
‘වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා’ සම්මානයට වඩාත් ම සුදුස්සා තමන් නොවන බව එංගලන්ත තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් පවසයි.
ඔහු සිය නිල ෆේස්බුක් වෙබ් පිටුවෙහි නිවේදනයක් පළ කරමින් පවසා ඇත්තේ, 12 හැවිරිදි වියේදී තමන් එංගලන්තයට පැමිණි හෙයින් තමන්ට වඩා නවසීලන්තය වෙනුවෙන් සේවය කළ විශිෂ්ටයින් රැසක් සිටින බවය.
“වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ වීම සම්බන්ධයෙන් මම ගොඩක් සතුටු වනවා. ඒ වගේ ම මගේ නවසීලන්ත මෙන් ම මවුරි උරුමය ගැනත් මම ආඩම්බර වනවා. ඒත් මේ ගෞරවණීය සම්මානය මට සුදුසු නැහැ කියලා මට හිතෙනවා,” බෙන් ස්ටෝක්ස් සිය නිවේදනයේ සඳහන් කර තිබේ.
ඔහු සඳහන් කර ඇත්තේ, “මම හිතන්නේ සමස්ත නවසීලන්තය ම කේන් විලියම්සන්ගේ සහය වෙනුවෙන් ඔහු සමග එක්විය යුතුයි,” යනුවෙනි.
“ඔහු තමයි ලෝක කුසලාන තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා වුණේ. ඒ වගේ ම ඔහු පිරිමින්ට ආධ්‍යාත්මික නායකයෙක්. ඒ සම්මානයට සුදුස්සා ඔහුයි. මගේ ඡන්දයත් ලැබෙන්නේ ඔහුටයි,” බෙන් ස්ටෝක්ස් වැඩිදුරටත් සඳහන් කර තිබිණි.
විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා
එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝක්ස් වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට නිර්දේශ කර තිබිණි.
එංගලන්තයට පළමු වරට එක්දින ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමට මුල් වූ බෙන් ස්ටෝස් බොහෝ සම්මානවලට නිර්දේශ වෙමින් සිටී. එහෙත්, වසරේ විශිෂ්ටතම නවසීලන්ත ජාතිකයා සම්මානයට ඔහු නිර්දේශ වෙයි යැයි කිසිවෙකු අපේක්ෂා නොකරන්නට ඇත.
ලෝක කුසලාන අවසන් තරගයේදී නවසීලන්ත වැසියන්ගේ හදවත් බිඳ දැමූවේ බෙන් ස්ටෝක්ස් ය.
තරගයේ වීරයා වූ 28 හැවිරිදි බෙන් ස්ටෝක්ස් එංගලන්තයේ ජයග්‍රහණය වෙනුවෙන් උර දුන්න ද ඔහු නවසීලන්තයේ උපත ලැබූවෙකි.
“ඔහු නවසීලන්තය වෙනුවෙන් ක්‍රීඩා කළේ නැහැ. ඒත් ඔහු ක්‍රයිස්ට්චර්ච්වල ඉපදුණේ. ඔහුගේ දෙමාපියනුත් දැන් ඉන්නේ නවසීලන්තයේ. ඒ වගේ ම ඔහු මාඕරි ආදිවාසී පරපුරට සබඳතා ඇත්තෙක්. ඒ නිසා ඔහු නිර්දේශ කරන්න පුළුවන් යැයි සිතන ‘කිවි’වරුන් ඉන්නවා” එම සම්මාන උළෙලේ ප්‍රධාන විනිශ්චයකරු වන කැමරන් බෙනට් පැවසීය
එදා කඳුළු – අද සිනහ
එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක බෙන්ජමින් ඇන්ඩෲ ස්ටෝක්ස් හෙවත් බෙන් ස්ටෝක්ස් 2016 වසරේ විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගයේදී එංගලන්තයට නිශ්චිතව ජය ගත හැකිව තිබූ කුසලානය අහිමි කරගෙන පිටිය මැද හඬා වැටුණේය.
එහෙත්, ඉන් වසර 3කට පසු එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජය තහවුරු කරමින් එංගලන්තයේ පමණක් නොව ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ගේ ගෞරවයට පාත්‍ර විය