පිටකොටුවේ කෝටි ගණනක බඩු පේමන්ට් එකේ සුරැකේ

පරිස්සමට තැබූ දේ ඈලියාවට ගියා වගේ, ඒත් නැත්නම් වක්කඩේ හකුරු හැංගුවා වගේ යන කියමන් අදටත් පොදු ජනතාවගේ මතකය සමග ජීවමානව ඇති කියමන් අතර තිබේ. ඒත් ඒ කියමන් අතර ‘විකුණන්න ගෙනා බඩු ටික පේමන්ට් එකේ තියා වසා ආවා වගේ වැනි’ කියමන් අපේ සමාජයේ දක්නට නැත. එහෙත් ඔබ පිළිගත්තත් නැතත් කෝටි ගාණක අලෙවියට ගෙනා බඩු පදික වේදිකාවේ විකුණමින් සිටි තට්ටුවේම තියා ඉටි කොළවලින් වසා දුර බැහැර ගෙදර ගිය ‘පේමන්ට් වෙළෙන්දන්’ ගැන ඔබ අසා තිබේද? ඊටත් වඩා දින 50 කට ආසන්න එම විකුණන්නට ගෙනා බඩු අතුරු අන්තරාවක්, හොරකමක් නොවී තවමත් එලෙසම තිබෙන බව ඇසුවොත් ඔබ නිසැකවම අසනු ඇත්තේ ඒ ලංකාවේද, නැත්නම් ඇමෙරිකාව හෝ එංගලන්තයේද බවය. ඒත් නැත්නම් සොරකමට අත් කපන අරාබි රටක විය යුතුය කියාය.

ඒත් මේ අපි කියන්නට යන කතාව වෙන රටක කතාවක් නොවේ. එය අපේ මේ ශ්‍රී ලංකාවේ පිටකොටුවේ පසුගිය මාර්තු 19 වැනිදා ඇඳිරිනීතිය පැනවීමෙන් පසු ඇතිවූ තත්ත්වයකි. ‘උණ පුරුකේ දැම්මත් බලු වලිගෙ ඇද අරින්න බෑ’ යයි කීවත් මෙරට පදික වේදිකාවේ වෙළෙඳාම නොහොත් පේව්මන්ට් බිස්නස් නවත්වන්නට මෙරට ආණ්ඩු කිසිවකට හැකිවුණේ නැත. කොතරම් නීති ගෙනාවත් පේව්මන්ට් වෙළෙන්දන් රිමාන්ඩ් කළ අවස්ථා පවා කලකට ඉහත වාර්තා විය. ඒත් ටික කලකින් ඔහු තම පරණ පුරුදු ‘පේව්මන්ට්’ රස්සාවට යොමු වන්නේ නිරායාසයෙනි.

පිටකොටුවේ ඇති පේව්මන්ට් එකේ බිස්නස් මෙරට වෙනත් නගරයක ඇති පේව්මන්ට් බිස්නස් සමග සම කළ නොහැක්කේ පිටකොටුවේ පේව්මන්ට් එකේ දැකගත හැකි අලෙවියට ඇති බඩු ලංකාවේ වෙනත් කිසිම නගරයක නැති නිසාය. පේව්මන්ට් එකේ විකිණීමට ඇති බඩු තබා ඇති, අටවා ඇති ලෑල්ලට කියන්නේ ‘පේව්මන්ට් තට්ටුව’ කියාය. දකින පුද්ගලයකුට සිතෙන්නේ නැති බැරි කෙනකු පේව්මන්ට් එකේ තැනක් අල්ලාගෙන ලෑලි තට්ටුවක් ගසාගෙන කුඩා බිස්නස් එකක් කරනව බවය. එහෙත් එය එවැනි ‘අහිංසක’ බිස්නස් එකක් නොවේ. මේ හැම පේව්මන්ට් තට්ටුවක්ම බලෙන් අල්ලා ගත් හිමිකරුවකු සිටී. ප්‍රධාන වශයෙන් ඔහු ආණ්ඩුවේ හිතවාදී ඇමැතිවරයකුගේ ගෝලයකු හෝ පාතාලයේ හොඳ අයියා කෙනෙකු විය යුතුමය. ඔබටත් ‘පේව්මන්ට් තට්ටුවක්’ දමා ගැනීමට අවශ්‍ය නම් කලින් කියූ එතුමා හමුවී දිනපතා හෝ මාසිකව තට්ටුවට දෙන ගතමන්ට් එක කතා කරගත යුතුය. පේව්මන්ට් තට්ටුවට පොලිසියෙන්, නාගරික සංවර්ධන අධිකාරියෙන් මෙන්ම නගර සභාවෙන් එන ඕනම උපද්‍රවයක් මොහොතකින් සුන්නද්දූලි කොට බිස්නස් එක යථා පරිදි කිරීමට අවශ්‍ය ‘යටිතල පහසුකම්’ සැපයීම තට්ටුව හිමි ජාවාරම්කරුගේ කාර්යභාරයයි.

‘‘ඔන්න මහත්තයා කඩයක් අස් කරපු බඩු. කඩෙන් එකයි – අපෙන් තුනයි. කඩ කුලී නෑ, ලයිට් බිල් නෑ, වතුර බිල් නෑ, ඉන්කම් ටැක්ස් නෑ. මේ ගාණට අපෙන්ම විතරයි.’’

මේ පේව්මන්ට් එකේ බඩු ගොඩක් විකුණන විට මෙලෙසින් කියන ඒකාකාරී වචන සෙට් එකයි. මේ කියමනේ ඇති එකම පච කියමන නම් ‘කඩ කුලී නෑ’ යන කෑල්ලයි. පිටකොටුවේ සමහර කඩසාප්පු හිමියන් තම කඩේ බඩුම කඩේ ඉදිරිපිට තට්ටුවක් දමා විකුණන්නේ කුලියට ගත් සේවකයකු ආධාරයෙනි. එම කුලී සේවකයාගේ දිනක වැටුප රු. 2500/- කට වැඩිය. විකුණන බඩු ප්‍රමාණය වැඩි වනවිට එයින් කොමිස් මුදලක්ද ලැබෙන නිසා ගිරිය යටින් කෑගසමින් කාගේ හෝ ඇඟේ බඩු ගසා ගතමනාව සොයාගැනීම ඔහුගේ සිරිතය. විටින් විට කඩේ ඇතුළට ගොස් සරමේ ගැටයක ගැට ගසා ගත් මුදල් ටික කඩේ කැෂියර්ට බේරීම ඔහුගේ සිරිතය.

මෙවර ඇඳිරි නීතිය මූලිකව පැනවෙන්නේ පසුගිය මාර්තු මස 19 වැනිදායින් පසුවය. ඉන්පසු එළඹෙන්නේ අලුත් අවුරුදු උත්සව සමයයි. ඊටත් පසු නෝම්බි අවුරුද්දයි. මාර්තුවේ ඇඳිරි නීතිය පනවනවිට පිටකොටුවේ පේව්මන්ට් වෙළෙන්දන් සිංහල අවුරුද්දට අලෙවියට රෙදිපිළි ඇතුළු උත්සව භාණ්ඩ බොහොමයක් රැස්කරගෙන හමාරය. පේව්මනට් එකේ අලෙවියට ගෙන ආවේ එයින් තට්ටුවට ඔරොත්තු දෙන භාණ්ඩ ප්‍රමාණය පමණි. මේ සමහර පේව්මන්ට් තට්ටු අවුරුදු 20-30 පරණ ඒවා වන අතර ඒවා තාත්තාගෙන් පුතාට, නැත්නම් බෑණාට, මුණුබුරාට ආදී වශයෙන් පරවේණි උරුමයට පැවැතගෙන එන ඒවාද ඒ අතර ඇත. සමහර තැන්වල වාහන නවත්වන තැන් පදික වෙළෙන්දන් නගර සභාවට මුදල් ගෙවා තම තට්ටු දැමීමට වෙන්කරගෙන ඇති දුලබ අවස්ථාද ඇත.

ඇඳිරි නීතිය පැනවූවාට පසු මේ පිටකොටුවේ පේව්මන්ට් වෙළෙන්දන් තමන් අලෙවි කරමින් සිටි භාණ්ඩ තම දුර බැහැර නිවෙස්වලට ගෙනයාමට ලොරි සොයමින් සිටියේ නැත. ඔවුන් කළේ වෙනදා හවසට මෙන් එම බඩු තට්ටුවේම තිබෙන හැටියට තබා ඉටි කොළෙන් වසා, ලණු පොටවල් කීපයකින් ගැට ගැසීමය.

පිටකොටුවේ පේව්මන්ට් දෙපස ගොඩ ගසා ඇති මේ වටිනා භාණ්ඩ සොරාගැනීම ගැන පැමිණිලි ලැබී ඇත්දැයි අප මුලින්ම ඇසුවේ පිටකොටුව පොලිසියෙනි.

‘‘ඇඳිරි නීතිය දැම්මට පස්සේ කිසිම හොරකමක් වාර්තා වුණේ නැහැ. පොලිසිය මේ මාර්ගවල නිතරම පැට්‍රෝල් යනවා. මේ වෙළෙන්දොත් එකතු වෙලා තමන්ගේ කට්ටිය දාලා තියෙන්නේ.’’

ඊට පසු අප මුලින්ම ගිය ඕල්කට් මාවතේ හා දෙවැනි හරස් වීදියේ ගොඩ ගසා ඇති පේව්මන්ට් බඩු අසල මිටි පුටුවක් තබාගෙන කල්පනා කරමින් සිටි පුද්ගලයෙකි.

‘‘අපි මේ පාර දවල්ට තුන්දෙනෙක් සෙක්ෂන් කඩාගෙන බලනවා. රෑට පස්දෙනෙක් බලනවා. ඔක්කොම හෝටල් වහලා. තේ එකක් බොනවා තියා වතුර එකක් බොන්න තැනක් නැහැ! සමහර තට්ටු කරන අය ගොඩක් ගාල්ල, මාතර, අකුරැස්ස, කඹුරුපිටිය, නැත්නම් මාවනැල්ල, නුවර වගේ පැතිවලත් ඉන්නවා. සමහරු ඇඳිරි නීතියට ගෙදර ගියා ගියාමයි ආවේ නැහැ. තට්ටුව බලාගන්න කියලා සල්ලි ‘ඊෂි කෑෂ්’ කළා.’’

දෙවැනි හරස්වීදිය ආරම්භයේම පදික වේදිකාවේ ඇත්තේ සින්ක් එකක් සහ ටැප් එකකි.

‘‘අත් සේදීමට හා බීමට පමණි. මුහුණ කට සේදීම හා බෝතල් සඳහා ජලය පිරවීම තහනම්’’ යනුවෙන් බෝඩ් එකක් එහි ගසා ඇත. ඊට යටින් ඇති කුඩා පේළියේ ඇත්තේ පිටකොටුව දෙවැනි හරස් වීදියේ පදික වෙළෙඳුන්ගේ ප්‍රජා සත්කාරයක් යනුවෙනි. පේමන්ට් එකේ හයිකරපු සින්ක් එකකට වතුර ගත්තේ කොහොමදැයි අප ඇසුවේ විමතියෙනි.

‘‘ඔය අයිනේ හෝටලෙන් හෝස් එකක් ගහලා වතුර ගත්තා. වතුර බිලේ භාගයක් පේමන්ට් එකේ අය ගෙව්වා. ඉතුරු බාගේ ගෙවන්න හෝටල් මුදලාලි බාර ගත්තා.’’

ඇත්තටම මේ පිටකොටුවේ පදික වේදිකාවේ ගොඩ ගසා ඇති බඩු කන්දරාව ඇසුවොත් ඔබ මවිතයට පත්වනු ඇත. එහි ප්‍රධාන වශයෙන් ඇත්තේ රෙදිපිළි පමණක් නොවේ. ඔරලෝසු, සපත්තු, බෑග් වර්ග, රේඩියෝ, ටෝච් මෙන්ම විදුලියෙන් ක්‍රියාකරන යාන්ත්‍රික කියත්, පයිප්ප මෙන්ම විදුලි උපකරණ, පරිගණක කොටස් සහ තේරෙන භාෂාවෙන් කියනවා නම් ෆෝන් ඇක්සසර්ස්ද කෝටි ගාණක මෙම බඩු අතර ඇත. මේ අතර නැත්තේ ජංගම දුරකථන පමණි.

මේ පේව්මන්ට්වල ආනයනික ආහාර මෙන්ම පලතුරුද අප දැක ඇත. මේ මුර කරන හාදයකුගෙන් ඇප ඇසූ විට ඔහු පැවැසුවේ කෑම බීම නම් දැන් සියල්ල නරක් වී ඇති බවය. එමෙන්ම පිටකොටුව බෝධිරාජ මාවත මැද ඇති එළවළු පොළේ ඇති තට්ටුද දවස් 50 ක් තිස්සේ ඉටි කොළෙන් වසා ඇත. ඒ ගැන විමසූ විට අපට එහි සිටි වෙළෙන්දකු කීවේ එළවළු දැන් ඕජස් ගලා තට්ටුවටම වේලී ඇති බවය.

මල්වත්ත පාරේ සංචාරක ලොරි රථ වෙළෙන්දන් තම ලොරි නවතා ඇත්තේ පේළියටය. ඒ මාර්ගය ආරම්භයේ ඇති දැවැන්ත වෙළෙඳ ෙපාළේ ඉටි කොළෙන් වසා ඇති තට්ටු පින්තූර ගන්නා අපට එල්ල වූයේ විරෝධයකි.

‘‘අපි හිඟන්නෝ නෙවෙයි. ඇඳිරි නීතිය නිසා නැතිකමට මුර කරන්න ආවේ. අපි හොඳ ජොබ් කරන අය. මේ සැරේ පඩියේ බේසික් එකත් නෑ. ගෙවල්වල, වැඩකරන තැන්වල අය දකියි පත්තරේ දාන්න එපා.’’

පිටකොටුවේ කේෂර් වීදිය, රැජින වීදිය, මැලිබන් වීදිය මෙතරම් පළල් පාරවල් දැයි අපට මුල්වරට දැකගත හැකිය. සෙන්ට්‍රල් රෝඩ්හී ඉබි යතුරු දමා ගාල් කොට ඇති කයි කරත්ත ගණන දෙදාහකට අධිකය. දෙමළෙන් කයි යනු නාට්ටාමිලා ගෙන යන අත් කරත්තයි. පිටකොටුවේ හිස් වීදි දිගේ යද්දී කලාතුරකින් සිටි දෙතුන් දෙනා බොහෝ දෙනා ඉල්ලා සිටියේ කෑමට යමක්ය. ඒත් නැත්නම් හෝටල් ටික අරින ලෙසය. මුළු රටේම කඩ සාප්පු දින පනහ ඉක්මවා ඉබි යතුරු දමා තම දේපළ ආරක්ෂා කරත්දී කෝටි ගාණක බඩු භාණ්ඩ පදික වේදිකාවේ සුරැකී තිබීම අපට නම් මතකයේ සටහන් වූයේ විශ්මිත සිදුවීමක් ලෙසය.

වජිර ලියනගේ -Aruna

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.