කොරෝනා ආසාදනයෙන් බේරීමට පුතා මැරූ ඝාතකයාට සමාව දෙන අම්මා

ආජන්ටිනාව පුරා සිරගෙවල්වලින් සිරකරු කැරලි ගැසීම් වාර්තා විය. ආර්ජන්ටිනා ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් (Alberto Fernández) සිරකරුවන් නිවාස අඩස්සිය තුළ තැබීමට අනුමැතිය දුන්නේය.

මෙම ක්‍රියාමාර්ගය ‘යුක්තිය මග හැරීමක්’ වන බවට ඇතැමෙකු බිය පළකරන අතරවාරයේ තවත් පිරිසක් කියා සිටියේ සිරකරුවන් මුදාහරිනු ලැබීම තවත් පුළුල් මට්ටමින් සිදුකළ යුතු බවය.

“මගේ පුතු මැරූ සිරකරුට කෝවිඩ් මරණයක් එපා”- මවකගෙන් අපරාධකරුවෙකුට සමාවක්!

1114සිල්වියා ඔන්ටිවේරාගේ පුත්, මාධ්‍යවේදි අලෙජෝ හුනාවූ (Alejo Hunau)

මේ අතර සිය පුතු මරා දමන ලද ඝාතකයා ඇදුම රෝගියෙකු වන හෙයින් කොරෝනාවෛරස් වසංගතය හමුවේ දරුණු ජීවිත අන්තරායකට මුහුණ දී සිටින ඔහු ජීවිත දානයක් වශයෙන් දැනට රඳවා සිටින සිරගෙයින් මුදා හරින ලෙස ඉල්ලා සිටි මවක ගැන ද ආජන්ටිනාවෙන් වාර්තා වෙයි.

එම ඉල්ලීම කරන කාන්තාව එම සිරකරු මුදාහරින ලෙසා ඉල්ලා තිබෙන්නේ ආජන්ටිනා බලධාරීන් වෙත යොමු කරන ලද ලිපියක් මගිනි.

එහෙත් පසුගිය පෙබරවාරි මාසයේදී සිල්වියා ඔන්ටිවේරා (Silvia Ontivero) නම් එම කාන්තාව සිය පුතුට මරණය කැඳවූ එම සිරකරු සම්බන්ධයෙන් අනුගමනය කර ඇත්තේ දැඩි පිළිවෙතකි. සිරකරු සිය බන්ධනාගාර ජීවිතයට තාවකාලික විරාමයක් (parole) ඉල්ලා සිටි එම අවස්ථාවේ ඇය මහේස්ත්‍රාත්වරයෙකු හමුවට ගොස් සිය පුතු මරා දැමූ සිරකරුට එවැනි විරාමයක්වත් නොදෙන මෙන් ඉල්ලා සිටියාය.

එහෙත් පැතිර යමින් පවතින කොරෝනාවෛරසය හමුවේ එම කාරණය පිළිබඳව යළිත් සිතා බැලීමට තමා යොමු වූ බව ඇය පවසන්නීය.

‘වෛරයක් තිබුණා-මරණයක් පැතුවේ නැහැ’

“මම ඔහුට වෛර කළා. මට ඔහු ගැන තිබුණේ විශාල තරහක්, කෝපයක්. ඒත් මම කවදාවත් ඔහුට මරණය ප්‍රාර්ථනා කෙරුවේ නැහැ,” සිරකරුවාගේ ජීවිතය ආරක්ෂා කෙරෙන මට්ටමේ ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස බලධාරීන් වෙත යොමුකරන ලද විවෘත ලිපියෙහි සිල්වියා ඔන්ටිවේරා සඳහන් කරන්නීය.

සිල්වියා ඔන්ටිවේරාගේ පුත්, අලෙජෝ හුනාවූ (Alejo Hunau) ‘මෙන්ඩෝෂා’ නගරයේදී මරා දමන ලද්දේ 2004 වසරේදීය.

චූදිත ඩියාගෝ ආර්ඩුයිනෝ (Diego Arduino) එම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් වරදකර කරන ලදුව දහසය (16) වසරක සිර දඬුවමකට යටත් කරනු ලැබිණි.

පසුගිය සතියේ සිකුරාදා පැවති විභාගයකදී ප්‍රකාශයක් කළ විනිසුරු මරියානා ගාර්ඩේ(Mariana Gardey), අලෙජෝ හුනාවූ ‘මෙන්ඩෝෂා’ පළාතේ බරපතළ අනතුරුදායක සෞඛ්‍ය තත්ත්වයක පසුවෙතැයි සැලකෙන 400ක් පමණ සිරකරුවන් අතර එක් තැනැත්තෙකු පමණක් යයි සඳහන් කළාය.

මේ අතර පුවත්පතකට සපයන ලද විවෘත ලිපියක් මගින් අදහස් දැක්වූ සිල්වියා ඔන්ටිවේරා “තමා එම කාරණය පිළිබඳව දීර්ඝ වශයෙන් සහ ගැඹුරින් සිතා බැලීමෙන් අනතුරුව තම පුතු ඝාතනය කළ සිරකරු නිවාස සිර අඩස්සියේ තැබීමේ අදහසට සහයෝගය දීමට තීරණය කළ,” බව කියා සිටියාය.

“අපි දැන් කතා කරමින් සිටින්නේ වෙනත් දෙයක් ගැන. වසංගතයක් ගැන. සිරගෙවල් මිනිසුන්ගෙන් පිරිලා. එම සිරගෙවල්වල ඉන්න මිනිස්සුන්ගේ බිය සහ හැඟීම් මට තේරුම් ගන්න පුළුවන්,” සිල්වියා සිය ලිපිය මගින් කියා සිටින්නීය.

”මේ වසංගතය තුළ ‘ඩියාගෝ’ සිරගෙයි තබා සිටීම ඔහුට මරණීය දණ්ඩනය දීමක් වෙන්න ඉඩකඩ තියෙනව. මම මගේ ජීවිත කාලය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධයි” – සිල්වියා ඔන්ටිවේරා

TN පුවත් සේවයට අදහස් දැක්වූ ඇය මෙසේ සඳහන් කළාය.

“මේ වසංගතය තුළ ‘ඩියාගෝ’ සිරගෙයි තබා සිටීම ඔහුට මරණීය දණ්ඩනය දීමක් වෙන්න ඉඩකඩ තියෙනව. මම මගේ ජීවිත කාලය පුරා ම මරණීය දණ්ඩනයට විරුද්ධයි.”

සිල්වියාත් 1976 -1983 අතර කාලයෙහි ආර්ජන්ටිනාවේ යුද්ධ හමුදා ආඥාදායකත්වය පැවති සමයෙහි නිවාස සිර අඩස්සියේ තබා සිටි දේශපාලන සිරකාරියකි.

තමා එලෙස සිරභාරයේ සිටි කාලය තමා ගැන සිතා බැලීමට කාලය ලබා දුන් බව සිහිපත් කළ සිල්වියා, තම පුතා මරා දැමූ ‘ඩියාගෝ ‘ත් යහපත් මිනිසෙකු බවට පත්වීමට අවශ්‍ය ප්‍රමාණවත් කාලය සහතික කිරීම සිය උවමනාව වූ බවත් මින් පෙර ප්‍රකාශ කර තිබිණි.

‘ඩියාගෝ ‘ කල්තබා සිරගෙයින් මුදාහරිනු ලැබීමට තමා එරෙහි වුණේ, ඔහු යහපත් මිනිසෙකු කිරීමේ අදහසින් බවත් ඇය සඳහන් කර ඇත.

සිල්වියාගේ ඝාතනයට ලක්වූ පුත් ‘අලෙජෝ’ මාධ්‍යවේදියෙකි. එසේ ම ඔහු ‘මෙන්ඩෝෂා’ ප්‍රාදේශීය ආණ්ඩුවේ උපදේශකයෙකු ද විය.

ඔහු සිය තට්ටු නිවාසයේ සිටියදී මරා දමනු ලැබ තිබුණේ වයින් බෝතලයකින් පහර දීමෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.