සුරේන් ශ්‍රී ලන්කන් වෙතින් ඉවත් කළ හැකිද?

Suren-Ratwatteදිගින් දිගට පාඩු ලබන ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය කටයුතු කර තිබේ.

ඒ සමඟම ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳව හොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත් කරන බව ජනාධිපතිවරයා පවසයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන්න ද නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්‍යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.

ඡන්ද විමසීමක්

මේ අනුව ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (25) අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබේ. එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණි.

කෙසේ නමුත් වැඩබලන අධ්‍යක්ෂ මණ්ඩලයකට එවැනි තීරණයක් ගැනීමට බලය නැතැයි ද ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ආරංචි මාර්ග කියයි.

ගුවන් සේවා කර්මාන්තයේ වසර 30 කට අධික අත්දැකීම් සහිත කීර්තිමත් ගුවන් නියමුවකු වන රත්වත්තේ මහතා, බෝයිංග් B-777 සහ එයාර්බස් A-380 යනාදී ගුවන් යානා හැසිරවීමේ හසළ අත්දැකීම් ඇත්තෙකි. පියාසර පැය 18,000 ක ගුවන් ගමන් අත්දැකීම් ඔහු සතුවේ.

සුරේන් රත්වත්තේ මහතා අග්‍රාමාත්‍ය උපදේශක චරිත රත්වත්තේ මහතාගේ සහෝදරයා ය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු ඉහළ පෙ‍ළේ නිලධාරීන් සිව් දෙනෙක් රුපියල් මිලියන 3 ඉක්ම වූ මාසික වැටුපක් ලබමින් සිටිති.

ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුප් පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නියමුවන්ගේ සංසදය අවස්ථා ගණනාවකදී තොරතුරු දැන ගැනීමේ පනත යටතේ විමසා ඇතත් සමාගම තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කර තිබේ.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.