
කොරෝනාවෛරස් වසංගතය හේතුවෙන් සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට සිදුවූ වෛද්‍යවරයෙකු සහ හෙදියක ඔවුන් සේවය කරන රෝහලේදී ම විවාහ වී තිබේ.
34 හැවිරිදි ජෑන් ටිපිං සහ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 30 හැවිරිදි අන්නාලන් නවරත්නම් ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලේ පිහිටි දේව සභාවකදී විවාහපත් වූහ.
ආරාධිතයින් දූරස්ථව ඔවුන්ගේ සුවිශේෂී දිනය සැමරීමට එක්ව සිටි අතර එක් සාක්ෂිකරුවෙකු විසින් විවාහ මංගල දේව මෙහෙය සජීවීව සමාජ මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබිණි.
ඔවුන් දෙපළ පැවසුවේ, “සියලු දෙනා තවමත් සෞඛ්‍ය සම්පන්නව සිටින අතරතුර” සිය මංගල උත්සවය සිදු කිරීමට තීරණය කළ බවය.
ජෑන් ටිපිං සහ අන්නාලන් නවරත්නම් අගෝස්තු මාසයේ පැවැත්වීමට සැලසුම් කර තිබූ මංගල උත්සවය අවලංගු කර දැමුවේ, ඔවුන්ගේ දෙමාපියන්ට උතුරු අයර්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ සිට ආරක්ෂිතව පැමිණීමට නොහැකි වනු ඇතැයි යන බිය හේතුවෙනි.
ඒ අනුව දකුණු ලන්ඩනයේ පදිංචි එම යුවළ සිය මංගල උත්සවය අගෝස්තු මාසයට පෙර පෞද්ගලික උත්සවයක් වශයෙන් පැවැත්වීමට තීරණය කළහ.
ගිලන් රථ හදිසි සේවා හෙද නිලධාරිනියක වන ජෑන් ටිපිං පැවසුවේ, “අපිට අවශ්‍ය වුණේ අපට ආදරය කරන සියලු දෙනාට තිරයක් හරහා හෝ අපේ විවාහ සැමරීම දැකගන්න සැලැස්වීමටයි,” යනුවෙනි.