රඹුක්කන සිට කඩුගන්නාව මහනුවර හරහා කටුගස්තොට විදුලි දුම්රිය

මහනුවර අවට දුම්රිය මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට තීරණය කර ඇත.මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කෙරෙනු ඇත.

ඊයේ (26) දින පෙරවරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී මෙම ව්‍යාපෘතිය පිළිබඳව සාකච්ඡාවක් පැවති අතර මහනුවර තදාසන්න දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට එහිදී තීරණය කර ඇත.

විදුලිබල හා බලශක්ති, ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් අමුණුගම යන මහත්වරු මේ සඳහා සහභාගී වී ඇත.

මෙම දුම්රිය ව්‍යාපෘතිය අනුව ඉදිකෙරෙන මහනුවර තදාසන්න දුම්රිය මාර්ගය ශ්‍රී ලංකාවේ ඉදි කෙරෙන ප්‍රථම විදුලි දුම්රිය මාර්ගය වේ.

ඒ අනුව මෙම දුම්රිය මාර්ගය රඹුක්කන සිට කඩුගන්නාව දක්වාත්, කඩුගන්නාවේ සිට මහනුවර හරහා කටුගස්තොට දක්වාත් ද්විත්ව මාර්ගයක් ඔස්සේ දුම්රිය ධාවනය කිරීමට පහසුකම් සැලසේ.

එමෙන්ම කඩුගන්නාවේ සිට ගම්පොළ දක්වා දීර්ඝවන දුම්රිය මාර්ගය නාවලපිටිය දක්වාත් දීර්ඝ කරන ලෙසත්, එමෙන්ම කුණ්ඩසාලේ ප්‍රදේශයද ආවරණය වන පරිදි ඉදිකිරීම් කරන ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් උපදෙස් දුන්නේය.

මහනුවර ගුඩ්ෂෙඩ් බස් නැවතුම්පොළ හා ඒ අවට ප්‍රදේශය ප්‍රවාහන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කෙරෙන අතර ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටින දළදා මාළිඟාව ඉක්මවන තෙක් කටුගස්තොට දෙසට කිලෝමීටර් එක හමාරක් දුරට භූගත උමං මාර්ගයක් ඔස්සේ මෙම තදාසන්න දුම්රිය මාර්ගය ඉදි කිරීමට යෝජිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.