ශ්‍රී දේවි පාතාලයේ ගොදුරක්ද?

srideviශ්‍රී දේවිගේ දේහය මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි අගනුවර පිහිටි විලේපාලේ සේවා සමාඡ් ආදාහනාගාරයට ගෙන යන තුරුත්, දේහයට ගිනි තබන තුරුත් සුබ්‍රමනියම් ස්‌වාමි කීවේ මේ මිනීමැරුම ගැන පරීක්‍ෂණ පැවැත්විය යුතු බවය. ඉන්දියානු හා පාකිස්‌තාන පාතාලයේ ප්‍රමුඛතම නායකයා වූද දැනට වසර 2 කට පමණ පෙර අතුරුදන් වුණු ඩාවුඩ් ඊබ්‍රාහිම් මේ මිනීමැරුම පිටුපස සිටිය හැකි බව ඔහුගේ අදහස විය.

ඩාවුඩ් ඊබ්‍රාහිම් කුඩු විකුණා උපයාගත් මුදලින් විශාල ප්‍රමාණයක්‌ ඉන්දියාවේ සිනමා කර්මාන්තයට ආයෝජනය කළ කෙනෙකි. ඒ ආයෝජනය සිදු කෙරෙන්නේ චිත්‍රපට නිෂ්පාදකයකු සහ දේශපාලන පක්‍ෂයක අයිතිකාරයකු ලෙස පෙනී සිටි හජි මස්‌තාන් නමැති පාතාල දාමරිකයකු මගිනි. මෙයට වසර 20 කට පමණ පෙර ඩාවුඩ් ඊබ්‍රාහිම් ප්‍රසිද්ධ ජන ජීවිතයෙන් මිදී පාතාල ගත වන අතර ඔහුගේ ඉන්දියානු ගෝලයා වූයේ හජි මස්‌තානිය. ඩාවුඩ් ඊබ්‍රාහිම් ඉන්දියානු චිත්‍රපට කර්මාන්තකරුවන් රැසක්‌ කිට්‌ටුවෙන් ආශ්‍රය කළේය. අනිල් කපූර් ඔහුගේ මිතුරෙකි. අනිල් ශ්‍රී දේවිගේ මස්‌සිනා ය. සල්මන් ඛාන් ඔහුගේ මිතුරෙකි. ඔහු දිලිප් කුමාර්, රාඡ් කපුර්, ධර්මේන්ද්‍ර, ෆෙරොස්‌ ඛාන් යන නළුවන් ද ඇසුරු කළේය. ඒ හජි මස්‌තාන් හරහා ය.

ඩාවුඩ් ඊබ්‍රාහිම් ප්‍රසිද්ධ ජන ජීවිතයෙන් ඉවත් වූ පසු ශ්‍රී දේවිලා සමග සම්බන්ධයක්‌ තිබුණේද? හිසේ තුවාලයක්‌ද සහිත ශ්‍රීදේවිගේ මළ සිරුර පසුගිය 24 වැනිදා සවස ඩුබායි නගරයේ ජුමෙයිරා එමිරේට්‌ස්‌ ටවර් හෝටල් ගොඩනැඟිල්ලේ අංක 514 කාමරයෙන් හමුවන්නේ පෙර කී සංකීර්ණ සම්බන්ධතාවයේ අවසන් ප්‍රතිඵලය වශයෙන් ද?

ශ්‍රී දේවි ඩුබායි බලා යන්නේ සිය ඥති පුත්‍රයා වූ මොහිත් මර්වාගේ විවාහ මංගලෝත්සවයට සහභාගී වනු පිණිසය. මේ සඳහා ශ්‍රී දේවිගේ සැමියා වන බොනී කපූර් සහ දියණියන් දෙදෙනාගෙන් බාල දැරිය ඇය සමඟ ඩුබායි බලා ගියහ. ශ්‍රී දේවිගේ වැඩිමහලු දියණිය වූ ජනිව් කපූර් මේ ගමනට එකතු නොවූ අතර එයට හේතු වූයේ ඇගේ මුල්ම රංගනය ඇතුළත් ‘දදත්’ චිත්‍රපටය ප්‍රදර්ශනයට සූදානමින් පැවතීමය. විවාහ මංගල්‍යයෙන් පසු ඩුබායි නගරයේ පදිංචිව සිටින තම සොයුරිය වූ ශ්‍රී ලතා සමඟ දින කිහිපයක්‌ ගත කිරීම ශ්‍රී දේවිගේ අදහස විය. මේ අනුව බොනී කපූර් සහ බාල දියණිය ආපසු ඉන්දියාව බලා ගියහ.

මේ සියල්ල සිදුවන්නේ පෙබරවාරි 20- 22 අතර දිනවලය. ඒ අතර පෙබරවාරි 24 වැනිදා සවස යෙදුණු සාදයකට සහභාගී වීම සඳහා සූදානම් වීම පිණිස ශ්‍රී දේවි ආපසු හෝටලයට පැමිණියාය. ඒ අතර කිසිදු පූර්ව දැන්වීමකින් තොරව, ශ්‍රී දේවි පුදුමයට පත් කරනු පිණිසම බොනී කපූර් ආපසු ඩුබායි බලා එන්නේය. ඔහු සවස 5.30 ට ශ්‍රී දේවිගේ හෝටල් කාමරයට ඇතුළු වෙයි. එහි වැටී තිබූ ශ්‍රී දේවිගේ මළ සිරුර දුටු බව කියයි.

එහෙත් හෝටල් සේවකයන් කියන්නේ වෙනස්‌ කතාවකි. ඔවුන් කියන පරිදි රාත්‍රි 10.30 ට පමණ හෝටල් කාමරය පිරිසිදු කිරීම සඳහා එහි ගිය නමුදු ශ්‍රී දේවි කාමරයේ දොර ඇර නැත. එහිදී කාමරයේ දොර කඩා එහි ඇතුළු වූ හෝටල් සේවකයන් හට නාන කාමරයේ නාන බේසම තුළ තිබූ ශ්‍රීදේවිගේ මළ සිරුර හමුවී තිබේ.

එහි හිසේ තුවාලයක්‌ ද විය. මරණ පරීක්‍ෂණයේදී හෙළි වූයේ ශ්‍රීදේවිගේ ආමාශයේ මත්පැන් තිබූ බවය. ඇය වයින් හෝ විස්‌කි ස්‌වල්පයක්‌ පානය කරන්නට ඇති.

එසේ නම්, තමා සවස 5.30 ට හෝටල් කාමරයට යන විට ශ්‍රී දේවිගේ මළසිරුර එහි වැටී තිබූ බව බොනී කපූර් කීවේ ඇයි? සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය පැය තුනහමාරකට වඩා බොනී කපූර්ගෙන් ප්‍රශ්න කර තිබිණි.

ආචාර්ය සුබ්‍රමනියම් ස්‌වාමි කියන පරිදි ශ්‍රී දේවි කවදාවත් මත්පැන් පානය කරන්නේ නැත. ඔහු කියන්නේ කිසිවකු විසින් බලහත්කාරයෙන් මත්පැන් පානය කරවනු ලැබ නාන බේසමට වතුර පුරවා ඇය එහි ඔබාගෙන ඉන්නට ඇති බවය. හෝටල් කාමරයක නාන බේසමක්‌ තුළ ගිලී කෙනකු මිය යැම ඉතාම දුර්ලභ සිද්ධියක්‌ බව ඔහු කියන්නේය.

ශ්‍රී දේවි අයියප්පන්ගේ ජීවිත කතාව මහත්සේ මත භේදයට තුඩු දී තිබේ. ඇය ලංකාවේ උපන් කෙනෙකු බවට කටකතාවක්‌ තමිල්නාඩුව තුළ පවතී. එහෙත් ඇගේ උපත රෙජිස්‌ට්‍රර් වී ඇත්තේ තමිල්නාඩුවේ ය. ඇය මුල්වරට චිත්‍රපටයක රඟපාන්නේ අවුරුදු හතරේදී ස්‌කන්ධ කුමාර් දෙවියන්ගේ (කතරගම දෙවියන්) කුමාර කාලය නිරූපණය කරමිනි. ඇගේ වාසගම වූ අයියප්පන් නම රැගත් බලගතු දෙවියෙක්‌ ඉන්දියාවේ වෙසෙති. ඒ දෙවියන්ගේ සම්පූර්ණ නම ආනන්ද අයියප්පන්ය. ආනන්ද අයියප්පන් යනු කතරගම දෙවියන්ගේ බාල සහෝදරයා ය. උන්වහන්සේ වෙනුවෙන් කැපවුණ ශ්‍රී ලංකාවේ එකම කෝවිල කොළඹ මට්‌ටක්‌කුලියේ පිහිටා ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.