දකුණු කොරියාවේ කොරෝනාව පැතිරවීමට දායක වූ පූජකවරයෙක් සමාව ඉල්ලයි

coronavirus

කොරෝනාවෛරසය පැතිර යාමත් සමඟ බලධාරීන්ගේ අවධානයට ලක් වූ දකුණු කොරියානු කිතුනු ආගමික නිකායක ප්‍රධානියෙක් එම වසංගතය පැතිර යාම සම්බන්ධයෙන් ජාතියෙන් සමාව අයැද සිටියේය.

එලෙස දණින් වැටී ජාතියෙන් සමාව ඉල්ලන ලද්දේ දකුණු කොරියාවේ ෂින්චන්ජී (Shincheonji) නම් ජේසු නිකායේ ප්‍රධානී ලී මන්-හී (Lee Man-hee) විසිනි.

දකුණු කොරියාව තුළ කොරෝනාවෛරසය ආසාදිත 4,000 අධික සංඛ්‍යාවක් සිටින බව දැනට තහවුරු කොට ඇති අතර, ඔවුන්ගෙන් 60% ක්ම ඉහත කී ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකායේ සාමාජිකයන් යයි හඳුනා ගනු ලැබ ඇත.

චීනයෙන් පිටත කොරෝනාවෛරසය ආසාදිත රෝගීන් වැඩියෙන්ම වාර්තා වී ඇති රට දකුණු කොරියාවයි. සඳුදා (මාර්තු 02) වන විට දකුණු කොරියාවෙන් තවත් ආසාදිත පුද්ගලයන් 476 දෙනෙකු හඳුනා ගනු ලැබ ඇත.

ඒ සමඟ එරටින් වාර්තා වූ සමස්ත කොරෝනාවෛරස් රෝගීන් සංඛ්‍යාව 4,212 බවට පත් විය. මේ වන විට එරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 27 කි.

කොරෝනාවෛරසය සහමුලින්ම නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් ලී මන්-හී (Lee Man-hee) පූජකවරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කළ හැකි තත්ත්වයක් තිබේදැයි යන්න සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස නීති නිලධාරීන්ට දැනුම් දී ඇති බවක් ද වාර්තා වෙයි.

“මෙය හිතාමතාම සිදුකළ දෙයක් නොවුනත්,බොහෝ දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා” අසූ අට හැවිරිදි ලී මන්-හී (Lee Man-hee) පූජකවරයා පවසයි.

“අපි උපරිම උත්සාහය ගත්තා. ඒත් වෛරසය පැතිරීම වළක්වා ගන්න බැරි වුණා”

ඩෑගූ’ (Daegu) නම් දකුණු නගරයේ වෛරසය ආසාදිත යයි තහවුරු කරනු ලැබ ඇති 3,081 පුද්ගලයන් අතරින් 73% ක් එම නගරය අසල ක්‍රියාත්මක වෙන ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකායේ දේවස්ථානයට සම්බන්ධ වූවෝ වෙති.

සෝල් අගනුවර පුරපතිවරයා තම නගරයේ පදිංචි කෝටියක් පමණ වූ ජනයාට සිය නිවෙස්වල සිට වෘත්තීන්හි නිරත වෙන ලෙස දැනුම් දී ඇති අතර, ජනාකීර්ණ ස්ථානයන්හි නොගැවසෙන ලෙස උපදෙස් දෙයි.

ෂින්චන්ජී (Shincheonji) ජේසු නිකාය කෙරෙහි අවධානය යොමුවෙන්නේ කුමක් නිසාද?
ෂින්චන්ජී (Shincheonji) කිතුනු ආගමික නිකායේ සාමාජිකයන් අතර එකිනෙකාට වෛරසය ආසාදනය වී ඇති බවත්, එම තත්ත්වය අධීක්ෂණය නොවූ තත්ත්වයක් යටතේ ඔවුන් රට පුරා සංචාරය කර ඇති බවත් විශ්වාස කෙරෙයි.

ඒ අතරම, එම නිකාය සිය සාමාජිකයන්ගේ නම් රහසිගතව තබා ගන්නා හෙයින්, වසංගතය හසුකර ගැනීම දුෂ්කර වීමට එය හේතු වූ බවටත් චෝදනා එල්ල වෙයි.

එහෙත්, ෂින්චන්ජී (Shincheonji) නිකායේ ප්‍රකාශක කිම් ෂින්-චෑන් (Kim Shin-chang) බීබීසියට අදහස් දක්වමින් සිය සංවිධානයේ සාමාජිකයන්ගේ ,ශිෂ්‍යයන්ගේ සහ ගොඩනැගිලි පාලකයන්ගේ නම් ලැයිස්තුවක් බාධාරීන්ට භාරදුන් බව කියා සිටියේය.

“මේ තොරතුරු ප්‍රකාශයට පත් කිරීමට සිදුවීම ගැන අපි කනගාටු වෙනවා. මොකද? ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්න මතු වෙන නිසා” ෂින්චන්ජී (Shincheonji) නිකායේ ප්‍රකාශක කිම් ෂින්-චෑන් සඳහන් කළේය.

(BBC)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.