විදේශ ඇමති දිනේෂ් බුරුම ලංකා සබඳතා ගැන අපූරු සුභ පැතුමක්

Dinesh Gunawardena

ජාතික නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩ නිකුත් කරපු ඇමතිවරු කරන්නේ සාම්ප්‍රදායික සුබපැතුම් යැවීමයි. විදේශ ඇමැති දිනේෂ් ගුණවර්ධන බුරුම ජාතික දිනය වෙනුවෙන් නිකුත්කරන සුභ පැතුම් පණිවිඩය තුළින් අපූරු තොරතුරු රැසක් හෙළිදරව් කරයි.

සමකාසන්න භූගෝලීය කලාපයක පිහිටී ශ්‍රී ලංකාව මෙන්ම බුරුමය වසර 1000කට වඩා එකිනෙකා සමග සම්බන්ධකම් පවත්වාගෙන ගිය රටවල් දෙයක් බව විදේශ ඇමැතිවරයා පෙන්වා දෙයි.

දෙරට ම සියවසකට වැඩි කාලයක් බ්රිතාන්ය ආධිපත්‍යය යටතේ තිබී නිදහස දිනා ගත් රාජ්‍යයන්ය. පැරණි ඉන්දියානු ලේඛනවල සුවණ්ණභූමි හෝ ස්වර්ණභූමි හෝ යනුවෙන් දැක්වෙන වර්තමාන මියන්මාර් රාජ්‍යය ද ශ්‍රී ලංකාව හා සමකාලීන ව බෞද්ධ ශිෂ්ටාචරය පැතිර ගිය රටවල් දෙකකි.

ශ්‍රී ලංකාවේ බුදුසමයෙහි පැවත්මට තර්ජන එල්ල වූ අවස්ථා කිහිපයක දී ම යළි මෙරට බුදුසමය නඟා සිටුවීමට හැකි වූයේ මියන්මාරයෙහි එම සම්ප්‍රදායන් අඛණ්ඩ ව පවත්වා ගෙන ආ බැවිනි.

ලංකාව දීර්ඝ කාලයක් චෝළ ග්‍රහණය යටතේ තිබී නිදහස දිනා ගත් එකොළොස් වන සියවසේ දී පළමු වන විජයබාහු රජතුමා යළි ශාසනය පිහිටුවීමට බුරුම දේශයෙන් උපසම්පන්න භික්ෂූන් වහන්සේ කැඳවා ගැනීම හේතුවෙන් මෙරට සංස්කෘතික පුනරුදයක් සිදු වූ බව පිළිගැනේ.

උපසම්පන්න භික්ෂූන්

පළමු වන පරාක්‍රමබාහු රජුගේ කාලයෙහි දෙරට අතර ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වූ කල්හි එය සංසිඳවීමට ද හේතු වූයේ දෙරටෙහි භික්ෂූන් අතර පැවති දැඩි සම්බන්ධතාව බව ඉතිහාසයෙන් පෙනී යයි.

ආගමික සංස්ථා බිඳ වැටුණු අවස්ථා කිහිපයක දී ම ඒවා ප්‍රකෘතිමත් කරවීමට බුරුමයෙන් උපසම්පන්න භික්ෂූන් කැඳවා ගෙන ඒම සිදු විය. වර්තමාන ශ්‍රී ලංකාවේ සංඝ ශාසනයෙහි පවත්නා නිකාය තුනින් දෙකක් ම බුරුමය හා මෙරට අතර පැවති සම්බන්ධතා උපයෝගි කර ගැනීමෙහි ප්‍රතිඵල වෙයි. ඒ නිකාය දෙක හැඳින්වෙන්නේ ද ඒවාට මුල් වූ භීක්ෂු කණ්ඩායම් පැමිණි බුරුම නගර දෙකක් වන රාමඤ්ඤ (අරිමද්දනපුර) හා අමරපුර යන නම්වලින් වීම විශේෂයක් බව දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.