මටත් මහන්සියි – ලසිත් මාලිංග

lasith-malinga

ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය හා බැඳුණු ඡන්ද ක්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට අවශ්‍ය දිගු කාලීන වෙනස්කම් සිදුකළ හැකි ද යන්න තමන්ට ගැටලුවක් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පවසයි. ලසිත් මාලිංග මේ බව පැවසුවේ, තම අවසන් එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය අතරතුර විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“මම දන්නේ නැහැ මේ තියෙන ඡන්ද ක්‍රමත් එක්ක මේ දිගු කාලීන යෝජනා ඉටු කරන්න පුළුවන් ද කියලා, නමුත් කරන්න පුළුවන් සරල පොඩි දේවල් තියෙනවා මම දැන් අවුරුදු 6,7ක් තිස්සේ යෝජනා කරන,” ලසිත් මාලිංග කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පළමු පෙළ කණ්ඩායම් අඩු කර ශක්තිමත් පළාත් තරගාවලියක් සකස් කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයන් වන අරවින්ද ද සිල්වා, මහේල ජයවර්ධන හා කුමාර් සන්ගකකාර ඉදිරිපත් කර තිබෙන යෝජනාව ඉටුකළ හැකි නම් එය ඉතා යහපත් බව ලසිත් මාලිංග පවසයි.

කුණු කූඩයට ගිය මහේලගේ ක්‍රිකට් සැලසුම
ක්‍රිකට් ‘නැති වුනේ’ ඇයි? – මාලිංගගේ විග්‍රහය

“මහේල අයිය, කුමාර් අයිය කියන එක සාධාරණයි. කරන්න පුළුවන් නම් එය ඉතා හොඳයි. ඒවා කරන්න බැරි නම් කෙටි කාලීන විසඳුම්වලට යන්න ඕනේ. අපිට මේ වෙලාවේ දෙන්න පුළුවන් ලේසි දේවල් කරන්න තියාගෙන ගොඩාක් දුර හිතුවොත් ඒක ප්‍රායෝගික නැහැ.”

ලසිත් මාලිංග යෝජනා කරන කෙටිකාලීන විසඳුම්

දේශීය තරග ක්‍රීඩා සමාජවලට අයත් ක්‍රීඩාංගණවල පමණක් ක්‍රීඩා නොකර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට අයත් ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ක්‍රීඩා කිරීම.
“මම දන්න විදිහට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දවසකට මේ සාමාන්‍ය ක්‍රීඩාංගණයකට රුපියල් 80,000ක් ගෙවනවා තරගයක් පවත්වන්න. දවස් තුනේ තරගයකට මේක තුන් ගුණයක්. ජාත්‍යන්තර ක්‍රීඩා පිටි 5ක් විතර ලංකාවේ තියෙනවා. මම කියන්නේ මේ සල්ලි ක්‍රීඩා සමාජවලට දෙන්න එපා. තරග 10ක් තියෙනව නම් 5කට දෙන්න ඉතිරි තරග ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල ගහන්න. එතකොට අවුරුදු 3ක් යනකොට සෑම දේශීය ක්‍රීඩකයෙක් ම ශ්‍රී ලංකාවේ තියෙන ජාත්‍යන්තර ක්‍රීඩාංගණවල තරග 10ක් වත් ක්‍රීඩා කරලා අත්දැකීම් ලබාගන්න පුළුවන්. මේ ළමයින්ට ඒ ක්‍රීඩාංගණවල ක්‍රීඩා කරන්න හොඳට පුරුදු වෙනවා පොඩි ක්‍රීඩාංගණවල විතරක් ක්‍රීඩා කරන්නේ නැතුව,” ලසිත් මාලිංග සඳහන් කළේය.

“අපිට ක්‍රීඩාංගණ තියෙනවා නම්. සල්ලි දෙන්නේ අපි නම් ඇයි අපි සල්ලි දෙන්නේ. අපි සල්ලි දෙන්නේ නැතුව ක්‍රීඩාංගණ දෙන්න පුළුවන්නේ” ලසිත් මාලිංග යෝජනා කරයි.

පන්දු යවන්නන් ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ පුහුණුවීම්වල පන්දු යවන්න යොදන්න
“IPL කණ්ඩායම් 8ක් තියෙනවා. මාස එක හමාරක් තුළ ඔවුන් තරග ක්‍රීඩා කරනවා. අපේ ලංකාවේ ඉන්න වේග පන්දු යවන්නන් හා දඟ පන්දු යවන්නන් හැම කණ්ඩායමක ම දෙන්නෙක් ගාණේ පුහුණුවීම්වල පන්දු යැවීමට යවන්න. ඒ කාලයට ව්යදම් කරලා, හෝටලයේ කාමරයක් දාලා, කන්න දීලා යවන්න. එතකොට ඒගොල්ලෝ එහෙ ඉන්න ලෝකයේ හොඳ ම පිතිකරුවන්ට පන්දු යවන්නේ. එතකොට ඒ ගොල්ලෝ තනියෙන් ඉගෙන ගන්නේ. පහර නොකා ඉන්න ඉගෙන ගන්න ඕනේ. බේරෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒ හැකියාවන් වර්ධනය වෙනවා එතකොට,” ලසිත් මාලිංග සඳහන් කළේය.

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් වැනි විස්සයි විස්ස තරගාවලියක් අවශ්‍යයි.
“ශ්‍රී ලංකාවේ SLPL තරගාවලියක් ගැහුවා ඒක නැවතුණා. ඒ නිසා මේ ක්‍රීඩකයන්ට ඒ අවශ්‍ය අත්දැකීම් ලැබෙන්නේ නැහැ. පීඩනය දරා ගන්නේ කොහොම ද? ඒ අවශ්‍ය වෙලාවේ ක්‍රීඩා කරන්නේ කොහොම ද? කියලා ඊට අවශ්‍ය හැකියාවන් මොනවා ද? කියලා. සෙනග කෑගහනකොට ක්‍රීඩා කරන්නේ කොහොම ද කියලා,” මාලිංග කියා සිටියේය.

බීබීසී සිංහල සේවය සමග පැවැත්වූ මෙම සාකච්ඡාවේදී ලසිත් මාලිංග ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තේරීම් කමිටු කටයුතු කරන ආකාරය ද දැඩි විවේචනයට ලක් කළ අතර තමන් දක්ෂතා අතර සිටියදී කණ්ඩායමෙන් ඉවත් කිරීමට ද කටයුතු කළ බවට පසුගිය තේරීම් කමිටුවට චෝදනා කළේය. 2017/18 ක්‍රිකට් වාරයේ ලසිත් මාලිංග වසරක් පමණ කණ්ඩායමෙන් ඉවත් කර තිබිණි.

“2018 නිදහස් කුසලානයට කණ්ඩායම තෝරා ගන්න තිබුණු දේශීය තරගාවලියේ මම වැඩි ම කඩුලු ලාභියා. මම ගිහිල්ලා ඇහුව ම ඒ තේරීම් කමිටුවෙන් ඒ ගොල්ලෝ තෝරන 15 දෙනාගේ සංයුතිය අනුව මට ස්ථානයක් නැහැ කිව්වා. මම දන්නේ නැහැ ඒ ගොල්ලෝ ක්‍රිකට්වල මොන දැනුමෙන් මේ දේ කිව්ව ද කියලා,” ලසිත් මාලිංග සඳහන් කළේය.

එවකට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර සමග ඇති වූ මත ගැටුම ඊට හේතුවක් වන්නට ඇත්දැයි විමසූ විට ලසිත් මාලිංග පැවසුවේ ක්‍රීඩා අමාත්‍යවරයා ඉලක්ක කර තමන් කිසිදු ප්‍රකාශයක් සිදු නොකළ බවය.

“ඒක මම දන්නේ නැහැ. අපියි ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ. යම් කිසි කෙනෙක් තමන් දන්නේ නැති දෙයක් කතා කළොත් ක්‍රීඩාවේ යෙදෙන කෙනෙක් හැටියට මගේ වගකීම තමයි ක්‍රීඩාව රැක ගැනීම. ඒ වෙනුවෙන් මම කතා කරනවා. එතකොට ඒක වදින්නේ ක්‍රීඩා ඇමතිතුමාට ද කාට ද කියලා මට අදාළ නැහැ. ඒ අවස්ථාව ඒ ගොල්ලෝ ප්‍රයෝජනයක් ගත්ත ද දන්නේ නැහැ මගෙන් තරහක් පිරිමහගන්න. මම කණ්ඩායමේ ඉන්න එක ඔවුන්ගේ වැඩ කටයුතුවලට බාධාවක් ද කියල මම දන්නේ නැහැ.”

මාලිංගට පරීක්ෂණයක්

“මගෙන් වගේ පොඩි අයගෙන් පළිගන්න ලැහැස්ති වුණොත් ඒ අය ක්‍රීඩාවෙන් අයින් වුණොත් ඒ හැකියාවන් ආයේ ගන්න බැහැ වැඩි ම කඩුලු ලාභියා වෙලා අවුරුදු 16ක් ක්‍රිකට් ගහපු මාව එළියට දැම්ම නම් පොඩි කට්ටිය එළියට දාන එක මහ දෙයක් නෙවෙයි,” ලසිත් මාලිංග කියා සිටියේය.

මෙම සාකච්ඡාවේදී ලසිත් මාලිංග තමන් ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායකත්වය දැරූ අවදිය පිළිබඳව ද අදහස් පළ කළේය. ලසිත් මාලිංග මෙම ලෝක කුසලානයට පෙර ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කෙරිණි. බීබීසී සිංහල සේවය ලසිත් මාලිංගගෙන් විමසුවේ ඔහු අසාර්ථක නායකයෙක් ද යන්නයි.

“ප්‍රතිඵල අතින් මම සාර්ථකයි. මගේ නායකත්වය යටතේ මුලින් ම 2014න් පස්සේ රටට ගහපු ක්‍රීඩකයෝ බලන්න. ඒගොල්ලෝ අද කොතන ද ඉන්නේ කියලා. මම සාර්ථක නායකයෙක්. මම පසුපෙළ ලංකාවේ ඉදිරි අනාගතය පෙන්නලා දීලා ඒ දේ මම කරලා තියෙනවා. මම හඳුන්වලා දුන්නු ක්‍රීඩකයන් බැලුවහම තේරුම් ගන්න පුළුවන් මට ක්‍රිකට්වල දැක්මක් තිබුණ ද කියලා,” ඔහු කියා සිටියේය.

“මම එක්දින කණ්ඩායමේ නායකත්වය දරපු කාලේ මට පුළුවන් හම්බවෙන ක්‍රීඩකයන් හසුරුවන්න විතරයි. පන්දු වාර 50ක් බැට් කර ගන්න බැරි වෙලාවේ ඒ ටීම් එක අරන් මැදට යන මම ද වැරදි නැත්නම් ඕවර 50 බැට් කරන්න බැරි වෙච්ච කට්ටිය හදපු කට්ටිය ද වැරදි?”

වාද විවාදවලින් ඇරඹී සුහදව අවසන් වූ ‘ක්‍රීඩා ඇමති – ක්‍රීඩක හමුව

‘ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ගැටුම් ‘උග්‍ර අතට’

ලසිත් මාලිංගට කණ්ඩායමේ එකමුතුකම ඇති කිරීමට නොහැකි වීම ඔහු නායකත්වයෙන් ඉවත් කිරීමට හේතුවක් ලෙසට ඔහු ඉවත් කළ අවස්ථාවේ වාර්තා පළවිය.

“එකතුකම මට හදන්න බැහැ. මහේල ජයවර්ධන නායකත්වය දරන කොට මම ගිහින් එයාට සහයෝගය දුන්න මිස එයා ඇවිල්ල මගේ සහය ගත්තේ නැහැ. දිමුත් නායකත්වය දරද්දී මම මගේ 100% දෙනවා.”

“සමහරක් වෙලාවට වෙන්නේ ලකුණක් ගහගන්න බැරි වුණා ම. කඩුල්ලක් ගන්න බැරි වුණා ම චෝදනා කරනවා නායකයාට මෙයා නිසා ලකුණු සහ කඩුලු ගන්න බැරි වුණා කියලා. තමන්ගේ අඩුපාඩුව පිළිගන්නේ නැහැ.”

“අපේ කට්ටිය පුරුදු වෙලා ඉන්නේ ලකුණක් ගැහුවොත් මම මේක කෝච් වෙනුවෙන් ගැහුවේ හැබැයි බින්දුවක් ගහලා එන දවසට කවුරුත් නැහැ වග කියන්න,” ලසිත් මාලිංග කියා සිටියේය.

“අවුරදු 10ක් තිස්සේ මට ගහපු විදිහට ඔය හැම මාධ්‍යයක් ම වෙන ක්‍රීඩකයෙක්ට ගැහුව නම් මම හිතන්නේ නැහැ ඒ ක්‍රීඩකයෝ කෙලින් වෙලා එයි කියලා,” මාධ්‍ය පිළිබඳව අදහස් දක්වමින් ලසිත් මාලිංග කියා සිටියේය.

තමන් දැන් ක්‍රීඩා කරමින් සිටින්නේ, සිය එක්දින ක්‍රිකට් දිවියේ අවසන් තරග කිහිපය බව සඳහන් කළ ලසිත් මාලිංග පැවසුවේ, වත්මන් ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන් ඉදිරිපිට එක් තරගයක් ක්‍රීඩා කර ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවය.

2020 ඔක්තෝබර් මාසයේ ඔස්ට්‍රේලියාවේ පැවත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවක් තිබුණ ද එක්දින ලෝක කුසලානයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමග සාකච්ඡා කර ඒ ගැන තීරණයක් ගන්නා බවත් ඔහු පැවසීය.

විස්සයි විස්ස ලෝක කුසලානය: ශ්‍රී ලංකාවේ තැන ඇෆ්ගනිස්ථානයට
“මම දැන් සටන් කළා… සටන් කළා දැන් මටත් මහන්සියි. විස්සයි විස්ස ලෝක කුසලානය ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. හබැයි ඒකත් මම ලෝක කුසලානයෙන් පසු ලංකාවට ගිහිල්ලා ක්‍රිකට් ආයතනය සමග සාකච්ඡා කරලා බලනවා ඒගොල්ලන්ගේ දැක්ම මොකක් ද මම ගහනව නම් මගේ දැක්ම මේකයි කියල පෙන්නලා දීල.”

“ඒගොල්ලන්ගේ දැක්මයි මගේ දැක්මයි සැසඳුණොත් මම ඒ දක්වා ඉඳියි. නැත්නම් ඉතා ඉක්මනින් සම්පූර්ණ වශයෙන් ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි.”

“මේ ලෝක කුසලානයෙන් පස්සේ මම හරි ආසයි ලංකාවේ එක තරගයක් ක්‍රීඩා කරලා එක්දින පිටියෙන් සමුගන්න,” ලසිත් මාලිංග කියා සිටියේය.-බීබීසී සිංහල සේවය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.