නීතිය උල්ලංඝනය කරන මහල් නිවාස ඉදිකිරීම්

story bulding

කෝට්ටේ-ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ නිවාස සංකීර්ණ ඉඳිකිරීම් 37 ක් පරීක්ෂා කරමින් නාගරික සංවර්ධන අධිකාරිය විසින් ප්‍රාදේශීය දේශපාලඥයෙකුගේ ඉල්ලීම මත 2017 දී සම්පාදනය කරන ලද විගණන වාර්තාවක්

පරික්ෂා කිරීමේදී , සංවර්ධන සංවර්ධන සැලැස්මේ නිශ්චිතව දක්වා ඇති සැලසුම් හා ගොඩනැගිලි රෙගුලාසි වලට අනුකූලව ක්‍රියාත්මක වන්නේ ව්‍යාපෘති හතරක් පමණක් බව පියුමි ෆොන්සේකා මාධ්‍යවේදිනිය පවසයි

ඉතිරි ව්‍යාපෘතිවලින් දොලහකට බලපත්‍ර ලැබී ඇති නමුත් එම ව්‍යාපෘතිවල විශාල ප්‍රශ්න ඇත. ව්‍යාපෘති පහළොවක් වලංගු බලපත්‍ර සහිතව ඉදිකිරීම් ලබා ඇත්තේ මධ්‍යම පරිසර අධිකාරිය සහ රථවාහන සැලසුම් කමිටුව වැනි අදාළ ආයතනවල අවසරයකින් තොරවය.

මෙම විගණන වාර්තාවෙන් නීති උල්ලංඝනය කර ඇති ව්‍යාපෘති පිළිබඳව හෙළි වූවත්, නාගරික සංවර්ධන අධිකාරිය සහ කෝට්ටේ මහ නගර සභාව විසින් වරදකාර සංවර්ධකයින්ට දඬුවම් පැනවීමට සහ බලපැවැත්වෙන නීති තවත් විධිමත් කිරීම සඳහා බලපෑම් කිරීමට හෝ මෙම වාර්තාව සම්බන්ධයෙන් කිසිදු පසු විපරමක් කර නොමැත.

ඉඳිකිරීම් හරියාකාරව සමාලෝචනය කිරීමට කිසිදු අධිකාරියක් නොමැති අතර, එහි ප්‍රතිඵලය වනුයේ ප්‍රධාන වශයෙන් දෙහිවල-ගල්කිස්ස සහ කෝට්ටේ-ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයන්හි බිම්මල් වැනි මහල් නිවාස ඉඳි වීමය. මෑතකදී සිදු වූ ප්‍රශ්න සහගත අවස්ථා කිහිපයක් දෙස බලමු.

රාජගිරිය

ඉන්දියානු සුඛෝපභෝගී මහල් නිවාස ව්‍යාපෘතියකට එරෙහිව රාජගිරියේ බුත්ගමුව පාරේ පදිංචිව සිටින ප්‍රදේශවාසීන් පිරිසක් හඬ නඟති. සැලසුම් අනුමත කිරීම් ක්‍රියාවලියෙහි ප්‍රශ්න කිහිපයක් ඇති බව ඔවුන් පැවසූ ඉදිකිරීම් භූමිය ඔවුන්ගේ ආරක්ෂාවට හා සුභසාධනයට දැඩි තර්ජනයක් වී ඇති බව ප්‍රදේශවාසීන්ගේ මතයයි. සංවර්ධනය සඳහා ඔවුන් ගෙවිය යුතු ‘මිල’ මෙය දැයි ඔවුහු බලධාරීන්ගෙන් අසා සිටිති.

ප්‍රදේශවාසීන් විසින් තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත අනුව ගොනු කරන ලද තොරතුරු ඉල්ලුම් පත්‍රය අනුව ඉඳිවෙමින් පවතින සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයට ප්‍රවේශය ලබා දීම සඳහා පෞද්ගලික මාර්ගයක් පොදු මාර්ගයක් බවට පරිවර්තනය කර ඇති බව සොයා ගන්නා ලදී.

ඉඳිකිරීම් කටයුතු හේතුවෙන් ඔවුන් මහත් සේ හිරිහැරයට පත් ව ඇති බවට ද ඔවුහු චෝදනා කළහ. නීතිවිරෝධී ලෙස වගුරු බිමක් පුරවා ගැනීම සහ ව්‍යාපෘතියේ ප්‍රධාන පිවිසුම් මාර්ගය ලෙස අනවසර ලෙස පාලමක් ඉඳිකිරීම ඇතුළු ඉඳිකිරීම් භූමිය පිළිබඳව තවත් කරුණු ගණනාවක් අනාවරණය වී තිබිණ.

පීඩාවට පත් ප්‍රදේශවාසියෙකු වන විශ්‍රාමික කර්නල් විකුම් සිරිවර්ධන මහතා පැවසුවේ, “නීතියට අනුකූලව හා නිවැසියන්ට බාධාවක් නොවන අයුරින් සංවර්ධනය සිදු කරන්න කියලයි අපි ඉල්ලා ඉන්නේ. මෙම නීති විරෝධී ක්‍රියාවන් නතර කරලා සැලසුම් සහගතව සංවර්ධන කටයුතු සිදුකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටින්න කැමතියි.”

ගල්කිස්ස

ලිලියන් මාවත, මවුන්ට් මාවත, සයිමන් අබේවික්‍රම මාවත, සහ හෝටල් පාර ඇතුළු ගල්කිස්ස ප්‍රදේශයෙහි බොහෝ වෙරළබඩ මාර්ගවල පදිංචිකරුවන් පැවසුවේ ඔවුන්ගේ නිවෙස් අසල ඇති මහල් නිවාස නිසා ඔවුන්ට ගැටලු ඇති වී තිබෙන බවයි. ජල සැපයුම නොමැතිකම, ස්වාභාවික හිරු එළිය, වාතාශ්‍රය, ශබ්ද දූෂණය, කසළ එකතු කිරීමේ ගැටළු, ජලාපවහන පද්ධති නඩත්තු නොකිරීම, ඩෙංගු උවදුර පැතිරීම සහ රථවාහන තදබදය ඔවුන්ගේ ගැටළු අතර වේ. අසල්වැසි ප්‍රජාවන්ගේ ජීවිත විනාශ කරන මෙවැනි ඉඳිකිරීම් සඳහා යූඩීඒ අනුමැතිය ලබා දුන්නේ කෙසේදැයි ඔවුහු ප්‍රශ්න කරති.

සයිමන් අබේවික්‍රම මාවතේ පදිංචිකරුවෙකු වන තිලක් ද අල්විස් පැවසුවේ, “මේ මාර්ග, විශේෂයෙන් අබේවික්‍රම මාවත, හෝටල් පාර සහ යාබද මාර්ග අඩි 15 ට අඩු අතුරු මාර්ග ළග පිහිටල තියෙන ශාන්ත තෝමස්, බාලිකා උසස් පාසල සහ බෞද්ධ කාන්තා විද්‍යාලය යන පාසල් තුන එක්ක අපට මුහුණ දෙන්න වෙලා තියෙන වාහන තදබදය දැන් නරක අතට හැරී තියෙනවා. හදිසි අවස්ථාවකදී ගිලන් රථයකට ගමනාන්තයට ළඟා විය නොහැකි තත්ත්වයක් තමයි තියෙන්නේ.”

“ගින්නක් ඇති වුවහොත් ගිනි නිවන හමුදාවට ළඟා වෙන්න අමාරුයි. පර්චස් 35 ත් 40 ත් අතර ඉඩමක් ඇති ගොඩනැගිල්ලක් තියෙනව නම්, ගිනි නිවන රථයක් ලඟා වෙලා එම රථය එහා මෙහා සංචලනය කිරීමට ගොඩක් අපහසුයි. එවැනි අවස්ථාවක අපිට ලොකු අනතුරක් තියෙනවා,” තිලක් පැවසීය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ ගිනි නිවීමේ රෙගුලාසි වඩා දියුණු ගිනි වැළැක්වීමේ ක්‍රමවේදයන් ඇතුලත් කොට සංශෝධනය කරන ලදී. කෙසේ වෙතත්, ගිනි ආරක්ෂණ පිළිබඳ විශේෂඥයින්ගේ මතය වන්නේ නව රෙගුලාසි සමඟ වුවද, පවත්නා ගොඩනැගිලිවල ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම දුෂ්කර බවත් බොහෝ දුරට ප්‍රයෝගික නොවන බවත්ය.

ගල්කිස්සෙහි තවත් පදිංචිකරුවෙකු වන අමල් විජයමුනි කියා සිටියේ උස් ගොඩනැගිලි නියාමනය කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු යූඩීඒ, පොලීසිය සහ තවත් රජයේ බලධාරීන්ට ඔවුන් බොහෝ වාරයක් පැමිණිලි කර ඇති නමුත් කිසිවක් සිදුවී නොමැති බවයි. “සංවර්ධනය යනු ගොඩනැගීම පමණක් නොවේ. සෑම නගරයකටම සැලැස්මක් තිබිය යුතුය. කරුණාකර ශ්‍රී ලංකාව තවත් බංග්ලාදේශයේ ඩකා නගරයක් කරන්න එපා. සංවර්ධනය සැලසුම් කර නිසි ලෙස කරන්න,” එය ඔහුගේ ඉල්ලීම විය.

ඉඳි කරන්නන් විසින් මාර්ග අනවසරයෙන් අල්ලා ගැනීම සහ ඉඳි කර ඇති මහල් නිවාස වල ගිනි ආරක්ෂණ මාර්ග නොගැලපීම වැනි පැහැදිලි අඩුපාඩු හඳුනා ගැනීම ගල්කිස්ස, දෙහිවල සහ වැල්ලවත්ත ප්‍රදේශවල ඉතා පහසුය. බොහෝ ගොඩනැගිලිවල නිසි ධාවන පථ ප්‍රවේශ පවා නොමැත.

යාන්ත්‍රණයේ ප්‍රධාන අඩුලුහුඩුකම්

සැලසුම් සහ ගොඩනැගිලි රෙගුලාසි වල අවම භූමි ප්‍රමාණය, උපරිම මහල් ගණන, අවම මාර්ග පළල, බිම් කැබලි වල පළල සහ බිම් ආවරණ අනුපාතය යනාදි ගොඩනැගිලි පිරිවිතර කිහිපයක් අඩංගු වේ. මූලික බලපත්‍රය නිකුත් කිරීම, ඉඳි කිරීම් සඳහා සැලසුම් අනුමත කිරීම නාගරික සංවර්ධන අධිකාරිය මෙහෙයවනු ලබන අතර ඉහත පිරිවිතරයන්ට පහළින් ඇති ඉඳිකිරීම් මහ නගර සභා විසින් මෙහෙයවනු ලැබේ.

බිම්මල් වැනි නිවාස ඉඳි කිරීමෙන් පීඩාවට පත්ව සිටින බස්නාහිර පළාතේ විවිධ ප්රදේශවල පදිංචිකරුවන්ගේ සියලු නඩු සහ පැමිණිලි අධ්‍යයනය කරන විට, බොහෝ අවස්ථාවන්හිදී පහත කරුණු ඉස්මතු විය.

නාගරික සංවර්ධන අධිකාරිය සහ නගර සභා වැනි පළාත් පාලන ආයතන නීති හා රෙගුලාසිවලට අනුකූල නොවීම මධ්‍යම පරිසර අධිකාරිය සිය කාර්යය ඉටු නොකරයි.

නාගරික සංවර්ධන අධිකාරියේ නීති නිලධාරියෙකු සංවර්ධකයින්ගේ පැත්ත ගෙන නිවැසියන්ට දොස් පවරමින් ඉහළ මට්ටමේ ඉඳිකිරීම්වලට විරුද්ධ වීමෙන් කිසිදු පාපයක් නොකළ යුතු බව පැවසීය.

නාගරික සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ජගත් මුනසිංහ මහතා මහල් නිවාස සංවර්ධකයෙකුගේ උපදේශක ගෘහ නිර්මාණ ශිල්පියා ලෙස කටයුතු කර ඇති බවට චෝදනා

රාජ්‍ය නිලධාරීන්ට සංවර්ධකයින් විසින් අල්ලස් ලබා දෙන බවට සාමාන්‍ය ජනතාව විසින් චෝදනා කරන ලදී

මේ අතර, මරදානේ කුඩා පරිමාණ දේපල සංවර්ධකයෙකු ‘අයි’ සමඟ සම්මුඛ සාකච්ඡාවක් පැවත්වා ඔහුගේ ඉඳි කිරීම් ව්‍යාපෘති සඳහා අනුමැතිය ලබා ගැනීමේදී පළාත් පාලන නිලධාරීන් සමඟ කටයුතු කිරීමේ අත්දැකීම් බෙදා ගත්තේය.

“ඉදිකිරීම් ව්‍යාපෘතියේ හිමිකරු විදියට මහ නගර සභාව විසින් නියම කර ඇති සියලුම නිර්ණායකවලට අනුව මගේ ව්‍යාපෘතිය තිබ්බා. අපි අනුකූලතා සහතිකය සඳහා ඉල්ලුම් කරාම ඒ නිලධාරීන් කිව්වා අපි වීදි මාර්ග රෙගුලාසි උල්ලංඝනය කරල කියල. අපිට ගෙවන්න ණයක් තිබුණා. අප සතුව තිබ්බ සියල්ල අපි ආයෝජනය කරලයි තිබ්බෙ. COC එක අපට ලබා නොදුන් නිසා අපිට නියමිත වේලාවට කුලියට ගැනීමට බැරි උනා. අවසාන වශයෙන් මේකට සම්බන්ධ වූ නිලධාරීන්ගේ ඉල්ලීම අනුව අපි ඔවුන්ට රු. 150,000 ක් ගෙව්වා. අපි මුදල් ගෙව්වයින් පස්සේ කලින් කියපු නීති කඩවීම් මුකුත් තිබුණේ නැහැ. හැම දෙයක්ම හරිගියා. අපිට COC ලැබුණා. මෙය මගේ එක් අත්දැකීමක් විතරයි. නීති විරෝධී කියන ඕනෑම දෙයක්, සල්ලි ටිකක් විසි කරාම නීතියානුකූල වෙනවා. ඒක තමයි මේ රටේ කතාව,” ඔහු පැවසීය.

ගැටළු උසාවියට ගෙන යාම

කොළඹ ලෙයාඩ්ස් පාර, අත්තපත්තු මාවත සහ කොළඹ ලොංඩන් පෙදෙස යන ප්‍රදේශවල පදිංචිකරුවන් ද තම අසල්වැසි නිවාස ඉඳිකිරීම හේතුවෙන් දැඩි ගැටලුවලට මුහුණ දී තිබේ. ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් හි සහාය ඇතිව 2019 මාර්තු 43 වන දින අභියාචනාධිකරණ අංක 43/2019 හි නඩුවක් ප්‍රදේශවාසීන් විසින් ගොනු කරන ලදී. ඉදිකිරීම්වලට අදාළ නීති ක්‍රියාත්මක කිරීමට, නීති විරෝධී ඉඳිකිරීමවලට එරෙහිව පියවර ගැනීමට, විමර්ශනය කිරීමට අදාළ බලධාරීන්ට උපදෙස් දීමට ප්‍රදේශවාසීන් උසාවියෙන් නියෝග ඉල්ලා සිටිති. .

ගොඩනැගිලි කේතයක අවශ්‍යතාවය

අවාසනාවකට මෙන්, ඉඳිකිරීම් අවධියේදී සහ ගොඩනැගිල්ලේ ආයු කාලය තුළ සපුරාලිය යුතු සැඟවුණු ව්‍යූහාත්මක දෝෂ, භාවිත සීමාවන් සහ නියාමන අනුකූලතා අවශ්‍යතා පිළිබඳව නිවැසියන්ට බොහෝ විට ඇත්තේ සීමිත දැනුමකි. පාරිභෝගික සෞඛ්‍යය හා ආරක්ෂාව සහතික කිරීම, ආයෝජනයෙන් සාධාරණ ප්‍රතිලාභයක් ලබා ගැනීම සහ ගොඩනැගිලි ක්‍රියාකාරී ත්වය, තිරසාරභාවය සහ සුවපහසුව සඳහා මෙම දැනුම වැදගත් බව වරලත් වෘත්තීය ඉංජිනේරුවරයෙකු වන ජනක සෙනෙවිරත්න මහතා පැවසීය.

සියළුම ගොඩනැගිලි, ඒවායේ සැලසුම් සහ ඉඳිකිරීම් ආවරණය වන පරිදි ගොඩනැගිලි පනතක් හෝ රෙගුලාසියක් නොමැත.

පරිමාණ හා භාවිතයේ ගොඩනැගිලි මත පදනම්ව ඒකාබද්ධ ගොඩනැගිලි වර්ගීකරණ පද්ධතියක් නොමැත.

සැලසුම් ප්‍රමිතීන් හෝ ද්‍රව්‍යයමය ගුණාත්මකභාවය සඳහා ප්‍රමිතියක් නියම කිරීමට ගොඩනැගිලි අනුකූලතා කේතයක් නොමැත.

සංවර්ධකයින් විසින් දැනටමත් අනුමත කර ඇති සංවර්ධනයන් සඳහා පවත්නා රෙගුලාසි අනුගමනය කර ඇත්දැයි විගණනය කිරීමට පරිපාලන පද්ධතියක් නොමැත.

නිලධාරීන්ගේ හා දේශපාලනඥයන්ගේ දූෂිත ක්‍රියාවන් අවම කිරීම සඳහා විනිවිද පෙනෙන අනුමත කිරීමේ ක්‍රියාවලියක් නොමැත.

ශ්‍රී ලංකාවට ඇත්තේ ඉතා දුර්වල නියාමන හා අනුකූලතා යාන්ත්‍රණයක් බව ඔහු විශ්වාස කරයි. බලධාරීන් ලෙස සේවය කරන බොහෝ වෘත්තිකයන් පූර්ණ පුහුණුවක් හෝ තාක්ෂණික නිපුණතාවයක් නොමැති හෙයින් සමස්ථ හා ප්‍රායෝගික සංවර්ධන අනුමත කිරීමේ ක්‍රියාවලියක් හැසිරවීමට ප්‍රමාණවත් නොවන බැවින් නියාමක බලධාරීන් ඔවුන්ගේ අභිමතයන් අනුව වැඩ කටයුතු මෙහෙයවනු ලැබේ. ගොඩනැගිලි අනුකූලතා අංශ පිළිබඳව නිසි අවබෝධයක් බලයලත් නිලධාරීන්ට නොමැති බව සෙනෙවිරත්න මහතා පැහැදිලි කළේය.

“බොහෝ උපදේශන ඉංජිනේරුවන් කිසිදු තාක්ෂණික ආදානයක් හෝ සංවර්ධන ක්‍රියාවලියක් පාලනය කිරීමකින් තොරව හුදෙක් ලේඛන එකතු කරන්නන් හා සම්බන්ධීකාරකයන් බවට පත්වීම රටේ අවාසනාවකි,” ඔහු පැවසීය.

ඔහු මේ සම්බන්ධයෙන් රජයේ යුතුකම පිළිබඳව ද හෙළි කළේය. “ඒකාබද්ධ ගොඩනැගිලි නියාමන පනතක් සහ ජාතික ගොඩනැගිලි නීති සංග්‍රහයක් නොමැතිවීම හේතුවෙන් අපට හොඳ රාජ්‍ය අංශයේ සැලසුම් සහතික කිරීමේ පද්ධතියක් නැහැ . අපි ක්‍රියා කරන්නේ ව්‍යසනයකින් පසුව පමණයි. ”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.