
කොළඹ බදුල්ල දුම්රිය පාරේ ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙක යා කරන්නේ නැතුව මේ කෝච්චි පාර හදන්න බැහැ. මොකද කියන්නේ මේ වැඩ බාර ගන්න පුලුවන්ද. මේ ප්රශ්නය ඇසුනේ මීට අවුරුදු සියයකට කලින්ය. ප්රශ්නය ඇහුවේ රජයේ දුම්රිය අධිකාරි වරයාය. ප්රශ්නය යොමු වුණේ උඩරට දුම්රිය මාර්ගය බාර තරුණ ඉංජිනේරුවෙකුට ය. දෙදෙනාම සුද්දන්ය. එවරෙඩි පූසෙක් වූ තරුණ ඉංජිනේරුවා වැඩ භාරගත්තේ තමන්ට වැඩ කිඩ පෙන්වීමට අවස්ථාව ගැන සිහින මවමිනි.
වැඩේ ලෙඩේ
වැඩේ ලෙඩේ වූයේ වැඩේ පටන් ගත් විටය. දෙමෝදර ගොටුවෙල ප්‍රදේශයට ගිය තරුණ ඉංජිනේරුවාට වැඩේ බැරෑරුම්කම පසක් වූයේ කඳු දෙක අතර ඇති දුර සහ භූමියේ පිහිටීම දුටු වූ විට ය.
ඇල්ල හා දෙමෝදර දුම්රිය ස්ථාන අතර පිහිටි කඳු දෙකක් යා කිරීම සඳහා , අඩි 25 ක් පළලට අඩි 300 ක් දිගට හා අඩි 80 ක් උසට වන සේ මුහුදු මට්ටමින් අඩි 3100 ක් ඉහලින් පාලමක් ඉදිකළ යුතු විය. වැඩේ බැරිවූ තැන
අප්පුහාමි බාසුන්නැහේට පිංසෙන්ඩු තරුණ ඉංජිනේරුවා වැඩේ කරගත්තේය. පාලම ඉදිවිය. ආරුක්කු නමයක් සහිත වූ පාලම ගැන විශ්වාසයක් නොතිබිණ. භාෂා පාලම යටින් නිදා සිටියදී දුම්රියක් ධාවනය කෙරිණ. අතුරු ආන්තරාවක් නැතුව සියවස් කාලයක් මේ පාලම තවමත් පවතී.
වෙනස් කතාවක්
මේ එක් ජනප්රවාදයකි. ඊට වෙනස් කතාවක් ඇත. එංගලන්තයේ දුම්රිය මාර්ග සඳහා මෙවැනි ආරුක්කු පාලම් ඉදිකිරීම සම්බන්ධයෙන් විශේෂ දැනුමක් සහ අත්දැකීමක් සහිත ඉංජිනේරුවරයෙකු වූ හැරල්ඩ් කුත්බර්ට් මාවුඩ් (Harrold Cuthbert Marwood) හට පාලම සැදීම භාරවිය.
යකඩ පාලමක්
මෙතුවක් කල් දුම්රිය මාර්ග ඉදිකිරීමේදී භාවිතා කළ යකඩ පාලම් වෙනුවට ආරුක්කු පාලමක් මෙහි ඉදිකිරීම යෝජනා විය. වර්ෂ 1864 දී කොළඹින් ඉදිකිරීම ඇරඹුන උඩරට දුම්රිය මාර්ගය වර්තමාන දෙමෝදර ආරුක්කු පාලමට මඳක් ඔබ්බෙහි පිහිටා ඇති ඇල්ල දුම්රිය ස්ථානයට ඉදිකොට අවසන් වූයේ වර්ෂ 1918 දී ය. වාර්තාවන්ට අනුව එවකට ඇල්ල, දෙමෝදර යන ප්‍රදේශ ගමනාගමන පහසුකම් ඉතා අවම ප්‍රදේශ විය. තිබුණු හොඳම ප්‍රවාහන මාධ්‍යය වූයේ ගොනුන් බැඳී බර කරත්තය. ඒ අනුව අදාළ ස්ථානයේ යකඩ පාලමක් ඉදිකරන්නේ නම් දුම්රිය මාර්ගය ඒ වනතෙක් එලීමට පෙර එතැනට පාලමක් සඳහා අවශ්‍ය යකඩ කොටස් ප්‍රවාහනය කිරීම විශාල ගැටළුවක් ව තිබුණි. එමෙන්ම ඒ වනවිට පැවති පළමු ලෝක යුද්ධයේ බලපෑම නිසා පාලම ඉදිකිරීම සඳහා අවශ්‍ය වන යකඩ හිඟයක් ද පැවත තිබේ. මෙම ගැටළුවලට පිළියම් ලෙස කලයුතු විකල්ප ඉදිකිරීම වූයේ යකඩ භාවිතයෙන් තොරව 1:44 ආනතියක් සහිතව ආරුක්කු පාලමක් ඉදිකිරීමය. කීර්තිමත් ලාංකික ඉංජිනේරුවරයකු වූයේ ඩී.ජේ. විමලසුරේන්ද්‍ර මහතා මේ සඳහා දායක විය.
අප්පුහාමි බාසුන්නහේ සම්බන්ධයෙන් පවතින කතාවට අනුව ඔහු එම ප්‍රදේශයේ ගල්වැඩ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ අයෙකි. ඒ අනුසාරයෙන් ඔහු සුදු ජාතික ඉංජිනේරුවරුන්ට මෙම පාලම තැනි කළුගල් කුට්ටි සහ සිමෙන්ති බදාම පමණක්ම යොදාගෙන ඉදිකරන්නට යෝජනා කර එය එසේ සිදුකර ඇත. නමුත් සත්‍ය කරුණ වන්නේ දෙමෝදර ආරුක්කු පාලම ඉදිකිරීම සඳහා කළුගල් කුට්ටි භාවිතා කර නොමැති බවය!
කුළුණුවල පාදම්
එනම් එය තනිකරම ඉදිකොට ඇත්තේ 3:2:1 අනුපාතයෙන් මිශ්‍ර කරගත් කොන්ක්‍රීට් කලින් සැකසූ අච්චුවලට වත්කර සකස් කරගත් කොන්ක්‍රීට් ගල් එකක් මත එකක් තබා සිමෙන්ති බදාම යොදාගෙන බැඳීමෙනි. එලෙසම තවත් ජනප්රවාදයේ කියවෙන මතයක් තමයි මෙම පාලම ඉදිකිරීම සඳහා එහි පාදම සකස් කිරීමට අප්පුහාමි බාසුන්නහේ විසින් කන්ද උඩ සිට මහා වේගයකින් ගල් පෙරලා එම නිම්නයට ගිලා බසින්නට සලස්සවූ බවයි. නමුත් ඇත්ත වශයෙන්ම මෙම පාලමේ කුළුණුවල පාදම් සකස්කොට ඇත්තේ පොලව මතුපිටින් අඩිගණනාවක් යටට කැණ, ස්ථර කිහිපයක් වන සේ කැපූ කබොක් ගල්කුට්ටි සහ මයිකා මිශ්‍රකොට සිමෙන්තියෙන් සකසාගත සවිමත් කොන්ක්‍රීට් මිශ්‍රණයක් භාවිතයෙනි. මෙය ඉදිකිරීම සඳහා යකඩ කම්බි ද යම්කිසි ප්‍රමාණයක් භාවිතා කර ඇති අතර ආරුක්කු සහිත කොටස් ඉදිකිරීමේදී මුක්කු ගැසීමට සහ කුළුණු ඉදිකිරීමේදී ගොඩනගන පලංචි ඉදිකිරීම සඳහා අවශ්‍ය තේක්ක දැව බුරුමයෙන් ආනයනය කොට ඇත.
අප්පුහාමි බාස් ගේ කතාව ප්‍රශ්න කරන්නේ ලහිරු කන්නංගර