මතකය ඉතිරිකොට ගිය දයා

පසුගිය ඉරිදා  මාලබේ තලාහේනේ  සුසාන භූමියෙන්  අවසන් ගමන් ගිය දයාට සුභ ගමන් මිතුර යැයි කියා සමුගන්නට බොහෝදෙනා සිටින්නට ඇත.

එහෙත් දයා හොර රහසේම නික්ම ගොසිනි.  ගුවන් විදුලි සංස්ථාවේ කොරිඩෝව දිගේ තමන්ට ආවේණික වූ චින්තනය හිස දරා ගනිමින්  ඒවා නිර්මාණ බවට හරවමින්  එහා මෙහා ගිය සුන්දර මිනිසා අපෙන් නික්ම ගියේ ආදරණීය මතකයන් රැසක් ඉතිරි කරමින්ය.

මේ ඔහුගේ කලා දිවිය පිළිබඳ කෙරෙන කෙටි විමසුමකි.

1941 වසරේ නොවැම්බර් 29 වන දින උපත ලැබූ තෙන්නකෝන් මහතා මූලික අධ්‍යාපනය ලැබීමට මහනුවර ධර්මරාජ විදුහලට ඇතුළත් වූයේය. පසුකලෙක ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ ධර්මසේන පතිරාජ ඔහුගේ පාසලේ සමීප මිතුරකු වීය. පතිරාජ හෙවත් ‘පතී‘ සමග එක්ව කටයුතු කිරීමේ අත්දැකීම් පසුකලෙක දයාගේ දිවියට ආශිර්වාදයක් වූවාට සැක නැත.

තරුණ තෙන්නකෝන් උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට පිවිසියේය. පතිරාජ එහිදීද ඔහුගේ සගයා වීය.

දයාත් – පතීත් සරසවි සිසුන් ලෙස ඉගෙනුම් ලබමින් සිටියදී සුගතපාල සෙනරත් යාපා චිත්‍රපටයක් කිරීමට රචනා කළ පිටපතද අතැතිව විශ්වවිද්‍යාලයට පැමිණියේය. විශ්වවිද්‍යාල ජීවිතය හා තිර පිටපත ගැළපේද යන්න බැලීමට ඔහු එසේ පැමිණ සිටියේය.

ඔහු තවත් පිරිසක් ද සමඟ මේ ගැන සාකච්ඡා කරමින් පිටපත අලුතින් ලියූ අතර, මේ සෑම සාකච්ඡාවකටම පාහේ දයා තෙන්නකෝන්ටද සහභාගී වීමට අවස්ථාව ලැබිණි. ඒ අනුව, සුගතපාල සෙනරත් යාපාගේ ‘හන්තානේ කතාව’ සිනමාපටයට රංගනයෙන් දායක වන්නට ඔහුට අවස්ථාව සැලැසිනි. එයද නාථ නමැති සරසවි සිසුවකුගේ භූමිකාවකටය. එය ඔහුගේ පළමු සිනමා පිවිසිම වීය.

දයාගේ මෙන්ම ශ්‍රී ලාංකේය සිනමාවේ සිහින කුමාරයා වූ විජය කුමාරතුංගගේත් පළමු චිත්‍රපටය ‘හන්තානේ කතාව‘ම විය‍

කෙසේවුවත් සරසවියෙන් පිටවී රැකියාවක් සොයමින් සිටි අවධියේදී ගුවන් විදුලි සංස්ථාවේ රැකියා සඳහා පළ කළ ඇබෑර්තු වෙනුවෙන් ඔහු ඉල්ලුම් කළේය. ගුවන් විදුලි නිවේදකයකු වීමටද ඔහුගේ ආශාවක් විය. ආශාව ඉටුකරමින් ඔහුට රැකියාව ලැබිණි. එවකට ලංකාවේ එකම විද්යුත් මාධ්‍ය ආයතනය වශයෙන් පැවති ගුවන් විදුලි සංස්ථාවෙන් කළ ප්‍රචාරක කටයුතු සඳහාද කලා කටයුතු සඳහා ද දයා තෙන්නකෝන් දායකවූයේය.

මේ අතරේදී බන්දුල ජයවර්ධන මහතාගේ ‘බෝසතාණන්’ නාට්‍යයෙන් වේදිකාවට අවතීර්ණ වන දයා තෙන්නකෝන් පසුව නාමෙල් වීරමුණිගේ ‘නැට්ටුක්කාරි’, සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’ වැනි නිර්මාණවලටද රංගනයෙන් එක් වූයේය.  සුගතපාල ද සිල්වාගේ ම ‘දුන්න දුනුගමුවේ’, ‘සත සහ සත’, ධර්මසේන පතිරාජගේ ‘කොරා සහ අන්ධයා’ වැනි වේදිකා නාට්‍ය ගණනාවකට ද දායක වීමට ඔහුට අවස්ථාව හිමිවිය. එවකට මෙම නාට්‍යය සම්බන්ධයෙන් වැඩි කතාබහක් සිදුනොවුණද පසුකලෙක එය ඉටුවිණි.

විමල් කුමාර ද කොස්තා දයා තෙන්නකෝන් මහතාගේ සගයා වීය. ‘කොරා සහ අන්ධයා’ නාට්‍යයේ ප්‍රධාන භූමිකා දෙකට පණ දුන්නෝ ඔවුහු දෙදෙනා වෙති‍ෙ

වේදිකාවේදී ඔහු පෑ ප්‍රතිභාව හඳුනාගත් සිනමා අධ්‍යක්ෂකවරු ඔහු සමඟ කටයුතු කිරීමට කැමැත්ත පළ කළහ. ඒ අනුව, ‘අහස් ගව්ව’, ‘එයා දැන් ලොකු ළමයෙක්’, ‘සෙයිලම’, ‘බඹරු ඇවිත්’, ‘කරුමක්කාරයෝ’, ‘කිණිහිරියා මල්’, ‘සක්මන් මලුව’, ‘සොල්දාදු උන්නැහේ’ ඇතුළු සම්මානනීය සිනමාපට රැසකට ඔහු රංගනයෙන් දායක වූයේය

මාලනී ෆොන්සේකා සමඟ බහුලව රංගනයෙන් දායක වී ඇති හෙතෙම එවකට කැපී පෙනුනු රංගන ශිල්පීන් වූ ඩබ්ලිව්. ජයසිරි, අමරසිරි කලංසූරිය, ජෝ අබේවික්‍රම, විජය කුමාරතුංග වැනි අය හා සමීපව ඇසුරු කළේය. යහපත් සහ සුන්දර මිනිසකු වූ තෙන්නකෝන් මහතා සමාජ දේශපාලන සංස්ථා සහ කලා ක්ෂේත්‍රය පිළිබඳව ද වෙනස්ම ආකාරයේ මත දරන දැනුමැති අයෙකු විය.

වේදිකාව, සිනමාව පමණක් නොව ටෙලිනාට්‍යයට රංගනයෙන් දායක් වූ දයා තෙන්නකෝන් මහතා ‘තට්ටුගෙවල්’ ටෙලි නාට්‍යයෙන් ප්‍රේක්ෂක ආකර්ශනය දිනාගත්තේය. ‘කඩුල්ල’ ඔහු දායක වූ තවත් ප්‍රමුඛ පෙළේ ටෙලි නාට්‍යයකි.

‘සක්මන් මළුව’ චිත්‍රපටයේ රංගනය උදෙසා දයා තෙන්නකෝන් මහතා සරසවිය සම්මාන උලළේ කුසලතා සම්මානයකින්ද පිදුම් ලැබූ අතර මීට අමතරව විවිධ සම්මාන හිමිවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.