ශක්‍රයා සහ පියදාස

පියදාස වාඩිවී හුන්නේ හෝටලයේ දොරටුවට එක එල්ලේ තබා තිබුණු මේසයක් අසලය. ගාලු පාරේ යන එන වාහනවල ඝෝෂාවත් හෝටලය තුළින් නැඟෙන ඝෝෂාවත් තමා ගේ දෙ කන් සිදුරු අතරින් රිංගා ගොස් මොළය සිදුරු කරති යි පියදාස සිතුවේය. මේසය මත ඉහිරී ඇති අල හොදි හා පාන් කැබැලි මත මඳක් වේලා වසා සිටිනා මැස්සෝ යළි ඉඟිල යති. “ඉස්සරහ පහායි, පස්ස දෙකායි…” වේටරයා ගිරිය පුප්පා කෑ ගෑවේය. පියදාසට ඒ අණ්ඩරදෙමළය හොඳින් නො තේරෙයි… ඒ වේටරයන් ගණන් කියන පිළිවෙළ ය… ඕඩර් කළ ප්ලේන්ටිය ලැබෙන තෙක් පියදාස බලා සිටියේ ය. දොරටුවෙන් ඇතුළු වූ උස, තේජවන්ත පෙනුමක් ඇති මිනිසෙක් පියදාස හුන් මේසය කරා පැමිණියේ ය. මුලින් පියදාස සිතුවේ ඒ සුද්දෙක් කියා ය.

“මං මෙතන වාඩි වෙන්න ද?” යි මිනිසා ඇසුවේ ය.

“ කොහේ වාඩි වුණා ම මට මොකද? මේක මගේ හෝටලයක්යැ” පියදාස සිතුවේ ය. ඒත් “මහත්තය වාඩි වෙන්න…” පියදාස කීවේ ය. “මේ මිනිහා මෙතෙන්ට ම ඇවිත් වාඩි වුණේ තවත් හිස් මේස නැති ව වගෙයි. මගේ කරුමෙ! තනියම වාඩි වෙලා ප්ලේන්ටිය වත් බොන්න බැරි වෙයි.” පියදාස ගේ සිත නොසන්සුන් විය. පියදාස ගමේ සිටියදී පවා අසල්වැසියන් සමඟ වැඩි කතා බහකට නොගියේය. වියළි කලාපයේ ඈත ගම්මානයක ගොවිතැන් බත් කොට ජීවිකාව සරි කර ගත් පියදාස එයින් ම බංකොලොත් වූයේ ය. පෝරවලටත් කෘමිනාශකවලටත් ගත් ණය පියවා ගැනීමට හැකි වන පරිද්දෙන් එක් කන්නයකින් වත් හරිහමං ලාබයක් නොලැබුණු තැන පියදාස කුඹුරු කෑල්ල විකුණා දැමුවේ ය. “විසිපන් දාහක් තියෙනවා නම් පියදාස මිඩ්ලඊස්ට් යවන්නං ලේබරර් කෙනෙක් හැටියට” යි කඩ පිළේ දී හමු වූ මද්දුම මහත්තයා පියදාසට කීවේ ය. ඒ යෝජනාව පියදාස ගේ සිත් ඇද ගත්තේ ය. “මේ මුස්පෙන්තු පළාතෙන් චුත වෙලා වෙන රටකට ගියොත් කීයක් හරි හොයාගෙන ඇවිත්, ණය ටිකත් බේරලා දමලා, ගෙයක් දොරක් වත් හදා ගන්න පුළුවන් වෙයි.” පියදාසගේ පාස්පෝට් ඉල්ලුම් පත පුරවා දුන්නේ ද මද්දුම මහත්තයා ය. ඔහු හා සමඟ කොළඹ පැමිණි පියදාස මරදානේ රැකියා ඒජන්සියට සල්ලි බැන්දේ ය. මද්දුම මහත්තයා සමඟ කුලුපගව කථා කළ මුස්ලිම් ජාතිකයා ඔහු කැටුව ඇතුළු කාමරයකට ගියේ ය. පියදාස වීදුරු කාමරය තුළ වාඩි වී මේසය මත තබා තිබුණු අහස් යානයේ කුඩා අනුරුව දෙස බලා සිටියේ ය. එහි නැඟුණු පියදාස ගේ සිත වලාකුළු පීරා ගෙන කාන්තාර මතින් ඩුබායි, රියාද්, මස්කට්, දමස්කස්, ඕමාන් ඔස්සේ සමස්ත අරාබිකරය පුරා සැරි සැරුවේ ය.

පෙරළා ගමට ගිය පියදාස දෙ සතියක් බලා සිටියේ ය. මද්දුම මහත්තයාගේ ලිපිය ද රැගෙන මරදානේ ඒජන්සිය වෙත ඔහු යළිත් පැමිණියේ ය. සතියකින් වැඩේ නිච්චියට ම හරි යන බවට ඒජන්සිකාරයා පොරොන්දුවක් දුන්නේ ය. සතිය ගෙවුණු තැන ඒජන්සිකාරයාත් මද්දුම මහත්තයාත් එක් වී තමා ගොනාට අන්දා ඇති බව පියදාස තේරුම් ගත්තේ මරදාන හන්දියේ දැවැන්ත කටවුට් එක දිහා බලා සිටිය දී ය. එහි සිටි නායකයා පියදාස දෙස සිනාසෙමින් බලා සිටියේ ය. පියදාස ගේ කටින් කුණුහරුපයක් පිට විය. පාර අද්දර නුග ගසේ වසා සිටි කොහා නාද කළේ ය. පියදාසට ගම සිහි විය. පියසීලි සිහි විය. දැන් ගමට ගොස් පලක් නැත. ඒජන්සියේ දොරට දමා තිබුණ යකඩ ඉබ්බා දුටු පියදාස ගේ සිත ගල් විය. දෙ දීනක්ම ඔහු නාරාහේන්පිට පෙට්ටි කඩේ මුදලාලිගෙන් කුලියට ගත් බූරු ඇඳේ නිඳා ගත්තේ ය. තුන් වන දවසේ උදෑසන ඔහු පෙට්ටි කඩෙන් පිට වී ගාලු පාර දෙසට ගමන් කළේ ය. “කෝච්චි පාර අද්දරට ගිහිල්ලා රේල්ලුවට බෙල්ල තියනවා. එතකොට මේ මළ කරදර සේරම ඉවර යි. මං මළා ම මං වෙනුවට කවුරු හරි එකෙක් හොර ඡන්දයක් දා වී… එච්චර යි…” පියදාස පාර පැන මුහුද පැත්තට යන්නට කලින් අසල වූ කඩ පේළියේ නාම පුවරු දෙස බැලුවේ ය. “හොටෙල් ඩි පැරිස් මරු නමක් නේ… රේල්ලුවට බෙල්ල තියන්න කලින් ප්ලේන්ටියක් බීල ඉන්න ඕනෙ.“ පියදාස හෝටලයට ගොඩ වැදී දැන් පැය බාගයකටත් වැඩි ය.

ඔහු ඉදිරියේ වාඩි වී හුන් හතර රියන් පුරුෂයා තමා ගේ දීප්තිමත් දෑස පියදාස ගේ අඳුරු දෑස වෙත යොමු කර ගත් වන ම බලා සිටියි. “ගම මැදිරිගිරිය නේද?” හතර රියන් පුරුෂයා ඇසුවේ ය.

“මහත්තය දන්නෙ කොහොමද? මහත්තය පොලිසියෙන් ද?” පියදාස ඇසුවේ ය.

“අපොයි නැහැ. මම නිකම් මහත්තයෙක් විතරයි. ඔහේ ගෙ මූණ වහින්න කිට්ටු ආකාසෙ වගෙයි. නම පියදාස නේ ද? නෝනගේ නම පියසීලි නේ ද? තව මාස දෙක තුනකින් තාත්ත කෙනෙක් වෙනව නේ ද?“

පියදාස අහස පොළොව තට්ටු වූ කලෙක මෙන් බය බිරාන්ත වී බලා සිටියේ ය.

“බය වෙන්න එපා. මම සේරම දන්නවා. බඩගින්නෙ නේ ද ඉන්නෙ? පාන් බාගයක් දොළහ යි පණහ යි. මාළු කෑල්ල රුපියල් හතලිහ යි, ප්ලේන්ටිය රුපියල් දහය යි… ඒ ටික කන්න වත් අතේ තියෙන ගාණ මදි නේ… ඉන්න, මං ඕඩර් කරන්නම්… වේටර්! වේටර්!“ හතර රියන් පුරුෂයා ගේ ගැඹුරු හඬ හෝටලයේ පැවැති කච කචය යටපත් කොට ගෙන රාව නැංවුයේ ය.

“මේ මිනිහා මාව හිඟන්නෙක් කියලා හිතුවද? කමක් නෑ. මම දැන් හිඟන්නෙක් ම තමයි. මගෙ හිතේ මිනිහා සල්ලිකාරයෙක් වෙන්නැති.”

කුකුල් මස්, මාළු, බිත්තර, බැදපු තෝර මාළු පෙති මේසයට පැමිණියේ ය. “කන්න!” හතර රියන් මිනිසා ඉතා කාරුණිකව කීවේ ය. “පියදාස ගොවි පරපුරක අවසන් මුනුබුරා. දැන් තිබුණු කුඹුරු කෑල්ලත් නැති වෙලා. ඒක විකුණලා ගත්ත සල්ලිත් නැති වෙලා. කර කියා ගන්න දෙයක් නැතිව නේ ද ඉන්නෙ?” යි ඔහු ඇසුවේ ය. පියදාස යළිත් විමතියෙන් බලා සිටියේ කටට දමා ගත් මාළු කැබැල්ලෙහි එතූ පාන් කැබැල්ල හපමිනි.

“මහත්තය කවුද? ඇත්ත කියන්න. පොලිසියෙන් නේ ද? මහත්තයා වෙන පියදාස කෙනෙක් හොයන්න අපේ ගමට ගිහින් මං ගැන තොරතුරු දැන ගන්න ඇති. අපේ ගමේ තව පියදාස කෙනෙක් ඉන්නවා.” පියදාස බියට පත්වු බවක් නො පෙන්වා එසේ ඇසුවේ ය. “නැහැ මට එහෙම වරදින්නෙ නෑ. මං ආවෙ මේ පියදාස හොයා ගෙන. මෙන්න මගේ අයිඩෙන්ටිටි එක,” හතර රියන් පුරුෂයා හැඳුනුම් පතක් පියදාස වෙත දිගු කළේ ය. එය අතට ගනිද්දී පියදාස ගේ අත වෙව්ලුවේ ය. පියදාස එය කියවා බැලුවේ ය. එස්. දේවේන්ද්‍ර, විජයොත්පාය, බ්‍රහ්මාණ්ඩය. පියදාස හැඳුනුම් පත ආපසු දෙමින් “මහත්තයා ඉන්දියාවේ නේ ද?” යි ඇසුවේ ය. “එක තැනක් කියල නෑ. මම හැම තැනම ඉන්නවා. මම මේ ආවේ පියදාසට උදවු වෙන්න… හුඟක් ඉස්සර ඉඳලම මම එහෙම යම් යම් අයට පිහිට වෙලා තියෙනවා…, ආ… මේ… මේක තියා ගන්න. පොඩි තෑග්ගක්. රේල් පාර දිහාට යන්න එපා! වහාම ආපහු ගෙදර යන්න…! ගෙදර අයට තෑගිත් අරන් යන්න. අඟල් විසිඑකේ ටෙලිවිෂන් සෙට් එකකුත් අරගෙන යන්න. එතකොට පියදාසට ගෙදරට වෙලා මැතිවරණ ප්‍රතිඵල බලන්න පුළුවනි. මෙදා මැතිවරණය වර්ණවත් කරන්න කොම්පැනි ගණනාවක් දායක වෙනවලු… මාත් ආපහු යනකොට ටීවී එකක් ගෙනියන්නයි හිතා ඉන්නෙ.” බිල ගෙවා දැමූ හතර රියන් පුරුෂයා නැඟී සිටියේ ය. “මහත්තයා ඇත්ත කියන්න! මහත්තයා කවුද?” පියදාස යළිත් ඇසුවේ ය. “ඇයි මම අයිඩෙන්ටිය දුන්නෙ. මගේ නම එස්. දේවේන්ද්‍ර. ඒ කියන්නෙ ශක්‍ර දේවේන්ද්‍ර… මං යනවා… මතක ඇති ව මේ ඉළන්දාරියා ආපහු ගෙදර යන්න…” හතර රියන් පුරුෂයා දිගු පියවර තබමින් හෝටලයෙන් පිට වී ගියේ ය.

ඔහු මේසය මත තබා ගිය කුඩා පසුම්බිය දෙස පියදාස බැලුවේ ය. එය අතින් අල්ලා උස්සා බැලුවේ ය. එය සෑහෙන බරකින් යුක්ත ය. පියදාස පසුම්බිය ළඟට ඇද ගෙන කිසිවෙකුටත් නොපෙනෙන අයුරින් කලිසම් සාක්කුවේ දමා ගත්තේ ය. “කලිසම ඇඳගෙන ආපු එක හොඳට ගියා“ පියදාස කොළඹ එද්දී පුරුදු සරම වෙනුවට කලිසම ඇන්දේ ය.

පියදාස හෝටලයෙන් පිට වී පාරට බැස්සේ ය. කොළඹ කලබැගෑනියේ හඬ එක වර පියදාස ගේ කනට ඇතුළු විය. මඟ දෙපස ශබ්ද විකාශන යන්ත්‍රවලින් ද, රෙඩියෝවලින් ද, සෙල්ෆෝන් විකුණන ශබ්දය පියදාස අසා සිටියේ ය. තෙ මහල් රෙදි කඩයක් ළඟ සැතපුම් බාගයක් තරම් දිගු පෝලිම දෙස ඔහු මඳක් වේලා බලා සිටියේ ය. පෝලිමේ සිටි අයෙක් පත්තරය කියවයි… බෝම්බයට ගොදුරු වූ බසයේ සිටි අට දෙනෙක් මිය යති… පියදාස වහා පය ඉක්මන් කර වැල්ලවත්ත පැත්තට ගමන් කළේ ය.

වෙහෙසට පත් සූර්ය දිව්‍ය රාජයා කරදිය නාන්නට සැරසෙන අයුරු ඔහුට පෙනෙයි. අහස තද රතු පාට ය. ගොයම් කපා අවසන් වූ කල්හි ඉපනැල්ලට වැටෙන රතු පාට අවු රැල්ල ඔහුට සිහි විය. පියදාස රේල් පාරට පිවිස ඒ ඔස්සේ ඉදිරියට ගමන් කළේ ය. සිග්නල් කණුවෙහි රතු එළිය ඔහුට නො පෙනිණ.

විජයොත්පායේ සී මැඳුරු කවුළුව විවර කළ එස්. දේවේන්ද්‍ර පහළ බැලුවේ ය. ආලෝක වර්ෂ කෝටි ගණනක් එපිටින් පිහිටි කුඩා දූපතෙහි වෙල් එළියක ඇවිද යන පියදාස ගේ අවතාරය ඔහු නෙත ගැටිණ. සුසුමක් හෙළා කවුළුව වසා දැමූ ඔහු තමා රැගෙන ආ ටෙලිවිෂනයේ යතුර එබුවේ ය. නිදහස් නිවහල් රාජ්‍යයේ මැතිවරණ ප්‍රතිඵල ටෙලිවිෂන් තිරය මත දිග හැරෙන අයුරු ඔහු බලා සිටියේ ය.

ආනන්ද අමරසිරි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.