විල්පත්තු වනෝද්‍යානයේ ජනාවාස අතහැර නව මායිම්

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ ජනාවාස කර ඇති බිම් ප්‍රදේශ අතහැර අනෙක් ප්‍රදේශ සඳහා නව මායිම් සකස්කර ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කරන බව නීතිපතිවරයා පෙරේදා (25) අභියාචනාධිකරණයේ දී සඳහන් කර තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අධිරක්ෂිතයට අයත් අක්කර දහස් ගණනක අනවසරයෙන් පුද්ගලයන් පදිංචිකර ඇති බවත් ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසත් ඉල්ලමින් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනුකර ඇති රිට් පෙත්සමක් කැඳවූ අවස්ථාවේ නීතිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා, මධ්‍යම පරිසර අධිකාරිය, මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු කිහිපදෙනෙකු විත්තිකරුවන් කරමින් 2015 වසරේ පරිසර යුක්ති කේන්ද්‍රය විසින් මෙම නඩුව ගොනුකර ඇති අතර දීර්ඝ කාලයක් එහි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් දමමින් ඇත.

ඒ අනුව පෙරේදා (25) දිනයේ මෙම නඩුව, අභියාචනාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා සහ නිශ්ශංක බන්ධුල කරුණාරත්න යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ මෝසමක් මගින් නැවත කැඳවා තිබුණි. එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණය අමතමින් විල්පත්තු රක්ෂිතයේ මායිම් ප‍්‍රකාශයට පත් කරමින් 2012 ඔක්තෝබර් 10 වැනි දින නිකුත් කල අංක 1779/15 දරන ගැසට් නිවේදනය ඉවත් කර අවතැන් වූ පුද්ගලයින් පදිංචිව සිටින ප‍්‍රදේශ අතහැර විල්පත්තු රක්ෂිතයේ නව මායිම් සහිත ගැසට් නිවේදනයක් ප‍්‍රකාශයට පත් කරන බව අධිකරණයට දැනුම් දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.