සිරිපා පියුමේ රොන්සුණු තැවරේ

රන්සළු සඳහා ලියන ලද්දේ මහගම සේකරයන්ය. වරක් ඇමෙරිකාවට ගුවනින් යද්දී ලද අත්දැකීමක චමත්කාරය ඇසුරෙන් බදුල්ලට යන අතරතුර දුම්රියේදීත් ඇල්ල තානායමේදීත් ඔහු ගීය රචනා කළේය.

සිරිපා පියුමේ – රොන්සුණු තැවරේ

ගිමන් නිවන පවන් හමා ඒ

නිවී පහන් වී ළය සැනහේ

නිවන් දොරට මඟ පානා

සමනොළ රන්කොත මුදුණේ

බැන්ද වියන් සේ

අරුණ වලා රන්සළු පැටලේ

හද කිමිදේ ලොව්තුරු සුවඳේ

කෙලෙස් මලින් මිදී සිත සුවපත් වී

පා වී යයි නිසංසලේ

මහ රහතුන් වැඩි මඟ ඔස්සේ

වලා අතුළ කඳු වැටි අතරේ

ඔහු ලියා අවසන් කළ ගීතයට

තනුව යෙදුණු ආකාරය පිළිබඳව

වෙසෙසින් සඳහන් කරන සේකර කරන විස්තරය

දක්ෂ නවක ගීත රචකයන්ට සහ

සුභාවිත තනු නිර්මාණය කරන

නවක සංගීතඥයන්ටට මනා ආදර්ශයකි.

” මීළඟට ගීතයට තනුව යෙදිය යුතුය.

ගීතය චිත්‍රපටයට නගන ස්ථානයටම ගොස්,

ඒ කාර්යය කළ යුතු බව

( කථා රචක පී. කේ. ඩී. )සෙනෙවිරත්නගේ

අදහස විය.

මෙය අඹේපුස්සට නුදුරු ගමක පිහිටි

ගල්කුළින් හා නිල් තුරුලියෙන් සැදි

උස් කඳු මුදුනකි.

සේනාසනයක පවත්නා වැනි

සාන්ත ස්වභාවයක් එහි විය.

එවැනි පරිසරයකදී

වඩාත් උසස් නිර්මාණයක් අප අතින් බිහිවෙතැයි

නිවැරදි ලෙසම සිතූ සෙනෙවිරත්න

අමරදේවයනුත් මාත් එහි කැඳවාගෙන ගියේය.

“එහි කඳු බෑවුමේ ගල්තලාවක

අපි දෙදෙනා තනිවීමු.

මම ගීතය ලියූ කරදාසිය

අමරදේවට දුනිමි.

ඔහු නිශ්ශබ්දව එය කියවන්නට විය.

ඔහු එය කියවා අවසන් කරන තුරු මමද,

ඉදිරියෙන් ඇති විශාල වෙල්යාය දෙසත්,

ඊට එපිටින් ඇති නිල්වන් කඳුවැටිය දෙසත්

නිහඬව බලා සිටියෙමි.

මද වේලාවකට පසුව,

අමරදේව සර්පිනාව වාදනය කරමින්

ගීතයට තනුව යෙදීමට පටන්ගත්තේය.

ඔහුගේ අදහස් අනුව ඇතැම් ගීත පාදයක

දිග අඩුවැඩි කිරීමට මම කැමති වීමි.

මගේ අදහස අනුව ඇතැම් ගීත පාදයක

තනුව වෙනස් කිරීමට ඔහුද කැමතිවීමය.

“ගීතයට තනුව යොදා අවසන් කොට

සර්පිනාව වාදනය කරමින්ම,

අමරදේව එය ගායනා කරන්නට විය.

එය ගීත රචකයා, සංගීතඥයා සහ

ගායකයා යන තිදෙනා ඒකාත්මික වන

දුර්ලභ අවස්ථාවක් විය.”

[ මහගම සේකරගේ ගීත – පෙරවදන ]

අපට ඇසෙන ගීය සේකරගේ ගීයක්

අමරදේව තනුව යොදා ගායනා කිරීමක් නොවේ.

ඔවුන් දෙදෙනාගේ සුසංයෝගයෙන් බිහිවූ

ඒකමිතික නිර්මාණයකි.

‘‘මහගම සේකර විසින් රචිත පහන් සිතිවිලි රැුගත් මේ ගීතය,

ස්වර ගැන්වීමේ දී ගීතයේ ප‍්‍රස්තුතාර්ථයට ගැළපෙන

සංගීතමය ආවේශයක් ලබන අටියෙන්

සිංහල බොදු හැඟුම් පුබුදුවන

නාද රූප සොයා ගිය ගමනේ ඵල විසින්,

සැහැල්ලු කරලා, සැහැල්ලු සිතින්, සැහැල්ලු ගතින්

සමනොළ නඟින බැතිමතුන් මුවින් ගිලිහෙන,

‘බුද්ධං සරණේ සිරස දරාගෙන’ යන

තුන්සරණේ නාද මාලාවන්ගේ ආභාසය

පරිපුර්ණ ගීයක් කරා විහිදුවාලීමි.

මෙපරිද්දෙන් මනෝභාව රඳවමින් ජන ආර ඔස්සේ ම

පරිසමාප්ත ගීතයක් නිර්මාණය කර ගැනිමේ මං සැලසිණි.”

(නාද සිත්තම් – අමරදේව 93-94 පිටු)

රචකයා, සංගීතඥයා සහ

ගායකයා තිදෙනාම සහභාගිවී

ගීතයක් නිර්මාණය කරන විට

ඔවුන්ගේ අදහස්, රුචි අරුචි,

හැඟීම් අනුව සංස්කරණය වෙන ගීතය

උස් තැන් කපා හැර, මිටි තැන් සම කර

එකිනෙකාගේ සම්මුතියෙන් කරන

සංගතික නිර්මාණයකි.

මේ නිර්මාණය ඔවුන් තිදෙනාටම ගැළපෙන

අපූර්ව ඇඳුමක් හෝ ආභරණයක් වැන්න.

එවැනි වෙසෙස් නිර්මාණයක් රසවිඳීමට හැකි

රසික පරාසය වඩාත් පුළුල්වෙයි.

එක් එක් නිර්මාණකරුවාගේ රසිකයන්ට

ගැටළුවක් විය හැකි තැන් කපා කොටා උරගා

වේලාසනින්ම මට සිලුටු කරගන්නට

එවන් නම්‍ය ශීලී නිර්මාණකරුවන් සමත්වීම

ඔවුන් එක්වී නිර්මාණකරණයෙහි යෙදීමෙහි

අනභිභවනීය ප්‍රතිඵලයයි.

“ස” ප්‍රසංගයට වශී වූ පාසල් සිසුවකු ලෙස

වික්ටර් රත්නායකයන් බැහැ දකින අටියෙන්

ඔහු එකල විසූ පාගොඩ දේවාල පාරේ නිවසට

පැමිණි එක් දිනයක මා ඔහු දුටුවේ

ප්‍රේමකීර්ති ද අල්විස් සහ සුනිල් ආරියරත්න සමග

නිවසේ වූ කුඩා සංගීත කාමරයට වී

නිර්මාණකරණයෙහි යෙදෙන අයුරුය.

ඒ නිර්මාණ වලට තනුව යොදන විට

ප්‍රේම් සුනිල් දෙදෙනාගේම ගී වලට

ඔවුන් දෙදෙනාගේම සංස්කරණ එක්වන්නට ඇතැයි

මම අනුමාන කරමි.

උතුරු සහ දකුණු ඉන්දියානු ගීත නිර්මාණයේදී

ගීත රචකයා පැමිණ සංගීතඥයාට සහය වීම

ඒ නිර්මාණවල රසයට, විශිෂ්ඨත්වයට, විවිධත්වයට

සහ කාලාන්තරයක් පැවැත්මට හේතු වෙයි.- ඩබ්ලිව් ඩී අමරදේව.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.