‘‘හතේ අපේ පොත’’ කුනුහරුප පොතක් නොවෙයි

මත භේදයට තුඩු දී ඇති ලිංගික අධ්‍යාපනය සම්බන්ධයෙන් කරුණු ඇතුළත් ‘‘හතේ අපේ පොත’’ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පසුගියදා (30) සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යාංශයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවක් පවත්මින් පැහැදිලි කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එක්ව දරුවන්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් විද්වතුන් විශේෂඥයන් සමඟ කාලයක සිට සාකච්ඡා කර අත්හදා බැලීම් සහිතව ළමයින් සඳහා මෙම පොත ඉදිරිපත් කර ඇති බවත් යම් ගැටළුවක් වෙතොත් නැවත විමසා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඒ මහතා එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර ඇත.

මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,

‘‘මේ පොත එකවර ඉදිරිපත් කළ එකක් නෙමෙයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ අධ්‍යාපන අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ විද්වතුන්, විශේෂඥයන් සමග කාලයක් තිස්සේ කතා කරලා අවසාන වශයෙන් ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය වෙනුවෙන් අත්පොතක් ලෙස අපි මේ පොත ඉදිරිපත් කළා.”

මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන්

හතේ අපේ පොත’ පාසල් දරුවන්ගෙන් ඉවත් කළ යුතුද? නැද්ද? යන්න මුල්කර ගනිමින් මේ දිනවල සමාජ සංවාදයක් සිදුවෙමින් පවතී. එම සංවාදය ආරම්භ වුණේ, මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියන් විසින් පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙන් විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ලද ප්‍රකාශයක් සමඟය. උන්වහන්සේ එම මාධ්‍ය හමුවේ දී කියා සිටියේ ‘හතේ අපේ පොත’ ළමා මනස දූෂණය කරන්නක් වන බවය.

වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ, පසුගිය රජය සමයේ සම්පාදනය කර ඇති ‘හතේ අපේ පොත’ කුඩා දරුවන්ට තබා වැඩිහිටියන්ට හෝ කියවිය නොහැකි තරමේ අසභ්‍ය වචන අඩංගු කෘතියක් වන බවත්, මෙය සාමාන්‍ය සිදුවීමක් නොව, රටේ දරු පරපුරට සංකර ගති පුරුදු කිරීම සඳහා ගෙන යන සංවිධානාත්මක වැඩ පිළිවෙලක් වන බවත් සඳහන් කළහ.

අලුත් පියාපත්

දරුවන්ට අත්‍යවශ්‍ය ලිංගික අධ්‍යාපනය ලබා දීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සම්පාදිත”හතේ අපේ පොත” පාසල් සිසුන් අතට පත් නොකොට යළි කැඳවීමට විරෝධය පළකිරීමට සහ යෞවනත්වයට පත් දරුවන්ට විධිමත් ලිංගික සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දීමේ වැදගත්කම අවධාරණය කරමින් අලුත් පියාපත් සංවිධානය මාධ්‍ය සාකච්ඡාවක් කැඳවීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.