වෛරසය නිසා අඩපණ වෙන නගර සහ වැසිකිළිවල සබන් නොමැති ශ්‍රී ලංකාව

soap

කැස්සකින් හෝ කිවිසුමකින් පිටවන බිඳිති බොහෝ දෙනෙකු ස්පර්ශ කරන තැනක පතිත වූ විට එම බිඳිති සමඟ වෛරසයක් පවතින්නේ නම් එකවර විශාල පිරිසක් කරා එය සංක්‍රමණය වනු ඇත. ඉන්ෆ්ලුවෙන්සාවක් පැතිර යන සමයක පොදු ප්‍රවාහන සේවා භාවිත කරන උදවියට එය වැළඳීමේ අවදානම හය ගුණයකින් වැඩි බව විමර්ශනවලින් හෙළි වී තිබේ.

සියලුම බස් සහ දුම්රිය තුළ මෙන්ම නැවතුම්පළ තුළ ද මහා පරිමාණයෙන් විෂබීජහරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට දකුණු කොරියාවේ, ඉතාලියේ සහ ඉරානයේ බලධාරීන් පියවර ගෙන ඇත්තේ එබැවිනි.

දක්ෂිණ ධ‍්‍රැවයට හැරෙන්නට සෑම මහද්වීපයකටම කොරෝනා වෛරසය ව්‍යාප්ත වී හමාරය. වෛරසය ආරම්භ වූයේ චීනයෙනි. නමුත් චීනය තුළ ව්‍යාප්ත වූවාට වඩා වැඩි වේගයකින් මෙම වෛරසය චීනයෙන් පිටත ව්‍යාප්ත වෙමින් පවතී. එවැනි තත්වයක් අත්දකින්නේ ප්‍රථම වතාවටය.

මෙම වෛරසයේ ව්‍යාප්තිය පිළිබඳව, මිනිසුන් බොහෝ ප්‍රමාණයක් සමීපව වාසය කරන සහ රැකියාවන් හි යෙදෙන මහ නගරවල ජනතාවගේ බරපතළ අවධානයට යොමු වී තිබේ. වෛරස පැතිර යාම සඳහා හොඳම පරිසරයක් නිර්මාණය වන්නේ පොදු ප්‍රවාහන සේවා ආශ්‍රිතවය. කොළඹ නගරය අවශ්‍ය වෙතොත් පොදු ප්‍රවාහන සේවාව තුළ ජීවානුහරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇත.

මහා පරිමාණයෙන් සිදු වන ජන ඒකරාශිවීම්වලින් වැළකී සිටින ලෙස ජපානය ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබෙන අතර ඉදිරියේදී කොළඹදී පැවැත්වීමට නියමිත ප්‍රධාන පෙළේ ප්‍රසංග සංවිධායකයින් කල්පනා කරමින් සිටින්නේ කුමක් කළ යුතුද යනුවෙනි.

විශාල පිරිසක් ආකර්ෂණය කෙරෙන ක්‍රීඩාංගන වැනි ස්ථාන මෙවැනි වෛරස ඉක්මනින් පැතිරවීමට තුඩු දෙන අතර කොරෝනාවෛරසය නිසා ඇතැම් ක්‍රීඩා තරග දැනටමත් අවලංගු වී ඇත. චීනයේ ෂැන්හයි නුවර පැවැත්වීමට නියමිතව තිබූ ‘ෆෝමියුලා වන්’ මෝටර් රථ ධාවන තරඟය කල් දැමීමට සිදු විය.

‘සික්ස් ඒෂියන්’ ලීග් ශුරතා තරගාවලිය ප්‍රමාද කිරීමට ඉරානය පියවර ගත්තේය. ඉතාලි කණ්ඩායම් සහභාගී වීමට නියමිතව තිබූ පාපන්දු සහ රග්බි ක්‍රීඩා තරග අත්හිටුවීමට යුරෝපයේ රටවල් කිහිපයක්ම තීරණය කර තිබේ.

නමුත්, කොරෝනාවෛරසය නිසා පීඩාවට ලක්වන විශාලතම ක්‍රීඩා උළෙල ටෝකියෝ නුවර පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල විය හැකිය. එය ආරම්භ කිරීමට සැලසුම් කර ඇත්තේ එළඹෙන ජූලි මස 24 වැනිදා ය.

විදේශ රටවලින් පැමිණෙන වන්දනාකරුවන්ට මක්කම තහනම් කිරීමට ද සෞදි අරාබිය තීරණය කළේය. මහනුවර ඇසළ පෙරහැර ශ්‍රී ලංකාවේ මීළඟට පැවැත්වීමට නියමිත විශාලතම ජන ඒකරාශි වීමයි. මැතිවරණ රැස්වීම් සඳහා පැමිණෙන ජනතාව ද වෛරස ආසාදන බිය නිසා නිසා අඩු වීමට ඉඩ ඇති බව දේශපාලන සංවිධායකයෝ පවසති.

ජපානය, ඉරානය, තායිලන්තය, ඉරාකය වැනි රටවල පාසල් සහ විශ්ව විද්‍යාල වසා දමා තිබේ. නිවසේ සිට රැකියාව කිරීම සඳහා ඇතැම් රටවල් උපදෙස් දී තිබේ.

සැන් දියාගෝ සහ සැන් ෆ්‍රැන්සිස්කෝ දෙනුවර දැනටමත් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. තම සමාගම් වෙත පැමිණෙන අමුත්තන් පිළිගැනීම සඳහා අතට අත දීමෙන් වළකින ලෙස සේවකයන්ට උපදෙස් ලැබී ඇත.

දැනටමත් ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ හෝටල් කිහිපයක පිළිගැනීමේ නිලධාරිනියන් ආයුබෝවන් කියා අත රතු දීමකින් තොරව අමුත්තන් පිළිගැනීම ආරම්භකොට ඇත. ලබන මාර්තු මාසයේ පැවැත්වීමට නියමිතව තිබූ වාර්ෂික වෙළඳ සම්මන්ත්‍රණය අවලංගු කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගත්තේය.

සැන් දියාගෝ නගරයේ පැවැත්වීමට නියමිත, ලොව විශාලතම සයිබර් ආරක්ෂණ සම්මන්ත්‍රණයකින් ඉවත් වීමට ලොව ප්‍රධාන පෙළේ අනුග්‍රාහකයන් සහ ප්‍රදර්ශකයන් කිහිප දෙනෙකුම තීරණය කර තිබේ.

ශරීර උෂ්ණත්වය ඉහළ ගොස් ඇත්නම් හෝ ශ්වසන ආබාධයකට ලක් වී ඇත්නම් නිවසේ සිට තම රැකියාව කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සපයා ගැනීම සුදුසු බව එක්සත් ජනපදයේ බෝවන රෝග පාලන මධ්‍යස්ථානය දැනුම් දුන්නේය.

හොඳින් දෑත සෝදා පිරිසිදු කරගැනීම, කොරෝනාවෛරසය පැතිරීම වලක්වා ගැනීම සඳහා ගත හැකි ප්‍රධානතම පියවර බවට ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත් යැයි ඇමරිකානු සෞඛ්‍ය බලධාරීහු පවසති. ඒත් ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රසිද්ධ ස්ථානවල වැසිකිලි වල සබන් තබා නොමැත. මේ පිළිබඳව වහාම සෞඛ්‍ය බලධාරීන් කටයුතු කළ යුතු බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

කොරෝනාවෛරසය ව්‍යාප්තවීම වලක්වා ගැනීම සඳහා සියළු දෙනාම පහත සඳහන් පියවර අනුගමනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය දැනුම් දී ඇත. නිතර දෙවේලේ දෑත සේදීම. කැස්ස හෝ කිවිසුම ඇතිවන විට මුව සහ නාසය ආවරණය කර ගැනීම. ශ්වසන ආබාධ ඇති උදවිය ස්පර්ශ කිරීමෙන් වැළකීම. වන සතුන් සහ ඇතිකරන සතුන් අනාරක්ෂිත ලෙස ස්පර්ශ නොකිරීම.

කොරෝනාවෛරසය ආරම්භ වූ වූහාන් නගරය හුදෙකලා කළ ආකාරයටම ඉතාලියේ නගර කිහිපයක් ද හුදෙකලා කොට තිබේ. මේ අනුව කොළඹ නගරයට ඇතුල් වන ජනතාවගේ ප්‍රමාණය සීමා කිරීමක් පිළිබඳ පියවර ගැනීමට ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.