සරුංගල් නූල මාරයා වනදා

kites

අහස ජයගන්නට නොතිත් ආසාවෙන් පෙළෙන දරුවන්ගේ සහ ගැටවරයන්ගේ ප්‍රමුඛතම දේ සරුංගලයයි. එහෙත් සමහර විට මේ සරුංගල් අහසේ හැසිරෙන කුරුල්ලන්ට අනතුරු ඇති කිරීමට ඉඩ තිබේ. මෙවර ගෙවත්තේ ජෛව විවිධත්වය තුළින් ඉදිරිපත් කරනුයේ අප ගෙවතු ආශ්‍රිත ව අපට නො දැනීම කුරුල්ලන්ට මෙන් ම අනෙකුත් සතුන්ටත් කරදරයක්‌ විය හැකි අතහැර දමා තිබෙන සරුංගල් නූල් පිළිබඳවයි.

හොඳින් සුළං ඇති මේ කාලය සරුංගල් සමයයි. පෙර තරමට ම නැතත්, ගෙවත්තට බැස අහස නිරීක්ෂණය කළ විට, විවිධ වර්ණවලින්, ප්‍රමාණවලින් සහ හැඩයෙන් අහසේ පා වෙමින් තිබෙන සරුංගල් කීපයක්‌ හෝ දැකගැනීමට බොහෝ ප්‍රදේශවල දී මේ දිනවල දී හැකි වේ. ඉරටු හෝ බට පතුරු එකට ගැටගසා, කොළ අලවා සකසාගන්නා මේ සරුංගල්, අහස බලා උඩ යවන්නේ නූලක ආධාරයෙනි. එහෙත් මෙතරම් අසීරුවෙන් අහසට යවන සරුංගල් විවිධ හේතු නිසා නූලෙන් කැඩී ඉවතට පා වන අවස්‌ථා ද බොහොමයකි. මෙවන් අවස්‌ථාවන්හි දී බොහෝ විට සරුංගලය ඈතට ගසාගෙන යයි. සමහර විට නැවතත් ලෙහෙසියෙන් ළං විය නො හැකි උසක හෝ ළඟා විය නො හැකි තැනක හෝ රැඳුණ විට, සරුංගලය නැවත ලබාගත නො හැකි වේ.

සව්කොළවලින්, බටපතුරුවලින් සෑදු සරුංගල්, වැස්‌සට හසු වී දිය වී යන අතර පොලිතින් ඇලවූ සරුංගල් ඊට වඩා කාලයක්‌ ගස්‌වල, උස කණුවල පැද්දි පැද්දී තිබෙනු ඔබත් සමහර විට දැක ඇතැයි සිතමි. එහෙත් මේ සරුංගල් උඩ යෑවීමට භාවිත කළ නූල් ද මෙසේ අතු-ඉති අතර පැටලී තිබෙනු ඔබට නිරීéණය නො වීමට ඉඩ ඇත්තේ ඒවා ඉතා ම සිහින් නිසා ය. සිහින් වුවත්, මේ නූල් බොහෝ විට නයිලෝන් නූල් වීම නිසා ශක්‌තිමත් වන අතර, දිරා යැමට ද කාලයක්‌ ගත වේ. මේවායෙන් හානියක්‌ නො වෙතැයි අප සිතුවත්, මේ නූල්වල කුරුල්ලන්ගේ අත්තටු පැටලෙන අවස්‌ථා මේ කාලයේ දී නිතර වාර්තා වේ.

මෙහි පළමු ඡායාරූපයෙන් දැක්‌වෙනුයේ එසේ අතහැර දැමූ සරුංගලයක නූලක පැටලී අවාසනාවන්ත ලෙස මිය ගිය සුදු ඇලි කොකෙකි (ඡායාරූප අංක 01 බලන්න). අත්තටු පැටලී පියඹාගත නො හැකි ව මේ කුරුල්ලන් වෙත එන, සෙමින් ළඟා වන මරණය ඉතා වේදනාකාරී ඉරණමකි. කරවැල් කොකුන් වැනි ප්‍රමාණයෙන් විශාල කුරුල්ලන් පවා මෙසේ අතහැර දමන ලද නූල්වල පැටලෙන අවස්‌ථා ඇති බව මීළඟ ඡායාරූපයෙන් පැහැදිලි වනු ඇත.

සරුංගල් නූල් නිසා කුරුල්ලන්ට හානි සිදු වන ප්‍රශ්නයට ç ලංකාවටත් වඩා දරුණු ලෙස ඉන්දියාව, පකිස්‌තානය වැනි රටවල් මුහුණ දෙන බව සඳහන් වේ. අවුරුදු පතා ඉන්දියාවේ සරුංගල් තරග පවත්වන අතර මේවායේ දී බොහෝ කුරුල්ලන් අනතුරට ලක්‌ වන බව සඳහන් වේ. ඉතා ම තරගකාරී වූ මේ සරුංගල් තරගවල දී කැපෙනසුලු නූලක්‌ භාවිත කරන නිසා ඉන්දියාවේ සරුංගල් උත්සව අතරතුර සිය ගණනක්‌ කුරුල්ලන් අනතුරට පත් වන බව සඳහන් වේ.

තත්ත්වය ඒ තරම් ම දරුණු නො වුණත්, ç ලංකාවේ ද සරුංගල් සමයේ දී කුරුල්ලන් අනතුරට ලක්‌ වීම සුලබ වේ. වනජීවී දෙපාර්තමේන්තුව අත්තිඩියේ පිහිටුවා ඇති වන සතුන් මුදවාගැනීමේ සහ පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්‌ථානය මෙවන් අනතුරට ලක්‌ වූ ජීවීන්ට උපකාර වන ප්‍රමුඛතම ආයතනයයි. මෙහි පශු වෛද්‍ය සුහද ජයවර්ධන අප හා පැවසූයේ, මේ සරුංගල් සමයේ ද නූල්වල පැටලුණු කුරුල්ලන් කිහිප දෙනකු ම අත්තිඩියේ මධ්‍යස්‌ථානය වෙත ප්‍රතිකාර සඳහා ගෙන ආ බවයි. මෙසේ කරදරයට පත් වූ කුරුල්ලන් අතර කපුටන්, බටගොයන්, පරෙවියන් මෙන් ම පොළොස්‌ කොට්‌ටෝරුවන් සිටි බව පශු වෛද්‍ය ජයවර්ධන අප හා පැවසී ය. මින් සමහර තුවාල දරුණු බවත්, ඒවායෙන් එම සතුන් මිය යන අවස්‌ථා වැඩි බවත් පශු වෛද්‍යවරයා පෙන්වා දුන්නේ ය.

කුරුල්ලන් පමණක්‌ නො ව, සරුංගල් නූල්වල පැටලී කකුල තුවාල වුණු වඳුරු පැටවකු ද මේ වනජීවි ප්‍රතිකාර මධ්‍යස්‌ථානය වෙත පසුගිය දා ගෙනැවිත් තිබිණි. කුරුල්ලන් බහුල ප්‍රදේශවල ඉතිරි ව තිබෙන මෙවැනි නූල්වලින් වන හානිය වැඩි ය.

මෙයින් පැහැදිලි වනුයේ අතහැර දමා තිබෙන සරුංගල් නූල්වලින් අප අවට වෙසෙන සතුන්ට, විශේෂයෙන් ම කුරුල්ලන්ට කරදර විය හැකි බව ය. සරුංගල් යෑවීම විනෝදජනක ක්‍රියාවකි. එහෙත් සරුංගලයක්‌ කඩාගෙන ගිය විට ඉතිරි වන නූල් ඉවත් කිරීමට උත්සුක වනවා නම් මෙසේ නිස්‌කාරණයේ වේදනා විඳින අවස්‌ථාවලින් සතුන්/කුරුල්ලන් බේරාගැනීමට පුළුවන. ඒ නිසා ඔබ ප්‍රදේශයේත් මෙවැනි අතහැර දමා තිබෙන නූල් නිරීéණය කළ හොත් ඒවා, කුරුල්ලන් නිතර ගැවසෙන ස්‌ථානයක පිහිටා තිබුණ හොත්, හැකියාවක්‌ ඇතොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන්න. සමහර නූල්, විදුලි රැහැන්වලත් පැටලී තිබීමට හැකි නිසා මෙවැනි දෙයක්‌ කිරීමට පෙර ඔබගේ ආරක්ෂාව ද තහවුරු කරගෙන කටයුතු කිරීමට අමතක නො කරන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.