දිගු ගමනකට හිමිකම් කියන රනිල්

මෙයට වසර පනහකට හැටකට පෙර බ්‍රිතාන්‍ය බොහෝ දෙනා ජාතිවාදී වර්ණවාදීන් වූහ. හැත්තෑව දශකය හා ඊට පෙර බ්‍රිතාන්‍ය රාජ්‍ය සේවයේ ඉහළ නිලධාරී තනතුරු සියල්ලම ලැබුණේ සුදු ජාතිකයන්ටයි. නැතිනම් යුරෝපා ඇමරිකාවලින් සංක්‍රමණය වූ සුදු විජාතිකයටන්ය. රාජ්‍ය ආයතනයක රෝහලක හෝ රජයේ දෙපාර්තමේන්තුවක ඉහළම තනතුරක් ආසියා – අප්‍රිකානුවෙකුට ලැබුණා නම් ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඒ ඔහුගේ සුදුසුකම් අනුව නොදී බැරි වූ නිසාය. ආසියා – අප්‍රිකා කළමනාකාර අධ්‍යක්ෂවරයකු යටතේ සුද්දන් වැඩ කළේ එතරම් කැමැත්තකින් නොවේ. කොහොම හරි කළු ලොක්කාගේ බෙල්ල කැපීමට සුදු නිලධාරීන් නිතර කුමන්ත්‍රණය කිරීම ඒ දිනවල සාමාන්‍ය සිද්ධි විය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තත්ත්වයද එයට වෙනස් නොවීය. මාරුවෙන් මාරුවට බලයට පැමිණි කොන්සර්වටිව් හා ලේබර් පක්ෂ දෙකේම මන්ත්‍රීවරු 100 %ක්ම සුදු ජාතිකයන් වූහ.

නමුත් පසුගිය අවුරුදු පනහ තුළ සහජීවනය හා සමානාත්මතාවය අතින් බ්‍රිතාන්‍යය බොහෝ ඉදිරියට පැමිණ ඇත. රජයේ දෙපාර්තමේන්තු, පෞද්ගලික ආයතන, කර්මාන්තශාලා, සරසවි හා රෝහල්වල මුල් පුටු දරන ආසියා හා අප්‍රිකානු සම්භවයක් ඇති පුරවැසියන් දහස් ගණන් දැන් බ්‍රිතාන්‍යයේ සිටිති.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේත් දැන් පුදුමාකාර වෙනසක් දකින්නට තිබේ. මෙයට අඩ වසරකට පෙර බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ කළු හම තියෙන මන්ත්‍රීවරු කිසිවකු සිටියේනැත.පසුගිය දෙසැම්බර් 12දා පත්වුණ වත්මන් පාර්ලිමේන්තු‌වේ කළු හා ආසියාතික මන්ත්‍රී ගණන 67ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම මන්ත්‍රීවරුන් අතර සිටින එකම ලාංකික සම්භවයක් ඇති මන්ත්‍රීවරයා හොරණ මුල්ගම වූ ලාංකිකයෙකුගේ පුතෙකු වන රනිල් ජයවර්ධනය.

රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍යයේ මන්ත්‍රීවරයාට තම පිය පාර්ශ්වයෙන් ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් නෑ පිරිසක් සිටී. රනිල්ගේ සීයා හොරණ අඟුරුවාතොට මදුරාවල ඉඩම් හිමි වැවිලිකරුවකු වූ හෙන්රි ජයවර්ධන මහතාය. මුංවත්ත බාග පත්තුව ගම් සභාවේ සභාපති හා ප්‍රසිද්ධ සමාජ සේවකයකු වූ හෙන්රි විවාහ වූයේ බද්දේගම ගොඩේවත්ත තේ කර්මාන්ත ශාලාව හිමිව සිටි අල්විස් අබයවික්‍රම මහතාගේ දියණියක් වූ ඩේසි අබයවික්‍රම සමගය. ඩේසිගේ සොයුරු සොයුරියන් එකළොස් දෙනා අතර ඩී.එස්. සේනානායක රජයේ උප ඇමැතිවරයකු සයිමන් අබයවික්‍රම හා බණ්ඩාරනායක රජයේ ප්‍රබල ඇමැතිවරයකු වූ හෙන්රි අබයවික්‍රමද විය. හෙන්රි හා ඩේසිට ලක්ෂමන්, අසෝක, නලීන් හා ආනන්ද නම් පුතුන් හතර දෙනෙකු විය.

මෙම පවුලේ ආනන්ද ජයවර්ධන මා සමග කොළඹ ආනන්ද බෝඩි‌මේ එකට සිටි මිතුරකි, 1978 දී ආනන්ද අයියා හා නලින් ජයවර්ධන වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට පැමිණියේය. විභාග සමත් වී ගණකාධිකාරිවරයකු ලෙස එංගලන්තයේ සේවය කළ නලීන් 1981 දී තම ඉන්දියානු පෙම්වතිය වූ ඉන්දිරා සමග විවාහ විය. නලින් ජයවර්ධන Hampshire පළාතේ මහෙස්ත්‍රාස්වරයෙක් වශයෙන්ද සේවය කළ ප්‍රසිද්ධ සමාජ සේවකයෙකි. මෙම යුවළගේ කුළුදුල් දරුවා වශයෙන් රනිල් මැල්කම් ජයවර්ධන උපත ලද්දේ 1986 සැප්තැම්බර් මාසයෙදීය.

1991 දී පස්හැවිරිදි රනිල් ජයවර්ධන දෙමව්පියන් සමග ආපසු ලංකාවට ආවේ තුශානි මේරියන් නංගී කෙනකු හා රවීන්ද්‍ර නමැති පුංචි මල්ලීද සමගය. තම දෙමව්පියන් සමග ලංකාවට නිවාඩුවට පැමිණි ආනන්ද බාප්පාගේ ගෙදර නැවතී ප්‍රීතිමත් කාලයක් ගත කළේය.

තම සොහොයුරා ආනන්ද ජයවර්ධන බිරිඳ අවන්ති හා උපේකා, ඉසුරුනි දියණිය සමග රට වටේ යමින් නලින් හා ඉන්දිරා යුවළ තම දරුවන් තිදෙනාට ශ්‍රී ලංකාවේ සුන්දරත්වය හා සිංහල සංස්කෘතිය ගැන මනා අවබෝධයක් ලබා දුන්නේය. එංගලන්තේ ඉපදුනු රනිල් ජයවර්ධනට තමන්ගේ මව් පිය පරම්පරාවේ ශ්‍රී ලංකාව ගැන බලවත් ආදරයක් ඇති වූයේ එම සංචාරයේදීය.

Hampshire ප්‍රාන්තයේ Alton නුවර Alton විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ රනිල් ජයවර්ධන 2008 දී ලන්ඩන් ඉහළතම සරසවියක් වූ London School of Economics ආයතනයෙන් ආර්ථීක විද්‍යාව පිළිබඳ ඉහළ උපාධියක් ලැබීය.

ලන්ඩන් නුවර ලොයිඩ්ස් බැංකුවට අයත් ඉහළ පෙළේ ආර්ථික මධ්‍යස්ථානයක උසස් නිලයක් දරමින් සිටින අතරේ රනිල් ජයවර්ධන බ්‍රිතාන්‍ය කොන්සර්වටිව් පක්ෂයේ ප්‍රබල ආධාරකරුවකු වශයෙන් කටයුතු කළේය. 2008 සිට 2015 දක්වා Deane නගරයේ නගර සභාවේ මන්ත්‍රීවරයකු වශයෙන් වැඩ කරමින් පළාතේ ඡන්දදායකයින්ගේ ජනාදරය දිනාගැනීමට රනිල් සමත් විය. 2015දී පළාතේ කොන්සර්වටිව් මන්ත්‍රී James Arbuthnot විශ්‍රාම ගත් විට ඊළඟ ඡන්දයට රනිල් ජයවර්ධනට නාම යෝජනා දෙන ලෙස කොන්සර්වටිව් පක්ෂයේ ආධාරකරුවෝ දහස් ගණනින් අගමැති ඩේවිඩ් කැමරන්ගෙන් ඉල්ලා සිටියහ. එහි ප්‍රතිඵලය වූයේ 2015 මැයි බ්‍රිතාන්‍ය මහා මැතිවරණයෙන් රනිල් ජයවර්ධන වැඩි ඡන්ද 20211කින් North East Hampshire ආසනයේ මන්ත්‍රීවරයා ලෙස පත්වීමයි. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවට බොහෝ ආසියා-අප්‍රිකා සම්භවයක් ඇති මන්ත්‍රීවරුන් පත්වන්නේ ඔවුන්ගේ ආසනවල 30%ක් 40%ක් පමණ කළු ජාතිකයන් සිටින නිසාය. නමුත් 2015 දී රනිල් ජයවර්ධනගේ ඡන්ද ආසනයේ 91%ක්ම සිටින්නේ සුදු ජාතිකයන්ය. සුදු අපේක්ෂකයන් හත අටක් සිටිද්දී Hampshire ආසනයේ ඡන්ද දායකයන් ඔහුට විශාල වශයෙන් ඡන්දය දුන්හ.

2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී 650ක් වූ ආසනවලින් වැඩිම වැඩි ඡන්ද ගණන ලබාගත් මන්ත්‍රීවරයා වශයෙන් වාර්තාවක් පිහිටුවූයේත් රනිල් ජයවර්ධනය. බ්‍රිතාන්‍ය රනිල් ජයවර්ධන 2017 හා 2019 මහා මැතිවරණවලදීද අති විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් තම ආසනය රැකගත්තේය.

ශ්‍රී ලංකාවට බෙහෙවින් ආදරය කරන රනිල් ජයවර්ධන 2017 දී ශ්‍රී ලංකා කටයුතු සොයා බලන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා බවට නිතරගයෙන් පත්විය. 2018දී විශ්‍රාම වැටුප් අමාත්‍යාංශයේ හා අධිකරණ අමාත්‍යාංශයේ පාර්ලිමේන්තු පෞද්ගලික ලේකම් පදවිවලින් පුද ලැබූ රනිල්ට එවකට අගමැතිනි තෙරේසා මේ මහත්මියි. ශ්‍රී ලංකා – බ්‍රිතාන්‍ය වෙළෙඳ සබඳතා සංගමයේ සභාපති ධුරය ද පිරිනැමුවාය.

කොන්සර්වටිව් පක්ෂය තුළ රනිල් ජයවර්ධන කොතරම් ජනප්‍රිය වුවාද කියනවා නම් පක්ෂයේ උප සභාපති ධුරයද ලැබුණේ ඔහුටමය. රනිල් ජයවර්ධන ඇමැතිගේ බාප්පා හා මගේ පාසල් මිතුරා ආනන්ද ජයවර්ධන තම ඥාති පුත්‍රයා ගැන මෙසේ කියයි.

මගේ අයියා නලීන් හා මුළු පවුලම ලංකාවට නිවාඩුවට ආවාම නවතින්නේ මගේ අඟුරුවාතොට ගෙදරයි. මට මතකයි රනිල් රවී කුෂානියි මගේ දුවයි උපේකයි දවස පුරාම අපේ වත්තේ ක්‍රිකට් ගහපු හැටි. එංගලන්තේ ඉපදුනයි කියලා රනිල්ට පුංචි කාලේ ඉඳලම කිසිම අහංකාරකමක් තිබුනේ නැහැ. නිවාඩුවට රනිල් ලංකාවට ආවාම මේ ළඟ කඩේකින් පෑන් පැන්සල් කොපි පොත් සල්ලිවලට අරන් එයාගේ නංගියි මල්ලියි අපේ දුවයි අරං ගම පුරා ඇවිද දුප්පත් ළමයින්ට ඒවා බෙද බෙදා ගියා.

එයා පුංචි කාලේ ඉඳලම හරි නිහතමානියි. අනුන්ව ඇදගන්න ශක්තියක් එයාට තියනවා එංගලන්තේ සුදුම සුදු ඡන්ද කොට්ඨාසයක් පිට පිට තුන් වරක්ම වැඩි ඡන්ද 20000කට වැඩිය අරන් දිනන්න එයාට පුළුවන් වුණේ ඒ නිහතමානීකම නිසයි. අන්තිම සැරේට රනිල් 2018දී තව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරු තුන්දෙනෙක් එක්ක නිවාඩුවකට ඇවිත් අපිව බලන්නත් ආවා. ගැමි ජීවිතයට කැමැති රනිල් පුතා නැවතුණේ අපේ ගෙදරයි. පුංචි කාලේ වගේ ඒ පාරත් පුතා තමන්ගේ මන්ත්‍රී යාළුවෝ එක්ක ලංකාවේ සුන්දරත්වය බලන්න රට වටේ ගියා. කතරගම යන ගමන් ඉද්දෙගමටත් ගිහින් තමන්ගේ ඩේසි ආත්තම්මාගේ පරණ වලව්වත් නරඹලා අබයවික්‍රම පරපුරේ නෑයොත් හමුවෙලා ඔහු හුඟක් සතුටු වුණා. බ්‍රිතාන්‍යයේ ඉහළ පෙළේ දේශපාලනඥයෙක් වුණාට රනිල් පුතා හැසිරුණේ හොරණ පැත්තේ ඉපදුන ගමේ කොල්ලෙක් වගේ.’

2019 මැතිවරණයේදී බ්‍රිතාන්‍ය යුරෝපා හවුලෙන් ඉවත් කර ගැනීමට අපට ඡන්දය දෙන්නැයි කියමින් බොරිස් ජොන්සන් රට වටේ යද්දී ඔහුගේ ප්‍රධානතම ආධාරකරුවකු වූයේ රනිල් ජයවර්ධනය.

එයට කෘතගුණ සැලකීමක් වශයෙන් හා ඔහුගේ ආර්ථික විශේෂඥ මොළයෙන් ඉහළ ප්‍රයෝජනය ලබාගැනීම සඳහා අගමැති බොරිස් ජොන්සන් පසුගිය පස්වැනිදා රනිල් ජයවර්ධන මන්ත්‍රීවරයාට වෙළෙඳ ඇමැති පදවිය පිරිනමන ලදී. බ්‍රිතාන්‍ය කැබිනට් ඇමැතිවරු හඳුන්වන්නේ (Secretary of State) කැබිනට් ලේකම්වරු වශයෙනි. බ්‍රිතාන්‍ය වෙළෙඳ කටයුතු පිළිබඳ කැබිනට් ලේකම් වෙළෙඳ ඇමැති වන්නේ LYNNE TRUSSHය. මෙම ඇමැතිනියට සහායට රාජ්‍ය ඇමැතිවරුද පාර්ලිමේන්තු ලේකම් හෙවත් උප ඇමැතිවරුද හතර දෙනෙක් සිටිති. රනිල් ජයවර්ධන මන්ත්‍රීතුමාට අගමැතිතුමා ලබාදී ඇත්තේ වෙළෙඳ ඇමැතිනිය යටතේ පවතින වෙළෙඳ ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමැති (Under secretary of state for trade policy) ධුරයයි. මෙයට කලින් දෙවරක් උප ඇමැති ධුර දරා ඇති, ජයවර්ධන මහතාට මෙම රාජ්‍ය ඇමැති ධුරයේ වැඩ කිරීම ඉතා පහසු කරුණක් වනු ඇත.

මෙයට වසර පනහකට හැටකට පෙර බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලය තුළ ආසියානුවෙකු දැකීම අපට සිහිනයක් පමණක් විය. නමුත් සමානාත්මතාවය බ්‍රිතාන්‍යයේ ඉතා ඉහළට ගොස් තිබේ. වත්මන් බ්‍රිතාන්‍ය කැබිනට් මණ්ඩලයේ ප්‍රධානතම ඇමැතිකම් දෙක වූ මුදල් ලේකම්, ස්වදේශ ලේකම් පදවි හොබවන්නේ ආසියා සම්භවයක් ඇති රිෂී සුනක් හා ප්‍රී පැටල්ය. වත්මන් ඇමැති මණ්ඩලයේ ආසියා-අප්‍රිකා සම්භවයක් ඇති රාජ්‍ය හා උප ඇමැතිවරු 17ක්ද සිටිති. රනිල් ජයවර්ධන මෙම කණ්ඩායමට එකතු වූ අලුත්ම ඇමැතිවරයාය.

ඉංග්‍රීසි කාන්තාවක් වූ Alison Lyn සමග විවාහ වූ රනිල් ජයවර්ධනට දැන් දරුවන් දෙදෙනෙකු සිටී.

පසුගියදා ලන්ඩන් ටෙලිග්‍රාෆ් පත්‍රය මෙම ආසියා-අප්‍රිකා සම්භවයක් ඇති වත්මන් ඇමැතිවරුන් සියලු දෙනාගේම දේශපාලන අනාගතය ගැන අපූරු විග්‍රහයක යෙදුණේය. අවසානගේ ඔවුන්ගේ නිගමනය වූයේ තව අවුරුදු 20කින් හෝ 25කින් බ්‍රිතාන්‍ය ඉතිහාසයේ ප්‍රථම ආසියා අගමැතිවරයා වන්නේ රිෂී සුනත්, ප්‍රීති පැටල් හා රනිල් ජයවර්ධන යන තිදෙනාගෙන් එක් අයකු බවයි.

රනිල් ජයවර්ධන මතු දවසක මහා බ්‍රිතාන්‍ය අගමැති වුවහොත් එය මුළු ශ්‍රී ලංකාවටම මහත් ගෞරවයක් මෙන්ම අපගේ බලවත් අමන්දානන්දයට හේතුවනුු ඇත.

බ්‍රිතාන්‍ය ඉංජිනේරු ගාල්ලේ දෙව්සිරි පී. හේවාවිදාන

ලන්ඩන් නුවර සිට ලියයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.