හරිහමං වැසිකිලියකට නොයන ඉන්දියානුවන් මිලියන 569 ක්

හැන්දෑවේ කඩමන්ඩියට ඇවිදං යද්දි පොඩ්ඩක් ෆොන් එකේ ෆ්ලෑෂර් එක නිවලා බලං ඉද්දී, මිනිස්සු ලෝටා එකත් අරං බැද්දට යනවා පේනවා. ලෝටා යනු දිගැති කෝප්පයක් වැනි වූ භාජනයක් වන අතර එහි වන්නේ මලපහ කොට අවසන සෝදා ගැනීමට අවශ්‍ය ජලය ස්වල්පයකි. මූල්චාන්ද් නැමැති සමාජ ක්‍රියාකාරියා මේ පවසන්නේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ ගාධි කේජි නැමැති ගම්මානයේ ප්‍රධාන වීදියක් අසබඩ සෑම දිනකම සිදුවන සිද්ධියකි.

මූල්චාන්ද් එසේ ප්‍රසිද්ධියේ එලිපිට මලපහ කොට පරිසරය අපවිත්‍ර කිරිමට විරුද්ධ වූවෙකි. ඔහුට ඒ නිසාම ගම්මානයේ ජනයාගේ අප්‍රසාදයට ලක්වන්ට සිදුවී තිබේ. “ආණ්ඩුව මේ මිනිස්සුන්ට ලැට් හදාගන්න සල්ලිත් දුන්නා. ඒත් මිනිස්සු පුරුද්ද අත අරින්නේ නෑ කෝමවත්” මූල්චාන්ද් මාධ්‍ය වෙත එසේ අදහස් දක්වා තිබේ.

1. ජනගහනය සහ මලපහ ප්‍රශ්ණය
කුඩා ජන පිරිසක් බොහෝ වපසරියක දිවි ගෙවූ අතීත වටපිටාව තුල මලපහ කිරීමට බැද්දට යෑමේ එතරම්ම දරුණු උවදුරක් නොවීය. එහෙත් ජන ඝනත්වය වැඩි වී නාගරීකරණයද පැතිරී ගිය ඉන්දියාව වැනි රටකදී නිසි වැසිකිලි භාවිතයකින් තොර විශාල ජනකායක් විසීම මහත් ගැටළුවකි. ලංකාවෙන් ඉන්දියාවේ දඹදිව වන්දනාමාන කටයුතු පිණිස නික්මෙන වන්දනා කරුවන් පවා ඉන්දියානුවන් රේල් පාරේ මහමග කිසිම හිරිකිතක් නැතිව මලපහ කරන පිරිසක් බව හොඳින්ම දනී. ලොව එසේ වැසිකිලි රහිතව බර නිදහස් කරන ජනතාව මිලියන 950ක් වන අතර එයින් මිලියන 569ක්ම ඉන්දියානුවෝ වෙති.

” පන්සලට පෙර වැසිකිලි”

2. මෝඩිගේ මැදිහත් වීම
” පන්සලට පෙර වැසිකිලි” නම් වූ නරේන්ද්‍ර මෝඩිගේ මූලිකත්වයෙන් දියත් වන වැඩසටහන යටතේ 2019 යෙදෙන ගාන්ධි ගේ 150 වන උපන්දිනයට ප්‍රථම වැසිකිලි මිලියන 100ක් ඉදිකිරිමට නියමිතය. ඒ යටත් ඉන්දියාවේ නගර ගම් දනව් සිසාරා විවිධ අන්දමේ වැසිකිලි සහනාධාර ක්‍රම යටතේ වැසිකිලි ඉදිවී තිබේ. එහෙත් වැසිකිලි ඉදිකල නිවෙස්වල පවා ජනයා පුරුද්ද අතහැරීමට සූදානම් නැත. ඇතැමෙක් ගේ වැසිකිලි කුටිය කුඩා ගරාජයකි, තවත් තැනෙක එය එළු කොටුවකි. ගැමි ගෙදරක එය බඩු බාහිරාදිය දැමීමට කදිම අවකාශයකි. ආදී ලෙස වැසිකිලි කුටිය වෙනත් අවශ්‍යතා සදහා යොදාගෙන පෙර පරිදි කුඩා බාල්දිය රැගෙන පදුරු සොයන ඉන්දියානුවෝ බහුලය. එබැවින් වැසිකිලි තැනෙන සෑම නිවසකම ජනයා වැසිකිලිය යනවා යැයි ස්ථිරවම කිව නොහැකි බැවින් වැසිකිලි තැනීමම මෙම ගැටළුවකට විසදුමක් නොවේ.

3. ආකල්පීය ගැටළු
වැසිකිලිය වෙනුවෙන් සැදූ කුටිය රෙදි සේදීමට හෝ එලුවන් පිණීස යොදාගන්නා ඉන්දීය ගම්බද ගැහැණියකගෙන් ඒ මන්දැයි විමසූ කල..” අපිට මේ හොඳ බැද්දක් තියෙන්නේ? මොකට ඉතිං මේකස්සේ ම රෙන්නේ? ” යැයි උත්තරයක් ලැබුනොත් එය පුදුමයට කරුණක් නොවේ. ඉන්දීය ගම්බද ජනයා ට මලපහ කිරීම යනු නිවසින් මීටර් දෙතුන් සීයක් ඈතට ගොස් කරන කර්තව්‍යයක් ලෙස පරම්පරා ගාණක සිට සිතේ පැලපදියම් වී තිබේ. ඒ අනුව ඔවුන් වැසිකිලියක් නිම විය යුතුයැයි සිතන්නේ නිවසින් මීටර දෙසීයක් වත් ඈතින්ය. නිවස අසබඩ වැසිකිලිය තිබීම නිවෙස් අපවිත්‍ර වීමට හේතු වෙතැයි ඔවුන් විශ්වාස කරති. එහෙත් ඒ අමනෝඥ ආකල්පය නිසා කුඩා එලිපෙහෙලි තැනක් වේද එය තැනින් තැන මල් වැටුණු තැනක් මෙන් අපවිත්‍ර වූ මලෙන් විසිතුරු වී තිබේ.

4. කාන්තා ආරක්ෂාව
ඇතැම් පලාතක එසේ වතුර එක රැගෙන සුදුසු තැනක් සොයායන දුර සැතපුම් ගණනාවක් වෙයි. එසේ ගොස් කාන්තාවන් අඳුරේම නික්මෙන හෝ ගොස් එන අතරමග හෝ ඔවුන්ට අතවර වීම් ආදියද රැසක් වාර්තා වී තිබේ. අනෙක් අතට ඇඳුම ඉවත්කර ප්‍රසිද්ධ ස්ථානයක පහත්වීම කාන්තාවන්ට අවමනායක් යැයිද විවිධ දැන්වීම් මගින්ද ජනතාව වෙත ප්‍රසිද්ධ කරන ලදී. එහෙත් ඇතැම් ජනතාවට එය සිය දිවියේම අංගයකි. අඩු ආදායම් ලාභි කාන්තාවන්ට සිය සමාජ ආශ්‍රය පිණිස වන එක් අවස්ථාවක් ලෙසද පෙම්වතුන් පෙම්වතියන් මුණ ගැසීමට මෙම ගමන් යොදාගන්නා බවද සොයාගන තිබේ. ඒ අනුව කාන්තාවන්ට හිංසාවීමේ අවධානමක් සහිත වුවද ඒ පෙන්වා දුන්නද ඒ නැවැත්වීම තරමක් අපහසු වී තිබේ.

5. කුල ප්‍රශ්නය
සාමාන්‍ය සය දෙනෙකු වසන නිවසක වැසිකිලි වල ඝන මීටර 50ක වපසරිය වසර 10ක කාලයකට හොඳටම ප්‍රමාණවත්ය. එහෙත් උතුරු ඉන්දියාවේ ජනයා වැසිකිලි වල ඝනමීටර 1000ක් තරම් විශාලයට වැසිකිලි වල නිමවන්නේ තැනකදී එය ඔවුන් ජීවත් වන අවකාශයටත් වඩා විශාල වන සේය. වැසිකිලි වල මල අපද්‍රව්‍ය ඉවත්කිරීම දලිත් නැමැති අඩු කුලයේ ජනයාගේ වැඩක් ලෙස උතුරු ඉන්දියානුවෝ සිතති. එවැන්නෙකු නිවසට වැද්දාගැනිම මහත් අසුබ දෙයක් යැයි සැලකෙන අතර මේ යුගයේදී දලිත්වරුන්ද සිය පැරණි රැකියාව නැවත කිරීමට මැලිවෙනු ඇත. එබැවින් වැසිකිලි උතුරා යැතැයිද දලිත් කුලැතියෙකු ගෙන්වාගන්නටද වේ යැයිද බියෙන් මහා විසාල වලවල් කපා වැසිකිලි තැනීමට ඇතැම් ඉන්දීය ජනයා ක්‍රියාකරති. ඒ හරහා වැසිකිලි ඉදිකරීම යනු විශාල ධනයක් සහ ඉඩක් යෙදෙන කාර්යයක් වී තිබේ.

6. උතුර සහ දකුණ
උතුරු ඉන්දියාවට සාපේක්ෂව දකුණු ඉන්දියාවේ එසේ ප්‍රසිද්ධ මලපහ කිරීම් සැහෙන තරමකින් අඩු වී තිබේ. සමස්ථ ඉන්දියාව සැලකූ කල දකුණ වඩාත් වේගයෙන් සංවර්ධනය වී ඇති අතර දකුණු ඉන්දියාවේ ඒකපුද්ගල දල ආදායම උතුරේ මෙන් දෙගුණයකි. ඉන්දියාවේ පිරිසිදුම නගර අතරද දකුණු ඉන්දීය නගර ඉදිරියෙන් සිටී.

වැසිකිලි ගණනට වඩා මොබයිල් ෆෝන්

7. තාක්ෂණය ඉදිරියෙන් පැවැත්මෙන් පසුපසින්
ඉන්දියාවේ තිබෙන වැසිකිලි ගණනට වඩා මොබයිල් ෆෝන් ගණන වැඩිය. එනම් ස්මාට්ෆෝන් යුගයේදී එයද සාක්කුවේ බහාගෙන මල චාරිකාවේ යෙදෙන අය ඉන්දියාවේ සිටිති. ගංගා නම් ගඟ ලෝකයේ ඇති අපවිත්‍රම ගංගා අතර ප්‍රමුඛස්ථානයක් ගනී. හිමාල කඳුතීර වගාබිම් මතින් දිවයන බොලිවුඩ් තරුවලින් දිස් නොවුණද සැබැවින්ම ඉන්දියාවේ සංචාරය කරන අයෙකුට අඩුවශයෙන් දුම්රිය මගදීවත් මෙම අප්‍රසන්න දුර්ගන්ධය විඳීමට සිදු වේ.

බඩයෑම ආශ්‍රිත රෝග

ලෝක ජනගහනයෙන් මිලියන 1.4ක් ළමුන් අපවිත්‍ර ජලය සහ අයහපත් සනීපාරක්ෂක කටයුතු හේතුවෙන් මිය පරලොව යති. එය ඒඩ්ස්, සරම්ප සහ මැලේරියා වලින් මියයන මුළු ජනගහනයටත් වඩා වැඩි අගයකි. මිලියන 157ක ඉන්දී්‍ය නාගරික ජනයාගේ මල ද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොවන බවද අදාල අංශ විසින් සොයාගන තිබේ. ඉන්දියාවේ පමණක් අවරුදු 5ට අඩු දරුවන් 117,000ක් අකාලයෙ මියැදෙන්නේ බඩයෑම ආශ්‍රිත රෝග වලිනි. ඒසා විශාල දරුවන් ප්‍රමාණයක් ලෙඩවීම කෙරෙහි සනීපාරක්ෂාව ගැන වූ අවම අවධානය ප්‍රබල හේතුවකි. වියට්නාමයේ 1990 දී 39%ක ජනතාවක් විවෘතව මලපහ කර අතර එය 2015දී 0.7%ක් දක්වා අඩුකරගැනීමට වියට්නාමය සමත් විය. ඉන්දියාවේ 1990 දී 75%ක් ජනයා විවෘත ව ඒ කාර්යය කල අතර 2015දී 44%ක් දක්වා පමණක් අඩුකරගෙන තිබේ.ඒ 44%නුත් සැලකිය යුතු පිරිසක් වැසිකිලි තිබුණාට පරණ පරිදිම ඈතට ගොස් පහත්වීම සිදුකරනු ලැබේ.

උතුරු ඉන්දියාව ගැන ලාංකිකයින් බහුතරයට ඇත්තේ අපවිත්‍ර චිත්‍රයකි. එය සමස්ත ලෝකයටම එසේය. රටක් වශයෙන් අභ්‍යාවකාශ තාක්ෂණයෙන්, පරමාණුක තාක්ෂණයෙන් මෙන්ම පරිඝනක ක්ෂේත්‍ර වලින්ද ඉදිරියට පැමිණ ඇතිමුත් එහි ජනයාගේ දියුණුව සහ සනීපාරක්ෂාව තවමත් ඉන්දියාවට අභියෝගයකි.

-එච්.ඩී.ඩී. විශාකා-

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.