කොරෝනාව ඇමේසන් ආදිවාසීන් තුරන් කරාවි ද?

කොරෝනාවෛරසය හේතුවෙන් ඇමේසන් කලාපය (Amazon region ) ඇතුළු බ්‍රසීලයේ වෙනත් වනගත කලාපයන්හි ජීවත්වන ආදිවාසී ප්‍රජා සමූහ ලොවට අහිමිවීමේ අනතුරක් පවතින බව විශේෂඥයෝ පෙන්වා දෙති.

ඉන්ෆ්ලුවෙන්සාවෛරසය (influenza) නිසා ඇති වෙන ශ්වසන ආබාධ, එම ආදිවාසී කණ්ඩායම් අතරින් දැනටමත් වාර්තා වෙමින් ඇති මරණ වැඩි ගණනකට හේතුව වී ඇත.

අප්‍රේල් 05 වෙනිදා වන විට බ්‍රසීලයේ කොරෝනාවෛරසය ආසාදිත ජන සංඛ්‍යාව 11,000 කට අධික වූ අතර මරණ සංඛ්‍යාව 486 ක් විය.

කොවිඩ්-19 මුලින් ම පැතිර ගිය බ්‍රසීලියානු කලාපය වූයේ, සාඕ පවුලෝ (São Paulo) කාර්මික ප්‍රාන්තයයි. එහෙත් වෛරසය මේ වන විට රට පුරා ම පැතිර ගොස් ඇත.

වෛරසය මේ වන විට ඇමේසන් ගංගා නිම්නයේ ආදිවාසී ජනතාව ද ගොදුරු කර ගනිමින් ඇත. ඇමේසන් ගංගා නිම්නය යනු ප්‍රංශය සහ ස්පාඤ්ඤය යන රටවල් දෙක එකට එකතු කළ විට සෑදෙන භූමිය තරම් විශාල කලාපයකි.

පළමු ආසාදිත ආදිවාසියා හමුවී තිබෙන්නේ ඇමසෝනාස් (Amazonas) ප්‍රාන්තයෙනි. ජනාවාස අතරේ කොරෝනා වෛරස් ආසාදනය පැතිරෙයි. බ්‍රසීල ජනගහනයෙන් 0.5%ක් ආදිවාසීහු නියෝජනය කරති.

”මේක භයානක අනතුරක්. කොවිඩ්-19 ජීවිත විනාශ කරමින් ආදිවාසී ජනාවාස අතර පැතිරයමින් පවතිනවා,” සාඕ පවුලෝ ෆෙඩරල් සරසවියේ (Unifesp) ආචාර්ය සොෆියා මෙන්ඩොන්කා පවසන්නීය.

ආචාර්ය සොෆියා, සාඕ පවුලෝ ෆෙඩරල් සරසවිය මගින් ඇමේසන් වැහි වනාන්තරයේ, ෂින්ගු ( Xingu ) ගංගා නිම්නයේ ආදිවාසී ජනතාව අතර ක්‍රියාවට නංවනු ලබන සෞඛ්‍යය ව්‍යාපෘතියක සහකාර සංවිධායකවරියකි.

සරම්ප වැනි ස්පර්ශයෙන් බෝවෙන ශ්වසන ආබාධවලට හේතුවෙන වසංගත පැතිර යාම නිසා අතීතයේ ඇති වූ ආකාරයේ විනාශයක් මෙවර කොරෝනාවෛරසය නිසාත් ඇතිවේ දැයි ඇය බිය පළකරයි.

1960 දශකයේදී වෙනිසුලා දේශසීමාව අසල ජීවත්වන යනොමාමි (Yanomami) ප්‍රජාව අතර සරම්ප බෝවීමෙන් එය අසාදනය වූවන්ගෙන් 9%ක් මරණයට පත්ව ඇත.

කොරෝනා වෛරසය: මොකක් ද මේ? රෝග ලක්ෂණ මොනවා ද? වළක්වා ගන්නේ කෙසේ ද?

කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමේ උපදෙස්

කොරෝනා වෛරසය ගැන අප තවමත් නොදන්නා කරුණු මොනවා ද?

”මේක හරිම අවුලක්”

” කවුරුත් ලෙඩට ගොදුරු වෙමින් ඉන්නවා. ඒ එක්ක ම අපට වයසක ජනතාව – ඔවුන්ගේ දැනුම සහ සමාජ සංවිධානය අහිමි වෙනවා. මේක හරි ම අවුලක්” ආචාර්ය සොෆියා මෙන්ඩොන්කා කණස්සල්ල පළ කරන්නීය.

මුහුණ දීමට සිදුව ඇති අභියෝගය හමුවේ ඇතැම් ආදිවාසී ප්‍රජා සමූහ කුඩා කාණ්ඩ වශයෙන් වෙන්ව වනාන්තරයේ පිහිට පැතීමට සැලසුම් කරමින් සිටින බවත් ඇය පවසයි.

අතීතයේ තමන් ගොදුරු කර ගැනීමට පැමිණි වසංගත කාලවල එම ජනතාව අනුගමනය කර ඇත්තේ එවැනි උපාය මාර්ගයකි.

”ඔවුන් තමන්ට අවශ්‍ය ද්‍රව්‍ය සූදානම් කර ගන්නවා. දඩයමට සහ මාළු බෑමට අවශ්‍ය උපකරණ ආදිය. ඊළඟට වාඩි හදා ගන්නවා. වෛරසය පහව යන තෙක් ඒවගේ ජීවිතයකුයි ඔවුන් ගෙවන්නේ.”

කුඩා කණ්ඩායම

මුහුණ දීමට සිදුව ඇති අභියෝගය හමුවේ ඇතැම් ආදිවාසී ප්‍රජා සමූහ කුඩා කාණ්ඩ වශයෙන් වෙන්ව වනාන්තරයේ පිහිට පැතීමට සැලසුම් කරති

වෛරසය බෝවීමේ අනතුර අවම කර ගැනීම සඳහා සබන් යොදා අත් සෝදා ගැනීම හෝ අත් පිරිසිදු කෙරෙන වෙනත් සනීපාරක්ෂක රසායන වර්ග භාවිතය සම්බන්ධයෙන් බොහෝ ආදිවාසී ප්‍රජාවන් අතර පවතින්නේ අඩු අවබෝධයකි.

ඔවුහු ඉතා කුඩා වාසස්ථානවල එකට ම ජීවත්වෙති. පිඟන් කෝප්ප ආදිය පොදුවේ පාවිච්චි කරති. එම පුරුදු වෛරසය ඉතා ඉක්මනින් පැතිර යාමට හේතුවෙයි.

එහෙත් එල්ල වී පවතින අනතුර හමුවේ, කෑම බඳුන්, පිඟන් කෝප්ප ආදිය පොදුවේ පාවිච්චි කිරීම නතර කරන ලෙස මෙන් ම, සාම්ප්‍රදායික මට්ටමින් ඔවුන් අතර පැවති වෙන්ව ජීවත්වීමේ පුරුදු අනුගමනය කරන මෙන් දැන් එම ජනතාවට උපදෙස් දීමක් සිදු කෙරෙයි.

මේ ආදිවාසී ප්‍රජා සමූහ ජීවත්වන්නේ යහපත් සෞඛ්‍යය පහසුකම් නොමැති ස්ථානවලය. අධිසත්කාර පහසුකම් නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.