චන්ද්‍රකුමාර වික්‍රමරත්න යනු 88 89 භීෂණ සමයේදී තුවක්කු කරුවන්ගේ උණුසුම් උන් බවට උණ්ඩයට දිවි දුන් කවියෙකි. ඔහුට කියා බොහෝ දේ තිබෙන එහෙත් ඊට ඉඩක් නොවීය.
මේ රටේ බිහි වූ එකම නිර්ධන පාංතික කවියා‘කුමාර’ බව වරක් සුනිල් මාධව ලීවේ ය. එවකට වයස විසි ගණන්වල වූ චන්දරේ කවියෙකු වූයේ ඔහුගේ ජීවිතය සහ සටන්කාමී ප්‍රාර්ථනාවන් අන් අය සමග බෙදා ගැනීමට අවශ්‍ය වූ නිසා ය. විටෙක කම්කරුවෙකු ලෙස, විටෙක ඉටි මල් වාස් වෙළන්දෙකු ලෙස, මාළු වෙළෙන්දෙකු ලෙස, බස්වල විරිදු කියන්නෙකු ලෙස සහ ඒ මුලු කාලය පුරා අරගලයේ උණුසුම් සගයෙකු ලෙස, පැලුණු දෙපතුලෙන් ලේ ගලන පෑනක් අතැතිව ඔහු මේ පොළව මත ඇවිද ගියේය. ඔහුගේ කවි ගැන එදාට වඩා අදට කතා කළ යුතු දේ බොහෝය. ඒ ගැන සටහනක් තබන චූලානන්ද සමරනායක.
චන්ද්‍රකුමාර තිරව ඇදහූ දෙයක් තිබිණි. එය නම් පීඩිත පංතියේ විමුක්තිය යනු වාර්ගික වශයෙන් වෙන්ව ලබාගත හැක්කක් නොව පොදුවේ සිංහල, දෙමළ, මුස්ලිම් සියලු පීඩිතයන්ගේ සමගියෙන් දිනාගත යුත්තක් බවයි. වාර්ගික විමුක්තිය පතා කරනා සටන හුදු අදේශපාලනික වන්නක් මෙන් ම පීඩිත පංතියේ විමුක්තියට බාධාකාරී වන්නක් බවට ඔහු තුළ පැවැති විශ්වාසය ද, ඔහු තුළ පැවැති පංති දෘෂ්ටිය ද ”දකුණේ සිට” නමැති කවියෙන් මනාව ප්‍රකාශ වෙයි.
දකුණේ සිට
එකම අපායක අප හැම දැවෙන සඳ
වෙන ම අපායක ඉන්නට පතයි නුඹ
අපා දෙකක කිරුළට යුද වදින සඳ
කඳුළු කඳුළුමය කාගේ වුණත් මට
පැළී විවර වූ ළයකින් නගන හඬ
මගේ ළය පැළුණු විට නගනා හඬය මට
ඔබත් මමත් උන් තුන්පිලකම වුව ද
ඔබේ මරණයත් මගේ මරණය සේ ය මට