමනායක සහ හිටපු මහාධිකරණ විනිසුරුවරියක් අතර සිදුව ඇති සංවාදය ට මුල සිට අගට සවන් දුන්නෙමි.

මෙහි දුරකථන සංවාදා දෙකක් තිබේ. දෙකම සිදුව තිබෙන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතණ නඩුව අවසන් වීමෙන් පසුවයි. එම නිසා එම නඩුවේ තීන්දුවට මෙම දුරකථන සංවාදයෙන් බලපෑමක් එල්ල වන්නේ නැත.

මෙම සංවාදයේ තිබෙන්නේ විනිසුරුවරිය රන්ජන් රාමනායකගෙන් කරනා ඉල්ලීමකි. ඇය ඉල්ලන්නේ පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරුධූරයක් සඳහා ඇයව පත් කරනා ලෙසයි. රන්ජන් ගෙන් ඉල්ලන්නේ මේ සඳහා ඇයගේ නම රනිල් වික්‍රමසිංහ ට යෝජනා කරනා ලෙසයි.

වඩාත්ම වැදගත් මෙයයි. ඇය මෙම ඉල්ලීම කරන්නේ ඇයට මෙය යුක්තිසහගත ලෙස උරුම වන බව විශ්වාස කරන නිසාය. වඩාත් නිශ්චිතව, ඇය කියා සිටින්නේ මහන්සි වී වැඩ කරන විනිසුරුවන් සොයා ඔවුන්ට එය ලබා දෙන ලෙසයි – සුදුස්සාට සුදුසු තැන දෙන ලෙසයි. ඇය එක් තැනක කියන්නේ මොරටුවේ නීතිඥයන්ගෙන් ඇය ගැන අසන ලෙසත් ඔවුන් අතර ඇති කතාවක් වන්නේ ඇය ඉක්මනින් නඩු අවසන් කරන නිසා ඔවුනට වෙන රස්සාවක් සොයා ගැනීමට සිදු වනවා යන්නත් ය.

සිංහල බෞද්ධයන්ට ඇති අසාධාරණය

මෙහි දෙවන දුරකථන සංවාදයේ දී අප හිතවත් ජාතිකවාදීන් ට වැදගත් තොරතුරක් තිබේ. ඇය චෝදනා කරන්නේ දැන් ඉන්න අධිකරණ ධූරාවලිය තුළ කතෝලිකයන්ට විශේෂ සැලකිලි දැක්වෙන බවයි. ඉතින් මේ තිබෙන්නේ මේ රටේ දුක් මහන්සි වී වැඩ කරන සිංහල බෞද්ධයන්ට ඇති අසාධාරණය ගැන චෝදනා කරන අවංක ගැහැණියක ගේ කතාවකි!

මේ චෝදනාව ඇය සිදු කරන්නේ සංවාදය ආරම්භයේදී තමන් අද උදෑසන මඩු පල්ලියට පැමිණ ඇති බවත් තමන් මෙලෙස චර්ච් යන බවත් රන්ජන් ප්‍රකාශ කර තිබියදීය. ඇයට මේ මිනිසා ඉදිරියේ මෙම කතෝලික කතාව කියන එක උපක්‍රමිකව අවාසි විය හැකිය කියා හෝ තේරෙන්නේ නැත! මේ තිබෙන්නේ තමන් අවංකව කළ සේවය අගය කරන ලෙසත් අධිකරණ සේවයේ ඇති හිත මිතුරන්ට සැලකීම වැනි දේ වලින් තමන්ට යුක්තිය ඉටු කර දෙන ලෙසත් ඉල්ලා සිටින ගැහැණියකගේ හඬයි!

චෝදනා වල ප්‍රතිපක්ෂය පැහැදිළි වීම

මේ සංවාදය අපේ රටේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය වලින් වාර්තා වන්නේ එහි තිබෙනා දෙයට පූර්ණ ප්‍රතිපක්ෂ වූ ලෙසයි. බහුතරයක් දෙනා ඒවායේ නිරවද්‍යතාවය සොයා බැලීමට උනන්දු වන්නේ නැත. ඒ වෙනුවට දෙන ලද තොරතුරු නිවැරදි ලෙස බාර ගැනීමෙන් ඔවුහු තෘප්තිමත් වෙති. මෙහි කිසිදු ආකාරයක අධිකරණයට සිදු කළ බලපෑමක් නැත. මෙයින් අදහස් කරන්නේ එවැනි බලපෑම් සිදු වී නැති බව නොවේ. මෙම සංවාදයේදීම එම විනිසුරුවරිය කියා සිටින ලෙසට පසුගිය ආණ්ඩුව විසින් භාරත ඝාතණ නඩුව හැර අන් කිසිදු නඩුවක් අවසන් කර නැත. මෙමගින් ඇය අදහස් කළේ තාජුඩීන් ඝාතණය වැනි ආන්දෝලනාත්මක නඩු බව පැහැදිළි වෙයි. ඉතින් අධිකරණයට බලපෑමක් වී ඇති බවනම් ඉතාම පැහැදිළිය. නමුත් මේ දුරකථන සංවාදයෙන් එවැනි කිසිවක් ඔප්පු වන්නේ නැත. එමගින් සිදු වන්නේ එම චෝදනා වල ප්‍රතිපක්ෂය පැහැදිළි වීමයි!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.