වෛරස ආසාදනයෙන් බේරුන පුංචි දූපත්

ලෝක සිතියමෙන් වැඩි කොටසක එවැනි චිත්‍රයක් දක්නට ලැබෙද්දී, වෛරසය පහර නොදුන් යම්කිසි තැනක් අපට මේ මිහිතලයෙන් සොයාගත හැකි ද?

පිළිතුර ඔබ පුදුමයට පත් කරනු ලැබීමට හේතුවිය හැකිය. එය කුමක් ද?

“ඔව් !”

උතුරු කොරියාවෙන් කොරෝනාවෛරස් රෝගීන් වාර්තා වී නොමැති අතර වැඩි වශයෙන් වාර්තා වුනේ මිසයිල අත්හදා බැලීම්ය

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයන්ගේ සංඛ්‍යාව 193 කි.

‘ජෝන්ස් හොප්කින්’ සරසවියේ දත්ත භාවිතා කරමින් සකස් කරන ලද බීබීසී ප්‍රකාශනයකට අනුව, මෙයින් දින කීපයකට පෙර, එනම් අප්‍රේල් 02 වෙනිදා වනවිට ලොව රටවල් 18 කින් එකදු කොරෝනාවෛරස් ආසාදිතයකුවත් වාර්තා වී නැත.

එම රටවල් 18:

කොමොරෝස් (Comoros), කිරිබති (Kiribati), ලෙසෝතෝ ( Lesotho), මාර්ෂල් දූපත්(Marshall Islands), මයික්‍රොනොසියා (Micronesia), නාවුරු (Nauru), උතුරු කොරියාව (North Korea), පලාවු (Palau), සමෝආ( Samoa), සාඕ ටොම් සහ ප්‍රින්සිපේ ( Sao Tome and Principe), සොලමන් දූපත් (Solomon Islands), දකුණු සූඩානය (South Sudan), තජිකිස්ථානය(Tajikistan), ටොන්ගා (Tonga), ටුවාලු (Tuvalu), වනුටු (Vanuatu), යේමනය (Yemen), තුර්ක්මේනිස්ථානය(Turkmenistan),

මෙහිදී සැලකිල්ලට ගත යුතුව ඇති එක්‌ වැදගත් කරුණකි. එනම්, ඇතැම්විට වාර්තා නොකෙරුණ ආසාදනයවීම් තිබිය හැකි බවට විශේෂඥයන් එකඟවීමය.

උදාහරණයක් වශයෙන්, නිල ප්‍රකාශන අනුව උතුරු කොරියාවේ කොරෝනා ආසදිතයන්ගේ සංඛ්‍යාව බින්දුවකි. යුද්ධයෙන් බෙදීගිය දේශයක් වන යේමනයේ තොරතුරු ද එවැනිය.

කෙසේවුවද, වෛරසය තවමත් සේන්දු නොවූ රටවල් පවතී. එයින් වැඩි කොටසක් ‘ආගන්තුකයන්’ වැඩි වශයෙන් පය නොගසන කුඩා දූපත් රාජ්‍යයෝ වෙති.

එක්සත් ජාතීන්ගේ තොරතුරුවලට අනුව, ඉතාම ස්වල්පයක් ආගන්තුකයන් පිය තබන ලෝකයේ ස්ථාන දහයෙන් හතක කිසිවෙකුත් මේ දක්වා කොරෝනාවෛරස් උවදුරට ගොදුරු වී නැත.

ඊට එක හේතුවක් වන්නේ ඔවුන්ගේ වෙන් වූ හුදෙකලා පැවැත්මයි. අද යුගයේ බල පැවැත්වෙන සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසිවලට අනුව දූපත් ජාතීහු සැබෑ ස්වයං හුදෙකලාභාවයක් සහිත සමාජ වෙති.

එහෙත් එවැනි කුඩා රාජ්‍යයක ජනාධිපතිවරයෙක් පවතින තත්ත්වය සම්බන්ධයෙන් සතුටු නොවෙයි. බීබීසියට ප්‍රකාශයක් කළ එම ජනාධිපතිවරයා සඳහන් කළේ Covid-19 දැනටමත් ජාතික හදිසි තත්ත්වයක් ඉස්මතුකර ඇති බවය.

ශාන්තිකර සාගරයේ දූපතක් වන නාවුරු (Nauru) පිහිටා තිබෙන්නේ වෙනත් ඕනෑම ජනාවාසයකින් කිලෝමීටර් 320 ක් ඈතිනි. කිරිබති රාජ්‍යයට අයත් බනබා (Banaba) දූපත ඔවුන්ගේ ළඟම අසල්වැසියා වෙයි. එහෙත් ඔවුන් අතර දුර කිලෝමීටර් දෙසීයකි. නාවුරු (Nauru) දූපත ආසන්නයේ පිහිටි ප්‍රධාන නගරය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන්(Brisbane) නගරයයි. නාවුරු සහ බ්‍රිස්බේන් අතර දුර කිලෝමීටර් 2,500 කි.

එක්සත් ජාතීන්ගේ සඳහන් කිරීම් අනුව මොනාකෝ’ (Monaco) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනාවාස භූමිය නාවුරු දූපතය. එහි ජනගහනය දස දහසකට මඳක් වැඩිය. ටුවාලු (Tuvalu) දූපතෙන් අනතුරුව ඊළඟ කුඩාම ජනගහනය සහිත රට නාවුරු වෙයි.

එපමණක් නොව නාවුරු මිහිමත රාජ්‍යයන් අතරින් අඩුම පිරිසක් සංචාරය කළ භූමියයි. ඉතා මෑතක නිකුත් කරන ලද එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛනවල සඳහන් නොවුනත්, එක් සංචාරක ආයතනයක් පවසන පරිදි වසරකට නාවුරු කරා පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 160 ක් පමණි.

එහෙත් මෙවැනි දුරස්ථ සමාජයක් තවත් ඈත්විය යුතු නැතැයි කෙනෙකු සිතීමට ඉඩකඩ ඇත. එම දුරස්ථ සමාජය සතුවන්නේ එකම එක රෝහලක් පමණි. ශ්වසන අධාරක (ventilators) එකක්වත් එහි නැත. හෙද හෙදියන්ගේ හිඟයක් පවතී. කිසිදු මට්ටමක අන්තරායක් භාර ගැනීමට ඔරොත්තු දෙන පරිසරයක් ඔවුන්ට නොමැත.

නාවුරු ගුවන් සේවය මාර්තු මාසයේ මැද භාගයේ පටන් ෆිජි, කිරිබති සහ මාර්ෂල් දූපත් කරා වූ ගුවන් ගමන් අත්ටහිටවනු ලැබුණි. බ්‍රිස්බේන් සමඟ සතියකට පැවති ගුවන්ගමන් වාර තුන, සති දෙකකට එක ගමනක් දක්වා අවම කරන ලදී.

ඔස්ට්‍රේලියාවේ සිට යළි පැමිණෙන සිය රටවැසියන් සහ වෙනත් පුද්ගලයන් හෝටල්වලට යවා දින 14ක නිරෝධායන ක්‍රියාවලියකට ලක්විය යුතු බවට නියෝග කෙරිණ.

මෑතදී කිසිදු දේශපාලන රැකවරණ පතන්නෙකු ඔස්ට්‍රේලියාව විසින් නාවුරු කරා ඒවා නැතත්, එසේ එවනු ලබන්නන් දෙසතියක නිරෝධායනයට ලක් කෙරෙනු ඇත.( ඔස්ට්‍රේලියාව නාවුරු දූපතේ සරණාගත කඳවුරක් පවත්වා ගෙන යයි)

තමන් විසින් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග නාවුරු ජනාධිපති ලියොනෙල් එයින්ගිමේ (Lionel Aingime) විසින් විග්‍රහ කරනු ලබන්නේ “වැට බැඳීමේ සහ වැලැක්වීමේ” උපක්‍රමයක් හැටියටය.

“අපි මේ දේවල් දේශසීමාවට සීමා කරනවා” ජනාධිපතිවරයා පවසයි.

“අපි, අපේ දේශසීමා හැටියට සලකන්නේ අපේ ගුවන් තොටුපොළ. වෙනත් රටවලට යන ගුවන්මගීන්ට මාරුවීමට පහසුකම් සැලසීම (transit facilities) අපේ එම දේශසීමාවේ එක අංගයක්”

නිරෝධායනයේ තබා සිටින පුද්ගලයන්ගේ රෝග ලක්ෂණ තිබේදැයි දිනපතා පරීක්ෂා කරනු ලැබේ. ඔවුන් අතරින් යම් කිසිවෙකුගේ සිරුරෙහි උණ ගතියක් වේනම් ඔහු/ඇය වහාම වෙනත් ස්ථානයක වෙන්කර තබනු ඇත. ඒ අතර ඔහු/ඇය කොරෝනා (Covid-19) පරීක්ෂණයට භාජනය කෙරෙයි. එවැනි අවස්ථාවන්හි යොදාගන්නා ලද පරීක්ෂණ කට්ටල ඔස්ට්‍රේලියාවට යවන අතර, මේ දක්වා ප්‍රතිඵල ලෙස ලැබී ඇත්තේ ඔවුන් කිසිවෙකුට වෛරසය ආසාදනය වී නොමැති බවය.

අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව “සංසුන් සහ සාමූහික” දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

විශේෂයෙන්ම තම රට පූර්ණ සම්බන්ධතා පවත්වන ඔස්ට්‍රේලියාව සහ තායිවානය ඇතුළු රටවල් තමන්ට දෙන සහයෝගය සම්බන්ධයෙන් නාවුරු ජනාධිපතිවරයා සිය කෘතඥතාව පළ කරයි. එපමණක් නොව, තමා අදහන ආගමත් ඔහුගේ කෘතඥතාවයට ලක්වෙයි.

“සංසුන් සහ සාමූහික”

අර්බුදයක් මැද ජීවත්වෙන නමුත් නාවුරුවාසී සාමාන්‍ය ජනතාව “සංසුන් සහ සාමූහික” දිවියක් ගෙවන බව ජනාධිපතිවරයා සඳහන් කළේය

රතු පාට ලෝක සිතියමක්

ජනාධිපතිවරයා තම දූපත කොරෝනාවෛරසය කොහෙත්ම නොමැති භූමියක් ලෙස පවත්වා ගැනීමේ ප්‍රයතන්යක නිරතවෙමින් සිටින අතරවාරයේ සෙසු ලෝකය අද එවැනි වාසනාවන්ත තත්ත්වයක නොමැති බව ඔහු වටහාගෙන ඇත.

“අපි හැම මොහොතකම Covid-19 සිතියම බලනවා. ලෝක සිතියම හරියට සරම්ප වසංගත කාලෙක වගේ රතුපාට වෙලා. හැමතැනම රතුපාට තිත් ගොඩක්” යනුවෙන් ඔහු පවසයි.

“ඉතින් ජාතියක් හැටියට, අපි විශ්වාස කරනවා අපේ යාඥාවන් සෙසු ජාතීන්ට මේ දුෂ්කර තත්ත්වයෙන් ගොඩ එන්නට උදව්වක් වේවි කියල”

කොරෝනා වෛරස් උවදුර හමුවේ ජාතික මට්ටමින් හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද එකම කුඩා ශාන්තිකර සාගර රාජ්‍යය නාවුරු පමණක් නොවේ. කිරිබති, ටොන්ගා, වනුටු, සහ තවත් දිවයින් එවැනි පියවර ගනු ලැබ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.