තිස්ස විජේසුරේන්ද්‍ර තිස්තුන් වසරකින් ජීවිතය දිගු කර ගත් හැටි

එක්සත් ජාතික පක්ෂ සභාපති හර්ෂ අබේවර්ධන මහතා එකළ දිනපතා එජාප පක්ෂ මූලස්ථානය වන සිරි‍කොත වෙත පැමිණෙන්නේ කොල්ලුපිටියේ සිටයි. එවකට ඔහු පදිංචිව සිටියේ කොල්ලුපිටිය අර්තුසා ලේන් හි පිහිටි සිය බිරිඳට අයත් නිවසේය.

සිරි‍කොත වෙත පැමිණෙන එජාප සභාපතිවරයාගේ මෝටර් රථයට අතරමගදී තවත් පුද්ගලයෙක් එකතු වෙයි. ඒ පසුගිය 11 වැනිදා දිවියෙන් සමුගත් ප්‍රවීන සිනමා නළු තිස්ස විජේසුරේන්ද්‍ර මහතාය. ඔහු එවකට සිරි‍කොත එජාප මූලස්ථානයේ මැනේජර්වරයාය.

හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා කොළඹ මහ නගර සභා මන්ත්‍රීවරයෙකුව සිටින සමයේදී ඔහු හා තිස්ස විජේසුරේන්ද්‍ර මතා සමීප සබඳතා පැවැත්වූ අතර ආර්. ප්‍රේමදාස මහතා සිය ‍දේශපාලන කටයුතු සඳහා යන්නේ තිස්ස විජේසුරේන්ද්‍රවද තම මොරිස් මයිනර් රථයට නංව‍ාගෙනයි.

මෙම ඇසුර හරහා තිස්ස, හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා සමග සම්බන්ධ වන අතර අවසානයේ ‍ජයවර්ධන මහතා විසින් මේ සිනමා නළුවා එජාප මූලස්ථානයේ මැනේජර්වරයා ලෙස පත් කරයි.

1987 වසරේ දෙසැම්බර් මස එක්තරා දෛවෝගත දිනයක හර්ෂ අබේවර්ධන මහතා සිය මෝටර් රථයට නැගී තිස්ස‍ගේ නිවස බලා පිටත්ව යන්නේ ඔහුවද රැගෙන සිරිකොත වෙත යෑම සඳහායි. තිස්ස පිටත්ව යාමට සැරසෙද්දී ඔහුගේ බාල දියණිය උදයන්ති හඬමින් සිය පියාගේ ගමනට බාධා කරයි. ඒ තමාට බීමට යමක් අවශ්‍ය බව පවසමිනි.

එජාප සභාපති හර්ෂ අබේවර්ධන මහතා සිය සගයාට පවසන්නේ ඇයට බීම එකක් සාදා දෙන ‍තෙක් තමාට රැඳී සිටිය හැකි බවයි. ඒ අනුව තිස්ස ලහි ලහියේ සිය දියණියගේ බීම එක සාදා දී මෝටර් රථයට ගොඩවීමට සූදානම් වන අවස්ථාවේදී දියණිය නැවතත් හඬමින් පවසා ඇත්තේ එය සිය පියා‍ගේ අතින්ම බීමට අවශ්‍ය බවයි.

සිය දියණි‍යගේ හුරතලය නිසා එජාප සභාපතිවරයාගේ ගමනට බාධා කළ නොහැකි හෙයින් තිස්ස, හර්ෂ අබේවර්ධන මහතාට පවසා ඇත්තේ තමා පැමිණෙන තෙක් නොසිට තනිවම සිරිකොත බලා පිටත්ව යන ලෙසයි. ඒ අනුව තිස්ස නොමැතිව හර්ෂ අබේවර්ධන මහතා තනිවම පිටත් විය.

ඒ දෛවෝපගත දිනයේදී මේ සිදු කරන්නේ තමන්ගේ අවසන් කතාබහ බව ඔවුන් දෙදෙනාම දැන සිටියේ නැත. තිස්ස නොමැතිව සිරි‍කොත බලා පිටත් වූ හර්ෂ අබේවර්ධන මහතාට වැල්ලවත්තේදී සිය ගමනට පමණක් නොව ජීවිත ගමනටද තිත තැබීමට සිදුවන්නේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ තුවක්කුකරුවකුගේ වෙඩි වර්ෂාවකට මැදි වෙමිනි.

සිය බාල දියණියගේ හුරතලය හේතුවෙන් තිස්සට තවත් අවුරුදු 33 කට ආසන්න කාලයක් ජීවත් වීමට වාසනාව හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.